Beauty

හිසකෙස් රැකදෙන ඖෂධීය සත්කාර

කෙස් කළඹ කියලා කියන්නේ කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එකක්. සුන්දර කෙස් කළඹක් සහිත කාන්තාවකට තමන්ගේ කෙස් කළඹ නිරෝගීව තබාගන්නත්, දුර්වල හිසකෙස් සහිත කොණ්ඩයක් තිබෙන කාන්තාවකට එය නිරෝගී සුන්දර කෙස් කළඹක් බවට පත් කර ගන්නටත් ආයුර්වේදයේ ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඉන් එක් ආකාරයක් පිළිබඳව ආයුර්වේද පාරම්පරික ඉන්දියානු නාඩි වෛද්‍ය, ආයුර්වේද රූපලාවණ්‍ය ශිල්පිනී හසිනි සිල්වා මහත්මිය විසින් සිදුකරනු ලැබූ ප්‍රතිකාරයක් මේ ආකාරයෙන් පෙන්වා දෙනවා.

ආයුර්වේද මූලාශ්‍ර තුළ හිස මත තෙල් ආලේප කිරීම අභ්‍යංග කියලා හඳුන්වනවා. හිස් කබල වියලීම, කැසීම, හිසරදය, කණී රෝග, නේත්‍ර රෝග සහ නාසා රෝග ආදිය මෙමගින් සුව කර ගන්න පුළුවන්. ඒ වගේම හිස්සොරි, හිසකෙස් අග පැලීම, හිසකෙස් දුර්වර්ණවීම, අකලට හිසකෙස් පැසීම, අකලට හිසකෙස් හැලීම ආදී රෝගවලට හේතුවන කාරණා කීපයක් ම තිබෙනවා.

● හෝමෝන ක්‍රියාකාරීත්වය අසමතුලිතවීම.
● නින්ද අඩුවීම.
● පෝෂණ ඌනතා.
● රසායනික ක්‍රියා නිසා හිසකෙස් දුර්වලවී තිබීම.
● ස්ටේ්‍රට්, කලර්, රිබොන්ඩිං නිසා හිසකෙස් හානිවී තිබීම.
● නුසුදුසු ෂැම්පු සහ ඩයි වර්ග පාවිච්චිය නිසා හිසකෙස් හානිවී තිබීම.
● හිසකෙස් පීරන වැරදි ක්‍රම.
● නිතර අයන් කිරීම සහ වියලන යන්ත්‍ර මගින් වියලීම.

මෙවැනි හේතු නිසා දුර්වලවී ඇති හිසකෙස් නිවැරදි ඔයිල් සම්භානයක් මගින් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒ සඳහා නියමිත පියවර කීපයක් අනුගමනය කරන්න ඕනෙ.

1. හිස මුදුනට තෙල් ආලේප කිරීම.


2. හිස් කබල පුරා ම හොඳින් තෙල් වැදෙන ආකාරයට නිල උද්දීපනය කිරීම.


3. විද්‍යුත් ආලෝක තෙරපි ක්‍රමය භාවිතයෙන් සම්භාහනය කිරීම.


මෙමගින් හිසකෙස් මුලට හොඳින් තෙල් උරාගැනීම නිසා රුධිර ගමනාගමනය ක්‍රමවත්වීම සිදු වෙනවා.
4. ස්ටීම් කිරීම.
මෙමගින් හිසකෙස්වල ආලේපිත තෙල් හොඳින් උරාගැසීම සිදු වෙනවා. ඒ නිසා ඉතා සැහැල්ලු බවක් ඇති වෙනවා.


5. හිසකෙස් ස්ටීම් කරන අතරතුර දෙපා සඳහා නිල තෙරපුම් සත්කාරය ලබාදීමෙන් ඔයිල් සාත්කාරය සාර්ථකව නිම කර ගන්න පුළුවන්.

මෙම සත්කාරය මාසයකට වරක්වත් සිදු කිරීමෙන් සුන්දර කෙස් කළඹක් සහිත කාන්තාවකට තවදුරටත් එය නිරෝගීව තබාගනිමින් සුන්දර, දිගු, ශක්තිමත් කෙස් කළඹක් බවට පත් කර ගන්නත් දුර්වල හිසකෙස් සහිත කොණ්ඩයක් සහිත කාන්තාවන්ට එය නිරෝගී කෙස් කළඹක් බවට පත් කර ගන්නටත් උපකාරී කර ගන්න පුළුවන්.

ආයුර්වේද, පාරම්පරික, ඉන්දියානු නාඩි වෛද්‍ය, ආයුර්වේද රූපලාවණ්‍ය ශිල්පිනී හසිනි සිල්වා

සටහන – දුලංජලී මුතුවාඩිගේ