Health

ඇස් ලෙඩ වැලඳීම වළක්වාගන්නේ මෙහෙමයි

ඇස් දෙක වාගේ වටිනවා යනුවෙන් අපි ප‍්‍රකාශ කරන්නේ අපිට ගොඩක් වටිනා දේවල්වලටයි. ඒ තරම් වටිනා ඇස් දෙක රෝගී වුණොත් ඔබේ දිනපතා වැඩ කටයුතුවලට බොහෝ විශාල පීඩාවක් එල්ල කරන්න පුළුවන්. එමනිසා එවැනි රෝග වැලඳීමට පෙර වළක්වාගැනීමට ක‍්‍රියා කිරීම ඉතාමත් වැදගත් වේ.

සාමාන්‍ය ව්‍යවහාරයේ ඇස් ලෙඩ නමින් හඳුන්වනු ලබන Conjunctivitis ලෙස හඳුන්වන ඇස් රෝගය මේ දිනවල බහුලව ව්‍යාප්ත වී ඇති ඇස් රෝගයක්. මෙය වෛරසයක් මගින් ව්‍යාප්ත වන රෝගයක්වීම හේතුවෙන් රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුට ඉතාමත් පහසුවෙන් වැලඳෙයි. කලාතුරකින් මෙම රෝගය බැක්ටීරියා මගින් ද ව්‍යාප්ත වනු දැකිය හැකියි. නමුත් වසංගතයක් ලෙස මෙම රෝගය පැතිරෙන සෑම විටක ම රෝගයේ ව්‍යාප්තිය පිණිස හේතු වූයේ රෝගයට අදාළ වෛරසයයි.

මෙම වෛරසය ආසාධනය වූ විට ඇසෙහි සුදු ඉංගිරියාව රතු පැහැයට හැරෙයි. එමගින් ඇස් කැසීම, ඇස කෙවීම හා ඇස් රතුවීම, කඳුළු හා කබ ගැලීම වැනි රෝග ලක්ෂණ පහළ වේ.

රෝගියෙකු විසින් තම ඇස ඇල්ලීමෙන් පසුව යම් භාණ්ඩයක් හෝ ස්ථනයක් ස්පර්ශ කළ විට එහි රෝග කාරක වෛරසය තැන්පත් වේ. නිරෝගී පුද්ගලයෙකු එම ස්ථානය ස්පර්ශ කර සිය ඇස් ඇල්ලූ විට ඔහුට ද එම වෛරසය ආසාධනය වී ඇස් රෝගය වැලඳෙයි. නමුත් මෙම වෛරසය වාතය මගින් ව්‍යාප්ත වන්නක් නොවේ.

මෙම රෝගය ව්‍යාප්ත වන්නේ ස්පර්ශයෙන් නිසා මෙම රෝගයෙන් ආරක්ෂාවීම පිණිස පරිස්සම්වීම හා සැලකිලිමත්වීම ඉතාමත් වැදගත් වේ.

අප එදිනෙදා ජීවත් වන පරිසරය තුළ මෙම වෛරසය සක‍්‍රීයව තිබිය හැකියි. බස් රථ, රෝහල්, පාසල් වැනි පොදු ස්ථනවල ඇති භාණ්ඩවල මෙම වෛරසය තැන්පත් වී තිබිය හැකියි. එමනිසා මෙම ස්ථානවල ඇති භාණ්ඩ ඇල්ලීම හැකිතාක් අවම කරගත යුතු වේ. එමෙන් ම සිය ඇස් නිරන්තරයෙන් ස්පර්ශ කිරීම නතර කිරීමෙන් මෙම වෛරසය ඇස්වලට වැලඳීම අවම කරගත හැකි වේ. සිය පුද්ගලික පවිත‍්‍රතාව පිළිබඳව සැලකිලිමත්වීම ද ඉතාමත් වැදගත් වේ.

කෙසේ නමුත් මෙවැනි ස්ථානවල ඇති භාණ්ඩ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම අපහසු කරුණක් වන අතර සබන් යොදා අත් සේදීම පුරුද්දක් වශයෙන් සිදු කිරීමෙන් මෙම රෝගයෙන් ආරක්ෂාවීමට හැකියාව ඔබට හිමි වේ.

බොහෝ රෝහල්වල විෂබීජ නාශක අඩංගු අත් සෝදන දියර තබා ඇත්තේ එවැනි ස්ථානයකට ඇස් රෝගීන් බහුලව පැමිණෙන හෙයිනි.

එමෙන් ම ඇස් රෝගය වැලඳුණු රෝගියෙක් නිවසේ සිටින විට නිවැසියන් එම රෝගයෙන් ආරක්ෂාවීමට වගබලාගත යුතු වේ.

රෝගියා නිදන ඇදෙහි නිදාගැනීම, ඔහුගේ තුවාය හවුලේ භාවිත කිරීම, මෙන් ම රෝගියෙකු නිවසේ සිටින විට සිය ඇස් ස්පර්ශ කිරීමෙන් ද වැළකී සිටිය යුතු වේ. එමෙන් ම රෝගියා වෙන්කර තැබීම ද ඉතාමත් වැදගත් වේ. රෝගියා ද ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු වේ. එමගින් රෝගියාගේ ඇසෙහි ඇති විෂබීජ ඔහුගේ අත්වල තැවරී රෝගය ව්‍යාප්තවීම වළක්වාගත හැකි වේ.

එමෙන් ම ඇස් ඇල්ලීම, අතින් පොඩි කිරීම ඇතැම් රෝගීන් විසින් සිදු කරන වැරදි ක‍්‍රියාවන් වේ. ඇස රතුවීම, කබ ගැලීම මෙන්ම රෝගය උත්සන්නවීම ද සිදුවිය හැකියි.

ඇස් කෙතරම් කැසුවත්, කබ ගැලූවත් ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීමට රෝගීන් වගබලාගත යුතු වේ.

එමෙන් ම නිරන්තරයෙන් ම කඳුළු හා කබ පිස දැමීම, රෝගීන් විසින් පුරුද්දක් වශයෙන් ම සිදු කරනු දක්නට ලැබෙනවා. නමුත් මෙම පුරුද්ද හේතුවෙන් කඳුළු හා කබ ගැලීම තවත් වැඩිවීම පමණක් සිදු වෙනවා.

එමනිසා රෝගීන් විසින් ඇස ඇල්ලීම, පිස දැමීම කඳුළු පිස දැමීම නොකළ යුතු වේ.

එමෙන් ම රෙදි කැබලි, ටිෂූ ආදිය භාවිතයෙන් කබ, කඳුළු පිස දැමීම නොකළ යුතු අතර ඇස් සේදීම පමණක් සිදු කළ යුතු වේ.

මෙවැනි පුරුදු වළක්වාගැනීමෙන් ඇසෙහි පවතින රතු ගතිය ඉක්මනින් සුව කර ගැනීමට හැකියාව ලැබේ.

මෙම රෝගයේ ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය වන්නේ රෝගය පැතිරීම වළක්වාගැනීමයි. වෛරස් මගින් පැතිරෙන රෝගයක්වීම නිසා ඇන්ටිබයොටික් වැනි ප‍්‍රතිකාර ලබාදීම එතරම් වැදගත් නොවේ.

නමුත් ඇස් රතු වන්නේ නම් වෛද්‍ය නිර්දේශය මත ප‍්‍රතිකාර ලබාගත යුතු වේ. එය අනිවාර්යයෙන් ම වෛද්‍ය ප‍්‍රතිකාර මත කළ යුත්තේ ඇස් රතුවීමට විවිධ හේතු බලපාන හෙයිනි. ඇස් ලෙඩ එක් හේතුවක් පමණක් වන අතරම ඊට පරිබාහිර වෙනත් හේතු නිසා ද ඇස් රතුවීම සිදු වේ.

එමෙන් ම මෙම රෝගී තත්ත්වය යටතේ කුද්දටි සෑදීම මෙන් ම සුළු උණ තත්ත්වයක් ඇතිවීමට ද හැකියි. නමුත් තද උණ පවතින්නේ නම් එය ඇස් ලෙඩ හේතුවෙන් වැලඳුණු එකක් නොවන බව මතක තබාගත යුතු වේ.

කන ඉදිරිපස කුද්දටි ඇස් රෝගය හේතුවෙන් හටගන්නා අතර ම ඇස් පොඩි කිරීමෙන් හා ඇල්ලීමෙන් වැළකී සිටීමෙන් ඒවා දින කිහිපයකින් නැති කර ගැනීමට හැකි වේ.

ඇස් ලෙඩ සෑදුණු රෝගියෙකුගේ ඇස් රතු වුව ද ඔහුගේ හෝ ඇයගේ පෙනුමට කිසිදු බාධාවක් ඇති නොවේ. එමෙන් ම ඇස්වල රිදීමක්, කැක්කුමක් ඇති නොවේ.

නමුත් පෙනීමේ අඩුවක්, ඇස් රිදීමක් හෝ කැක්කුමක් තිබේ නම්, හිරු එළිය දෙස බැලීමට නොහැකි නම් වහාම වෛද්‍යවරයෙකුට පෙන්නීම සිදු කළ යුතු වේ. ඒ මන්දයත් එය සාමාන්‍ය ඇස් ලෙඩක් නොව වෙනත් රෝගයක ලක්ෂයක් විය හැකි හෙයිනි. ඇස් ලෙඩ වැලඳී ඇත්නම් සතියක් ඇතුළත එය සම්පූර්ණයෙන් ම සුව වන අතර එයට වඩා වැඩි කාලයක් ඇස් රතුවී තිබේ නම් වෛද්‍යවරයෙකුට පෙන්වීම අනිවාර්යයෙන් කළ යුතු වේ.

ඉතාමත් කලාතුරකින් ඇස් ලෙඩ කළු ඉංගිරියාවට ව්‍යාප්ත වන අතර එවැනි විටක ඇස් රතුවීම දිගු කාලයක් පවතින අතර එවැනි විටක දී වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම ඉතාමත් වැදගත් වේ.

එමෙන් ම විවිධ කොළ වර්ග තැම්බීමෙන් ඇස තැවීම හා සේදීම සිදු නොකළ යුතු වන්නේ එම කොළවල අඩංගු සංඝටක මගින් ඔබේ ඇසට හානි සිදුවිය හැකි බැවිනි. එමෙන් ම ඇස් සේදීමට පිරිසිදු ජලය පමණක් භාවිත කිරීමට වගබලා ගත යුත්තේ ඔබේ දෙනෙතට සිදුවන සුළු හානියකින් වුව ද ඔබේ දිවිය ම අඳුරු වන බැවිනි.

විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය දුෂ්‍යන්ත වාරියපොල
(ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල)
සටහන – නදීරා අමරසිංහ