Food

කොලෙස්ටරෝල්වලට, පිළිකාවට ඖෂධයක් වන කරපිංචා

කරපිංචා යනු ඖෂධයක්, ආහාරයක් මෙන් ම රසකාරකයක් ලෙස ද භාවිතයට ගැනෙන එදිනෙදා ජීවිතයේ දී ඉතාමත් ප‍්‍රයෝජනවත් ශාකයකි. එනම් ශ‍්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල මුළුතැන්ගෙයට නැතිව ම බැරි ද්‍රව්‍යයක් වන මෙය ආහාර සුවඳවත් කරන ද්‍රව්‍යයක් ලෙස ද භාවිත කරයි. එමෙන් ම නිරෝගී ජීවිතයකට කරපිංචා පරිභෝජනය ඉතාමත් ගුණදායක වේ.

ශ‍්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල බහුල වශයෙන් වියළි කලාපයේ වැවෙන මධ්‍ය ප‍්‍රමාණයේ උසින් යුතු ශාකයක් වන මෙම ශාකය තෙත් කලාපයේ පවා ගෙවතුවල නිරන්තරයෙන් දැකිය හැකිය. මේවායේ පත‍්‍ර යුගල වශයෙන් පිහිටන අතර පත‍්‍රයක පත‍්‍රිකා 15ක්, 20ක් පමණ තිබේ. මෙහි පත‍්‍රිකා තද කොළ පැහැයෙන් යුක්ත වේ. එමෙන් ම පුෂ්ප සුදු පැහැයෙන් යුක්ත ය. තව ද මෙම ශාකයේ කුඩා රවුම් ගෙඩි හටගන්නා අතර ආයුර්වේදයේ දී ගිරිනිම්බ, කාලපත‍්‍ර වැනි නම්වලින් කරපිංචා හඳුන්වයි. එසේ ම ආයුර්වේද, යුනානි, සිද්ධ වෛද්‍ය ක‍්‍රමයන්ගේ මෙන් ම චීන වෛද්‍ය ක‍්‍රමයේ පවා මෙය ඖෂධයක් ලෙස හඳුන්වා ඇත. මෙම ශාකයේ පවතින සුගන්ධවත් වාෂ්පශීලී සෛල පදාර්ථ නිසා ආවේණික සුවඳක් පවතින අතර කරපිංචා පත‍්‍රවල විටමින්, කාබෝහයිඩ්‍රේට් සහ ශරීරයට අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක වර්ග වන කැල්සියම්, පොස්පරස්, යකඩ, මැග්නීසියම්, සින්ක් වැනි ඛනිජ ලවණ ද අන්තර්ගත වේ.

සාමාන්‍යයෙන් එදිනෙදා ආහාර පිසීමේ දී රසකාරකයක් ලෙස යොදාගැනීමට අමතරව ඉතාමත් ජනප‍්‍රිය ඖෂධීය පානයක් ලෙස කරපිංචා කැඳ හැඳින්විය හැකිය. කොළකැඳ සඳහා ද රස, ගුණ, සුවඳ එකතු කිරීමට විශේෂයෙන් ම කරපිංචා එකතු කරයි.

මෙහි ඇති ඖෂධීය ගුණය අධ්‍යයනය කළහොත්, මෙයට රුධිරයේ පවතින අනවශ්‍ය මේද කොටස් හෙවත් කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව පවතී. එයට හේතු වන්නේ කරපිංචාවල ඇති ශාකමය රසායනික ද්‍රව්‍යයන් ය. මෙමගින් ශරීරයේ බර වැඩිවීම වැනි තත්ත්ව පාලනය කරගත හැකිය. තව ද පුරාණ හෙළ වෙදකමේ දී ශරීරයේ තැන්පත්ව පවතින විවිධ විස වර්ග ඉවත් කිරීම සඳහා ද මෙම ඖෂධය යොදාගෙන තිබේ. මෙය වර්තමානයේ පර්යේෂණ මගින් ද සනාථ කරගෙන ඇති අතර ශ‍්‍රී ලංකාවේ දේශීය චිකිත්සාවේ දී සර්ප විස පාලනය කිරීමට කරපිංචා පත‍්‍ර කැඳක් ලෙස සකසා රෝගියාට පානය කිරීමට ලබාදෙයි. එමෙන් ම එදිනෙදා ජීවිතයේ දී ගන්නා ආහාර නිසා ශරීරයේ තැන්පත් වන බැර ලෝහ ඉවත් කිරීමට ද කරපිංචා ඉතාමත් යෝග්‍ය ඖෂධයක් ලෙස හැඳින්විය හැකිය.

මුඛ සෞඛ්‍යය සඳහා ද ප‍්‍රයෝජනවත් කාර්යභාරයක් සිදුකරන මෙය වර්තමානයේ දත් මදින කුඩු සහ දන්තාලේප සෑදීමේ දී ද යොදාගනී. අතීතයේ දී ජනතාව කරපිංචා ද`ඩු දත් මැදීම සඳහා දැහැටි ලෙස ද භාවිත කර තිබෙන අතර මෙම ශාකයේ ඇති ක්ෂුද්‍ර ජීවී නාශන ගුණය බැක්ටීරියා, දිලීර ආදීන් විනාශ කිරීමේ හැකියාවෙන් ද යුක්ත ය. එමෙන් ම අකලට දත් සෙලවීම, විදුරුමස්වලින් ලේ ගැලීම වැනි තත්ත්වයන් ද මෙමගින් පාලනය වේ.

තව ද කරපිංචා යනු ආහාර රුචිකාරකයකි. එසේ ම මෙමගින් ආහාර ජීර්ණය ද පහසු කරන අතර මෙහි ඇති තන්තුමය ස්වභාවය නිසා මල බැහැර කිරීම ද පහසු කරයි. එමගින් මලබද්ධය වැනි තත්ත්වයන් පවතී නම් ඒවා ද පහව යයි. එමෙන් ම මෙහි ඇති රුචිකාරක ගුණය සහ ආහාර ජීර්ණ හැකියාව නිසා අජීර්ණය, වමනය යාම, ආහාර අරුචිය වැනි රෝග තත්ත්වයන් ද දුරු වේ.

කරපිංචා ඖෂධයක් ලෙස ගත් කල පත‍්‍ර වියළා, කුඩු කර, උණු ජලය කෝප්පයකට දමා, මිනිත්තු කිහිපයකින් පෙරා රසවත් පානයක් ලෙස පානය කිරීමට හැකිය. ඊට අමතරව අමු කරපිංචා පත‍්‍ර තම්බා කසායක් ලෙස පානය කිරීමට ද හැකි වේ. එමෙන් ම කරපිංචා එකට අඹරා සම්බෝලයක් ලෙස සකස්කොට ආහාර වේලට එක්කර ගැනීමට ද හැකියාව ඇත. විශේෂයෙන් ම ගර්භණී කාලයේ දී ඇතිවන වමනය පාලනය කිරීමටත් මෙය ඉතා හො`ද ඖෂධයකි. තව ද කරපිංචාවල මානසික ආතතිය දුරු කිරීමේ සුවිශේෂී ගුණයක් ද තිබේ. එසේ ම මෙහි පවතින ප‍්‍රතිඔක්සිකාරක ගුණය නිසා ශරීරයේ විවිධ පිළිකා වැනි තත්ත්ව මගහරවාගැනීමට ද හැකිය. එනම් විශේෂයෙන් ම පිරිමින්ට ඇතිවන පුරස්ථි ග‍්‍රන්ථි පිළිකා සහ අන්ත‍්‍රයේ ඇතිවන පිළිකා තත්ත්වයන් බොහෝ දුරට මෙමගින් සමනය වේ. එමෙන් ම පිළිකා රෝග සඳහා වර්තමානයේ විකිරණ ප‍්‍රතිකාර සහ ඖෂධීය ප‍්‍රතිකාර ලෙස විවිධ ආකාරයේ ප‍්‍රතිකාර ලබාදෙන අතර එමගින් සිදුවන අහිතකර බලපෑම් වන ආහාර අරුචිය වැනි තත්ත්වයන් සමනය කරගැනීමට ද කරපිංචා ඉතාමත් අගනා ඖෂධයකි.

අතීතයේ සිට හිසේ ගැල්වීමට හිඳින ඖෂධීය තෛල සඳහා ද ඒවා සුවඳවත්වීමටත්, හිසේ ඇතිවන අකලට හිසකෙස් ගැලවීම, අකලට හිසකෙස් සුදුවීම සහ හිස්හොරි වැනි තත්ත්වයන් වළක්වාගැනීමට සුදුසු ඖෂධයක් ලෙසත් කරපිංචා භාවිත කරයි. එසේ ම මෙහි ඇති ප‍්‍රතිඔක්සිකාරක ගුණය හොඳින් වැඩීමටත්, හිසේ ඇතිවන දිලීර වැනි තත්ත්වයන් පාලනය කිරීමටත් උපකාරී වේ.

අක්මාව සඳහා ද කරපිංචා ඉතා හොඳ ඖෂධයකි. එනම් මෙය විටමින් A හා B ඉතාමත් බහුල ශාකයකි. එම නිසා අක්මාව ආශ‍්‍රිත රෝග තත්ත්වයන් සමනය කිරීමට මෙම විටමින් බොහෝ සෙයින් උපකාර වේ. මද්‍යසාර භාවිතයෙන් හෝ වෙන යම් හේතුවක් නිසා අක්මාවේ රෝග සහිත පුද්ගලයන් නිතර කරපිංචා අඩංගු ආහාර ගැනීමත්, ඖෂධයක් ලෙස කරපිංචා භාවිත කිරීමත් ඉක්මන් සුවයට හේතු වේ.

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක