Health Guide

ඇසේ සුද (Cataract) ඇතිවීම සහ එය ඉවත් කිරීම පිළිබඳව නිවැරදි ආකාරයට දැනුවත්වන්න

ජීවිතයේ දුර කතරක් ගෙවා දමා මඳ අස්වැසිල්ලක් ගන්නට සැරසෙන සැඳෑ සමයේ, ඔවුන් වටා දිවෙන ලෝකය රිසි සේ දැක බලාගන්නට ඉවහල් වන ඇස්වල පෙනීම ටිකෙන් ටික අඩුවෙමින්, ඇස්වල සුද (Cataract) මතුවීම වැඩිහිටියන් බොහොමයක්දෙනා අපහසුතාවයට පත් කරවන තත්ත්වයකි.

”‍ඇසේ සුද”‍ (Cataract) යයි කියූ පමණින්, ඒ පිළිබඳව නොදන්නා කෙනෙකු නොමැති තරම් ය. එනමුත්, එම කරුණු ඉතාම නිවැරදිව දැනගැනීම ඔවුන්ට නිසි ප්‍රතිකාර කරා යොමුවීම සඳහා මග පෙන්වයි.

ඉතා දියුණු තාක්ෂණයක් සහිත වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා, ඇසේ සුද (Cataract) හටගැනීම කිසිසේත් ම බිය විය යුතු තත්ත්වයක් නොවන අතර, අනිසි බිය දුරුකරමින් ප්‍රතිකාර කරා යොමුවීමේ වැදගත්කම විමසා බලමු.

ඇසේ සුද (Cataract) යනු කුමක්ද?

අපගේ ඇසට පතිත වන ආලෝකය ඇසේ කාචය (Lens) මඟින් නාභිගත කර, දෘෂ්ටි විතානය මත පතිතවීම මගින් ඇසේ පෙනීම ලබාදෙන අතර, එලෙස පෙනීම ලබාදෙන්නට උදව් දෙන ඇසේ කාචයේ (Lens) පාරදෘශ්‍ය බව නැතිවීම, ඒ හරහා ආලෝකය ගමන් නොකිරීම නිසා පැහැදිලි ප්‍රතිබිම්බයක් ඇසේ දෘෂ්ටි විතානය මත පතිත නොවීමෙන්, අපැහැදිලි ප්‍රතිබිම්බයක් සෑදීම ඇසේ සුද ඇතිවීම ලෙස හඳුන්වයි.

ඇසේ සුද ඇතිවී ඇති බව හඳුනාගන්නේ කෙසේද?

■ සුද හටගත් ඇසින් පැහැදිලි පෙනීමක් අපේක්ෂා කළ නොහැකිය.

■ නිරන්තරයෙන් ඇසේ යම්කිසි පටලයක් බැඳුණු සේ දැනෙන්නට පටන්ගනී.

■ තමන් අවට ඇති දේ පැහැදිලිව හඳුනාගන්නට නොහැකි ලෙස ඇස්වල පෙනීම අඩුවී යයි.

■ ආලෝකය දෙස බලන විට ආලෝකය විහිදී රැස් විහිදෙන ආකාරයක් පෙනෙයි.

■ සුද ඇතිවූ ඇසෙන් බලන විට හාත්පස සියලු‍ දේ කහ පැහැයකට හුරු ලෙස පෙනෙන්නට ගනී.

මෙම සුද ඇතිවීම සෑමවිට ම ඇස් දෙකට ම එක හා සමාන නොවන අතර, එක් ඇසක සුද අනෙක් ඇසට සාපේක්ෂව වැඩි ය. නමුත්, ඇසේ පෙනීම ලබාගැනීම අවශ්‍ය බැවින් ඇස් දෙක ම ශල්‍යකර්මයට ලක් කල යුතුය. කෙසේ නමුත්, ඇසේ සුද හටගත් බව නිශ්චිතව දැනගන්නට අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ගොස් ඇස් පරීක්ෂා කරගත යුතුය.

ඇසේ සුද (Cataract) හටගැනීමට ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු

■ ප්‍රධානතම හේතුව වන්නේ, පුද්ගලයන් වයස්ගතවීම නිසා ඇස්වල සුද ඇතිවීමයි. වයසින් වැඩි වත්ම ඇසේ සුද හටගැනීමට තිබෙන ප්‍රවණතාව ඉහළ යයි.

■ දියවැඩියා රෝගය ද ඇසේ සුද ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුවකි.

■ දීර්ඝ කාලයක් තිස්සේ Steroid කාණ්ඩයේ ඖෂධ ගන්නා අයට ඇසේ සුද ඇතිවීමේ අවදානමක් ඇත.

■ එම Steroid කාණ්ඩයේ ඖෂධ ඇසට දැමීම නිසා ද ඇස්වල සුද හටගැනීමට ඉඩ තිබේ.

■ මීට අමතරව, විවිධ හේතු මත නොදන්නා ඖෂධ වර්ග හිතුමතයට ගැනීමෙන් ද ඇසේ සුද ඇතිවීමට හැකිය.

■ ඇස්වල හටගන්නා සමහර ආසාදනයන් නිසා ද ඇසේ සුද ඇතිවේ.

■ ඇසට තදබල පහරක් එල්ල වුවහොත් හෝ ඇසේ තුවාලයක් සිදු වුණොත් නැතහොත් ඇසේ තැල්මක් ඇති වුණොත් එමඟින් ඇසේ සුද හටගත හැකිය. මෙම තත්ත්වය වයස්ගත වූවන්ට පමණක් නොව, ළමා හා තරුණ වයසේ අයට ද ඇතිවිය හැකි තත්ත්වයකි.

■ කලාතුරකින් උපතින්ම බිළිඳුන්ගේ ඇස්වල සුද ඇතිවන්නට ඉඩ ඇත.

ඊට හේතුවන ප්‍රධාන ම හේතුව වන්නේ, ලේ ඥාතීන් අතර සිදුවන විවාහ නිසා ඇතිවන ජානමය සාධක වේ.

■ මීට අමතරව, ගර්භණී කාලය තුළ මවට ජර්මන් සරම්ප (Rubella) වැලඳී ඇත්නම්, උපදින දරුවාගේ ඇස්වල සුද හටගන්නට ඉඩ ඇත. නමුත්, මෙවැනි අවස්ථා වර්තමානයේ දී එතරම් සුලබව දකින්නට නැත.

■ උපතින් ම ඇතිවන ඇසේ සුද හඳුනාගන්නේ ළදරුවාගේ දෙඇස්වල සුදු පැහැ පටලයක් බැඳුණු ආකාරයක් දැකගැනීමෙනි. එනමුත්, එය ඉවත් කර ඇස් යථා තත්ත්වයට පත්කරගන්නට හැකිය.

ඇසේ සුද ඉවත් කරන්නේ කෙසේද?

ඇසේ සුද ඇතිවීම එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක් ඇති කළත්, ඇසේ සිදු කෙරෙන ඉතා සියුම් ශල්‍යකර්මයක් මඟින් එය සාර්ථකව ඉවත් කළ හැකිය. ඉන්පසුව ඇස්වල දෘෂ්ටිය කලින් තිබූ පරිදි ම 100%ක් ම ලබාගත හැකිය.

ඇසේ සුද ඉවත් කිරීමට සිදු කෙරෙන ශල්‍යකර්මය සඳහා කිසිදු ආකාරයකින් සම්පූර්ණ නිර්වින්දනයක් සිදු නොකරන අතර, ඇස පමණක් හිරිවැටීමකට ලක් කිරීමෙන් නිර්වින්දනය කරනු ලැබේ. ඒ සඳහා ඇසට ඖෂධ විදීමක් නොකරයි. නිර්වින්දනය සඳහා ඖෂධ බිංදු ඇසට දැමීම මඟින් ඇස හිරිවැටීමකට ලක් කරයි. (කුඩා දරුවන්ගේ ඇස්වල සුද ඉවත් කරන ශල්‍යකර්මය සඳහා සම්පූර්ණ නිර්වින්දනය කිරීම අවශ්‍ය වේ.)

සුද ඉවත් කළ යුතු ඇසේ 2.2mml තරම්වූ ඉතා ම කුඩා විවරයක් (Incision) කර, ඇසේ ඇති සුද කොටස දියකර ඉවතට ගෙන, නැමෙන සුළු කාචයක් (Foldable Lens) ඇසට බද්ධ කිරීම සිදු කරයි. මෙම ශල්‍යකර්මය Phacoemulsification ලෙස හඳුන්වයි. මෙහිදී කිසි විටෙකත් ඇසේ සිදුකළ විවරයට මැහුම් දැමීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ. රෝගියාට එදින ම නිවසට යා හැකි අතර, ඉතා ඉක්මනින් ඇසේ පෙනීම යථා පරිදි නැවත ලබාගත හැකිය.

ඇසට දමන කාච වර්ග ආකාර කිහිපයකි

■ දුර පෙනෙන නමුත්, ළඟ නොපෙනෙන ආකාරයේ කාච

■ දුර සහ ළඟ දෙක ම පෙනෙන ආකාරයේ කාච (Multifocal lenses)

ආදී වශයෙනි. මෙම කාච විවිධ මිල ගණන් සහිත අතර, ඔබේ ඇස්වලට ගැළපෙන ආකාරයේ කාචයක් තෝරාගැනීම අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණය කරගත හැකිය. සමහර විට ඇසේ Astigmatism නම් රෝග තත්ත්වය තිබේ නම් ඇසට දමන කාචයේ ස්වභාවය එයට අදාළ වන පරිදි විය යුතු නිසා වෛද්‍ය උපදෙස් මත පමණක් කාච තෝරාගත යුතුය.

ඇසේ සුද ඉවත් කරන ශල්‍යකර්මයට භාජනයවූ ඔබ කිසිසේත් ම දෙගිඩියාවෙන් පසුවිය යුතු නොවේ.

■ මෙම ශල්‍යකර්මයෙන් ඇතිවිය හැකි සංකූලතා ඉතාම අවම වේ.

■ ශල්‍යකර්මයෙන් පසුව ඇසට දමන ඖෂධ හැර වෙනත් ඖෂධ වර්ග කිසිවක් පානය සඳහා ලබාදීම අවශ්‍ය නැත.

■ ශල්‍යකර්මයෙන් පසු දිනකට දෙකකට පමණ පසුව සාමාන්‍ය සුපුරුදු ජීවන රටාවට ඔබට අනුගත විය හැකිය.

■ මුහුණ සේදීමට, ස්නානයට, රූපවාහිනී නැරඹීමට, එළිමහනේ ඇවිදීමට, පොතපත කියවීමට හෝ රැකියාවේ නිරතවීමට කිසිදු බාධාවක් නැත.

ශල්‍යකර්මයෙන් පසුවදා අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් නැවත වතාවක් ඇස් පරීක්ෂා කළ යුතු අතර, ඉන් පසුව සති 2කින් පමණ ඇස් කණ්ණාඩි සඳහා පරීක්ෂාවට යොමුවීම අනිවාර්ය වේ. ඇසේ සුද ඉවත් කර අලු‍ත් කාච දැමූ ඇස්වලට කණ්ණාඩි පැලඳීම අවශ්‍ය බැවින්, අක්ෂි වෛද්‍යවරයා විසින් ඇස් පරීක්ෂාවෙන් පසු ඔබට ගැළපෙන ඇස් කණ්ණාඩි වර්ගය නිර්දේශ කරනු ඇත. ඉන් අනතුරුව, තමන්ගේ එදිනෙදා කටයුතුවල සාමාන්‍ය ආකාරයට යෙදෙන්නට හැකිය.

කාච දැමූ ඇසේ නැවත සුද හටගැනීමක් සිදු නොවේ. ඔබ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන්නේ නම්, එම රෝග මනාව පාලනය කරගත යුතුය. කලක් ගත වෙද්දී ඇස්වල පෙනීම නැවත වතාවක් අඩු වන්නේ නම්, එයට හේතු සොයා බැලිය යුතුය. දියවැඩියාව, ග්ලෝකෝමා (Glaucoma), Muscular degeneration වැනි රෝග තත්ත්ව නිසා ඇස් පෙනීම නැතිවී යන්නට ඉඩ ඇත. නමුත්, ඇසේ සුද ඉවත් කිරීමෙන් පසුව ඔබේ ඇස්වල පෙනීම කලින් තිබූ පරිදි ම නැවත සකසාගන්නට හැකි නිසා ශල්‍යකර්මය සිදු කරන්නට දෙවරක් සිතීම අවශ්‍ය නොවේ. ඔබේ දෙනෙත් තුළින් ලෝකය වඩ වඩාත් පැහැදිලිව දැකගන්නට එමඟින් ඔබට යළිත් අවකාශ සැලසෙනු ඇත.

විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය දුෂ්‍යන්ත වාරියපොල – (ශ්‍රී ජයවර්ධනපුර රෝහල)

සටහන – ශෂිකා තල්පෙහේවා