Health Guide

දරුවන් මත්ද්‍රව්‍යවලට හසු නොවන වටපිටාවක් හදමු

අහිංසක මිනිසුන්ගේ ජීවිත දුරස්ථව පාලනය කරන දුම්කොළ සමාගම් විසින් සාහසික ලෙස බෝ කරනු ලබන රෝගය දුම් පානයයි. අපි ඒ ගැන පසුගිය කලාපයෙන් සාකච්ඡුා කළෙමු. මීට අමතරව අරක්කු ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය වෙළෙන්දන් ද මෙයට සමගාමීව මිනිසුන් බිලී බාගැනීමේ සාහසික ක‍්‍රියාවේ නොකඩවා යෙදෙමින් සිටී.
මේ කටයුත්ත පිළිබඳව තීක්ෂණව අධ්‍යයනය කිරීමේ දී පෙනීයන්නේ ඔවුන් තම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් සෑමවිට ම එක්ව ක‍්‍රියා කරන බවයි. ඒ අනුව ඔවුන් සාමූහිකව ක‍්‍රියා කරන්නේ ‘දුම්වැටියකට පොළඹවාගත හැකි සෑම පුද්ගලයෙක් ම කෙසේ හෝ අනෙකුත් මත්ද්‍රව්‍යයකට ද පොළඹවාගත හැකිය’ යන මතයේ සහ අරමුණේ සිට ය. එනම් ඔවුන් එකිනෙකා මත යැපෙමින් සාමූහිකව විවිධ වූ සදාචාරාත්මක නොවන අනීතික උපක‍්‍රම පවා යොදමින්, තම නිෂ්පාදන මිලදී ගැනීමට දෛනිකව නව පාරිභෝගිකයන් ඇතිකරගැනීමේ අඛණ්ඩ වෑයමක යෙදී සිටී. ඔවුන් ඒ සඳහා විවිධ කෝණයන් ඔස්සේ අධ්‍යයනය කර විවිධාකාර වූ උපක‍්‍රමයන් යොදනු දැකිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ පමණක් දිනකට තමන්ගේ හොඳ ම පාරිභෝගිකයන් අතරින් 55ක් හෝ 60ක් පමණ මැරෙන්නට හරින මෙම පරපෝෂිත සමාගම් ඒ වෙනුවට යන්තම් දුම්වැටියක් උරන්නට හැකි, අරක්කු උගුරක් ගිලින්නට හැකි, කුමන හෝ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කිරීමේ හැකියාව ඇති කුඩා ම දරුවාගේ සිට මහලූ ම මිනිසා දක්වා කවුරුන් හෝ රවටාගැනීමට උපක‍්‍රම යොදයි. එහි දී ඔවුන්ට වැඩි වාසි ගෙනදෙන්නේ කුඩා ම දරුවා ගොදුරක් කරගැනීමෙනි. එහෙයින් අප අපේ දරු පරපුර ආරක්ෂා කරගත යුතුය. වැඩිහිටියන් ඥණාන්විතව ආරක්ෂා විය යුතුය.

මේ අනුව මෙම ජාවාරම්කරුවන් දරුවන් සහ වැඩහිටියන් ඉලක්ක කර යොදන උපක‍්‍රම පිළිබඳව ජනතාව ලෙස අප අවබෝධයෙන් සිටීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් වැඩි පිරිසක් මෙයට හසුවීමේ සම්භාවිතාව වැඩි ය. විශේෂයෙන් ම හඳුනාගෙන ඇති පරිදි යම්කිසි ප‍්‍රදේශයක, යම්කිසි ගමක, යම්කිසි පාසලක, යම්කිසි විශ්වවිද්‍යාලයක, යම්කිසි කර්මාන්තශාලාවක හෝ යම්කිසි ආයතනයක වැඩි පිරිසක් දුම්වැටි හෝ යම් මත්ද්‍රව්‍යයක ගොදුරක් බවට ඉතා සීඝ‍්‍රයෙන් පත්ව තිබේ නම් ප‍්‍රධාන වශයෙන් ම ඔවුන් ඉලක්ක කරගත් සුවිශේෂී සැඟවුණු ප‍්‍රචාරණ උපක‍්‍රමයක් මෙම කූට වෙළෙන්දන් විසින් හිතාමතා ම යොදනු ලැබ තිබේ. ඒ එක් එක් සමාජ කොට්ඨාසවල බුද්ධි මට්ටම අනුව සහ දවසින් දවස වෙනස් වන විවිධ වූ ආකාරවලිනි. කනගාටුවට කරුණ නම් මේ මනුෂ්‍යත්වයට එරෙහි සියලු දේ සිදු කරන්නේ ද ඇස්, මස්, ලේ, නහර ඇති මිනිසුන් ම ය. මිනිසුන් අතර ම ජීවත් වන අය ය.

කෙසේ වෙතත් මෙහි දී අප වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඔවුන් මෙසේ බෝ කරන රෝගයට ගොදුරුවීමෙන් ඔවුන්ගේ ව්‍යාපාරවලට වැඩි වාසියක් ගෙන දෙන කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ය. මෙම ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඇති පරිදි වයස අවුරුදු 10-15 කාලයේ දී යම් දෙයකට ඇබ්බැහි වුවහොත් එ් පිරිසෙන් බහුතරය ජීවිත කාලය ම එම පුරුද්ද පවත්වාගෙන යයි. එම නිසා ඒ වයස වනවිට අදාළ මත්ද්‍රව්‍යය දරුවන්ගේ ඇබ්බැහියක් කිරීම සඳහා ඔවුන් අවුරුදු හතක අටක කුඩා දරුවාගෙන් ම මෙම පොළඹවාගැනීම ආරම්භ කරයි. එහෙත් එයට එම දරුවන් තුළ වීරත්වයේ ප‍්‍රතිරූපයක් ගොඩනැගෙන්නේ හොඳ-නරක පිළිබඳව අවබෝධයක් නැති, කුතුහලයෙන් ජීවත්වන මුල් ළමා වියේ දී ම ය.

මේ සඳහා ඉතා පහත් ගණයේ උපායන් යොදන මෙම වෙළෙන්දන් ළමයින් ආසාවෙන් නරඹන කාටූන්, ළමා චිත‍්‍රපට, රූපවාහිනී වැඩසටහන්, ටෙලිනාට්‍ය ආදිය තුළ සූක්ෂමව අදාළ දුම්වැටිය හෝ මත්ද්‍රව්‍ය මනසට කාවැද්දවීමේ දර්ශන සහ එම ක‍්‍රියාවන් තුළින් වීරයන් මතු කිරීමේ දර්ශන ඇතුළත් කර තිබේ. ඔවුන් හඳුනාගෙන ඇති ආකාරයට දරුවන්ට කාටූන් චිත‍්‍රපටයක් හෝ කුමන හෝ ළමයින් සිටින චිත‍්‍රපටයක් නැරඹීමට ලබා දී දෙමාපියන් තමන්ගේ වැඩපළ කරගැනීමට කාලය සකසාගැනීම වර්තමානයේ දෙමාපියන්ගේ විශාල දුර්වලතාවකි. එහෙයින් එවැනි දුර්වලතා හඳුනාගෙන ඒ හරහා කුඩා දරුවන් වෙත ප‍්‍රවිෂ්ටවීමට ඔවුන් උත්සුක වෙයි. දරුවන් ශ‍්‍රවණය කරන ගුවන්විදුලි වැඩසටහන්, දරුවන් පරිශීලනය කරන පොතපත, දරුවන් වෙනුවෙන් නිපදවා ඇති සෙල්ලම් බඩු හා ක‍්‍රීඩා උපකරණවල සඟවා ඇති සංකේත සහ දක්වා ඇති වදන් ආදී බොහෝ දේ තුළින් ඔවුන් මෙසේ ළදරු මනසට බලපෑම් කරයි. එම නිසා දෙමාපියන් සහ වැඩිහිටියන් දරුවන් නරඹන, අසන, පරිශීලනය කරන දෑ පිළිබඳව හොඳ අවධානයකින් සහ අවබෝධයකින් සිටීම අත්‍යවශ්‍ය වේ.

මෙහි දී මෙම සමාගම් ළදරුවාගේ සිට සෑම වයසට ම අදාළව වෙනවෙනම ප‍්‍රචාරණ උපක‍්‍රම භාවිත කරයි. එසේම මීට වසර ගණනකට පෙර මත්ද්‍රව්‍ය ප‍්‍රචාරක දැන්වීම් මෙරට තහනම් කිරීමට මත්තෙන් ඒ සඳහා ඔවුන් යෙදූ මුදල් අදටත් කිසිම අඩුවකින් තොරව මෙම කූට උපක‍්‍රම සඳහා යොදවයි. දැනට හඳුනාගෙන ඇති පරිදි ළමුන් සහ තරුණ තරුණියන් වැඩියෙන් ම කැමති නළු නිළියන්ට මුදල් ගෙවා ඔවුන් රංගනයෙන් දායක වන චිත‍්‍රපට හෝ ටෙලිනාට්‍යවලට එවැනි දර්ශන ඇතුළත් කරයි. එහි දී ඍජුව, වක‍්‍රව හෝ සූක්ෂම ලෙස ඇස ගැටී සිතට කාවදින අයුරින් ඔවුන් එම ප‍්‍රචාරණ කටයුතු සිදු කරයි. එනම් අතැම්විට ජනප‍්‍රිය චිත‍්‍රපටයක පසුබිමේ වැඩි සැලකිල්ලකට ලක් නොවන දැන්වීම් පුවරුවක වුව ද මෙවැනි මත්ද්‍රව්‍ය ප‍්‍රචාරණ දැන්වීමක් තිබිය හැකිය. එය උවමනාවෙන් නොබැලූවත් නිතර දැක ඇසට හුරු වනවිට දුර්වල පුද්ගලයෙකුගේ මනස තුළ පෙළඹවීමක් නිර්මාණය කළ හැකිය. කාටූන් චිත‍්‍රපටයක චරිතයක් වුව ද දුම්වැටියක් හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කරනු ඔවුන් පෙන්වන්නේ එම චරිතයට ගාම්භීරත්වයක් එක් කිරීමට ය. එවැන්නක් කුඩා දරුවන්ගේ මනසේ නිරායාසයෙන් තැම්පත් කළ හැකි වේ.
එමෙන් ම දරුවන්ගේ ක‍්‍රීඩා උපකරණවල හැඩතල, රූප හෝ වචන භාවිතයෙන් ද ඔවුන් මෙම පහත් වෙළෙඳ ප‍්‍රයෝගය භාවිත කරයි. තව ද දරුවන් නිතර ගැවසෙන ස්ථානවල ද යම් යම් මත්ද්‍රව්‍යවල හිස් ඇසුරුම් වැනි දේ ඇස ගැටෙන්නට තැබීමත්, පුද්ගලයන් ලවා දරුවන්ට පෙනෙන සේ එම මත්ද්‍රව්‍ය භාවිතයත් ඔවුන් යොදගන්නා තවත් නීච උපක‍්‍රමයකි.

විශේෂයෙන් ම රූපවාහිනී වැඩසටහන්, ටෙලිනාට්‍ය සහ සිනමාව අධ්‍යයනය කළහොත් මේ හරහා ඉතාමත් සූක්ෂම ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් මෙම ආයතන සිතාගත නොහැකි තරම් විශාල මුදලක් යොදවයි. ඒ පිළිබඳව සාක්ෂියක් පළමු වරට වාර්ථා වූයේ, Sylvester Stallone නම් අමෙරිකානු නළුවා සුප‍්‍රකට “Rambo” චිත‍්‍රපටයේ රඟපාන විට එම රටේ දුම්කොළ සමාගමක් දුම්වැටි භාවිත කරන දර්ශන රඟ දැක්වීම සඳහා එවකට අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් ගෙවීමට පොරොන්දු වී ඇති අතර එය නොගෙවීම නිසා ඔහු අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යාමෙනි. ඒ 1985 වර්ෂයේ දී පමණ ය. එවැනි වකවානුවක මේ තරම් මුදලක් රංගන ශිල්පියෙක් වෙනුවෙන් යෙදෙව්වේ නම් වර්තමානයේ එම තත්ත්වය කෙතරම් බරපතළ විය හැකිද? එමෙන් ම නළුවෙකු වෙනුවෙන් මේ තරම් ගෙවන්නේ නම් අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයන් මේ හරහා කෙතරම් ආදයමක් ලබනවා ඇත්ද? මෙය සිතිය යුතු කාරණයකි.
මීට අමතරව නිරන්තරයෙන් විසේකාර, දඟකාර නව යෞවනයන් ඉලක්ක කරන මෙම සමාගම් පාසල් සිසුන් රවටා හෝ තර්ජනය කර ගොදුරු කරගෙන ඔවුන් හරහා පාසල් තුළට ද විවිධාකාරයේ මත්ද්‍රව්‍ය රැුගෙන යයි. ඔවුන් දඩ මීමා කරගෙන තවත් ළමුන් ඩැහැගනියි.

මෙය හිතාමතා සැලසුම් කර සිදුකරන මිනිසුන් මරණ ක‍්‍රියාදාමයකි. එක් අයෙකුගේ ධනය එම පුද්ගලයා මැරෙනතුරු ම හූරාගෙන අනතුරුව ඒ තැනට තවත් කෙනෙක් හිරකර හිදස පුරවාගන්නා සාහසික ක‍්‍රියාවලියකි. කෙසේ වෙතත් වර්තමානය වනවිට රටේ ආගමික, සංස්කෘතික සහ සමාජ වටපිටාවේ ද සහාය ඇතිව බොහේ ප‍්‍රදේශවල ජනතාව මෙම සාහසිකත්වයට විරුද්ධව එ්කරාශීවීම් දක්නට ලැබේ. ඇතැම් ගම්වල වැඩිහිටියන් සමිති සමාගම් පිහිටුවාගෙන ඒවාට දරුවන් ද එකතු කරගනිමින් වැඩියෙන් ම මත්ද්‍රව්‍ය ප‍්‍රචාරණයට සහාය දෙන මාධ්‍ය ආයතන, කලාකරුවන්, චිත‍්‍රපට හෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් ආදිය නිරීක්ෂණය කර අධ්‍යයනය කරමින් එම උපක‍්‍රම හඳුනාගැනීමට උත්සුකවී ඇත. ඒ තුළින් දරුවන්ට හා වැඩිහිටියන්ට නැරඹිය හැකි නාළිකා, පුවත්පත්, වැඩසටහන් ආදිය වර්ගීකරණය කරගැනීමටත් ඔවුන් උනන්දු වන බව දැකිය හැකිය. තව ද මෙහි දී ඔවුන් පටු අරමුණු වෙනුවෙන් එසේ වක‍්‍රව හෝ කිසිවෙකුට ප‍්‍රචාරණයක් ලෙස නොදැනෙන අයුරින් හෝ මත්ද්‍රව්‍ය ප‍්‍රචාරණය කරන මාධ්‍ය ආයතනවලට, කලාකරුවන්ට, චිත‍්‍රපට හෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට ලිපි, E-mail පණිවිඩ සහ දුරකතන ඇමතුම් මගින් එලෙස රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය සමාගම්වලට ගොදුරු නොකරන ලෙස බලපෑම් කිරීමට ද පෙළඹී ඇත. ඇතැමුන් තමන්ගේ නිවස ඉදිරිපිට සහ ගමේ මාර්ග අසල ‘මත්ද්‍රව්‍ය ප‍්‍රචාරණය කරන අසවල් නාළිකාව අපි නරඹන්නේ නෑ.’ යනුවෙන් පුවරු පවා එල්ලා තිබීමෙන් මෙම විරෝධතාවේ ප‍්‍රබලතාවත්, ඔවුන්ගේ උද්යෝගයත් හඳුනාගත හැකිය.

තව ද පාසල් දරුවන් පවා එම වැඩිහිටියන්ගේ ක‍්‍රියාවට සමගාමීව පෙරට එමින් මෙලෙස කූට වෙළෙඳුන් තමන්ව ඉලක්ක කර යොදන උපක‍්‍රම අධ්‍යයනය කරමින්, ඒ සම්බන්ධයෙන් වැඩිහිටියන් හා සාකච්ඡුාකර ඒවා අධ්‍යාපන ආධාරක බවට පත් කරගෙන තිබේ. එමෙන් ම දරුවන් ද පාසල් හා විශ්වවිද්‍යාල තුළත්, ළමා සමාජ හා තරුණ සංගම් මට්ටමෙනුත් ඒකරාශීවී තම මිතුරු මිතුරියන් දැනුවත් කිරීමටත්, මත්ද්‍රව්‍යවලට සහාය දෙන පාර්ශ්වවලට තම විරෝධතාව දැක්වීමටත් පටන්ගෙන තිබේ.
එය හොඳ ප‍්‍රවණතාවකි. රටේ ජනතාව එකාවන්ව එකතු වුවහොත් අපේ රටේ අනාගත දරු පරපුර මෙම මත්ද්‍රව්‍ය සමාගම් අටවන උගුල්වලින් බේරාගත හැකිය. එමෙන් ම අපේ ආරක්ෂාව අප සකසාගත යුතුය. අපේ දරුවන්ව අප ම රැකගත යුතුය. එහෙයින් මෙම කූට වෙළෙඳුන්ගේ උපායන් හඳුනාගෙන සමාජය දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවක් වේ.

සටහන – ඉසුරු සුධාරක දිසානායක
ආචාර්ය දුමින්ද ගුරුගේ
(අංශ ප‍්‍රධාන – සෞඛ්‍ය ප‍්‍රවර්ධන අංශය – රජරට විශ්වවිද්‍යාලය)