Food

නිරෝගීව ඉන්න ඉරමුසුවලින් ලැබෙන උපකාරය

ශ්‍රී ලංකාවේ බොහෝදෙනෙක්ට හුරුපුරුදු පැළෑටියක් වන ඉරමුසු ආයුර්වේදයේ දී කසාය වර්ග, කුඩු වර්ග, පැණි වර්ග, අරිෂ්ට වර්ග ආදී වශයෙන් ඖෂධ බොහෝමයක් සෑදීමට උපකාරී වන ශාකයකි. මෙය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම යුනානි වෛද්‍ය ක්‍රමය, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය වැනි වෛද්‍ය ක්‍රමවල ද ඖෂධයක් ලෙස භාවිත කරයි.

ඉතා සිහින් වැලක් ලෙස වැඩෙන මෙම ශාකය ශුෂ්ක ප්‍රදේශවල හැර ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශවල දැකිය හැකි වේ. එමෙන් ම ඉන්දියාව, පාකිස්තානය වැනි රටවලද මෙම ඖෂධීය පැළෑටිය හොඳින් වැඩේ.

මෙහි කඳ ඉතා සිහින් වන අතර දුඹුරු පැහැයෙන් යුක්ත ය. තව ද මෙම ශාකයේ සිහින් දිගටි පත්‍ර දැකගත හැකි අතර පත්‍රය මැදින් සුදු පැහැති රේඛාවක් පවතී.

මෙම ශාකයේ සංස්කෘත නාමය “ශාරිබා” වන අතර ආයුර්වේදයේ දී මල්වල පහැය අනුව ඉරමුසු ශාකය වර්ග දෙකකින් හඳුනාගැනේ. එනම් මෙහි සුදු පැහැති වර්ගය “ස්වේත ශාරිබා” ලෙසත් මල් රතු පැහැති වර්ගය “රක්ත ශාරිබා” ලෙසත් හඳුන්වයි. මීට අමතරව මෙම ශාකය අනන්ත මුල, ගෝපී, ගෝපකන්‍යා වැනි නම්වලින් ද හඳුන්වයි. තව ද මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Hemidesmus Indicus වන අතර මෙය Apocynafe කුලයට අයත් ඖෂධීය ශාකයකි.

ආයුර්වේදයේ දී සම්පූර්ණ ඉරමුසු වැල ම ඖෂධ පිණිස ලබාගනියි. ඒ අතර මෙම ශාකයේ මුල් ඖෂධ සඳහා ලබාගැනීම සුවිශේෂ වේ. එසේම ඉතාමත් නැවුම් සුවඳක් සහිත මෙම ශාකය ආයුර්වේදයට අනුව ත්‍රිදෝෂය ම (වාත, පිත, කඵ) දුරු කරන්නට උපකාරී වේ. තව ද මෙය ඉතා ම හොඳ ශරීරය සිසිල් කරන ඖෂධයක් ලෙස ද හඳුනාගත හැකිය. එම නිසා උෂ්ණ අධික කාලවල දී ඉරමුසු සම්පූර්ණ ශාකය ම තම්බා පානය කිරීම ශරීරය සිසිල් කිරීමට ඉතාමත් යෝග්‍ය ඖෂධයකි. එමෙන් ම පිත් දෝෂය නිසා බොහෝ පුද්ගලයන්ට ඇතිනව අම්ල පිත්ත රෝගයට ද අගනා ඖෂධයක් ලෙස ඉරමුසු දැක්විය හැකිය.

ඉරමුසු යනු ශරීරයේ රුධිර පිරිසිදුකාරකයක් ලෙස ද දැක්විය හැකිය. එසේ ම අධික උෂ්ණත්වය නිසා ශරීරයේ ඇතිවන දහඩිය බිබිලි, විවිධ ආසාත්මිකතා වැනි රෝග තත්ත්වවලදී ඒවා සමනය කිරීමට මෙය ඉතාමත් සාර්ථක ඖෂධයකි. එමෙන් ම මෙහි ඇති ප්‍රසන්න සුවඳ නිසා මෙහි ආහාර රුචිකාරක බව ද වැඩි කරයි. ඒ නිසා ආහාර අරුචිය වැනි තත්ත්වයන්ට ලබාදෙන ඖෂධවලට ද ඉරමුසු අඩංගු කර තිබේ. තව ද ශාරිබාද්‍යාශව, මහාමංජිස්ඨාදී කසාය වැනි ඖෂධ සෑදීමේදීත්, ස්නායු ආබාධවල දී භාවිත කරන මහා විශ්වගන්ධ තෛලය ඉරමුසු භාවිත කර සාදයි. එමෙන්ම ඇතැම් අවස්ථාවල ඉරමුසුවල මුලේ ඇති නිස්සාරකය විවිධ දෑ සුවඳවත් කරන සහ රසවත් කරන කාරකයක් ලෙස ද භාවිත කරයි.

ඉරමුසු ශාකය ඖෂධයක් ලෙස ශරීර අභ්‍යන්තරයෙන් මෙන් ම බාහිරව ද යොදාගන්නා අතර විශේෂයෙන් ම ඉරමුසු මුල් අඹරා ශරීරයේ ඉදිමුණ ස්ථානවල හෝ සන්ධි ආබාධ සහිත ස්ථානවල ඉදිමුම සහ වේදනාව සමනය කරගැනීමට යොදාගනී. තව ද ඉරමුසු යනු රසායන ගුණ සහිත ඖෂධයකි. එනම් මෙය ප්‍රතිඔක්සිකාරක ගුණය බහුල ශාකයකි. එම නිසා ප්‍රතිඔක්සිකාරක ගුණය උපකාර වන පිළිකා වැනි තත්ත්වවල දී යොදාගත හැකි ඖෂධයක් ලෙස ද හැඳින්විය හැකිය. එනම් පියයුරු ආශ්‍රිත පිළිකා සහ අන්ත්‍ර ආශ්‍රිත පිළිකාවල දී භාවිත කරන සුවිශේෂී ඖෂධයකි.

මෙහි දී ශරීරයේ රුධිරය පිරිසිදු කිරීමට ඉරමුසු පැණිය සාදාගැනීම සිදුකරන අතර, එයට වියළි ඉරමුසු ග්‍රෑම් 100ක් ගෙන ඒ සඳහා ජලය ලීටර් එකක් දමා එය ජලය ලීටර් භාගයකට හින්දා පසුව ග්‍රෑම් 400ක් පමණ සීනි ප්‍රමාණයක් ගෙන පැණි පදමට එම කසායට එකතු කිරීමෙන් එම ඉරමුසු පැණිය සාදාගනියි. ඉන්පසුව වරකට එයින් මේස හැඳි දෙක බැගින් දිනකට දෙවරක් ගැනීමෙන් ශරීරය සිසිල් කර රුධිරය පිරිසිදු කරයි. මීට අමතරව ඉරමුසු තම්බා පානයක් ලෙස මෙන් ම වියළි ඉරමුසු කුඩුකර කුඩු ආකාරයෙන් ද භාවිත කළ හැකිය.
තව ද ඉරමුසු යනු ගෘහාශ්‍රිතව ඖෂධ ලෙස යොදාගත් අත් බෙහෙතක් ලෙසින් හැඳින්විය හැකිවේ. එමෙන් ම “ශාරිබා” හෙවත් ඉරමුසු කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ගැටලු රාශියකට පිළියම් ලබාදෙන ඔසුවකි. එනම් ආර්ථවයේ දී ඇතිවන අධික රුධිර පිටවීම් වැනි තත්ත්වයන්, ආර්ථවයේ දී ඇතිවන දැඩි වේදනාව සහ ප්‍රජනක පද්ධතියේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් වැනි තත්ත්වවලට ප්‍රතිකාර කිරීමේ දී මෙම ඖෂධීය ශාකය භාවිතයට ගනියි.

එසේම මෙය ශරීරයේ පවතින විෂ නැති කරන ඖෂධයක් ලෙසින් ද හැඳින්විය හැකිය. තව ද නිරෝගි සමකට ඉරමුසු ඉතාමත් හොඳ ඔසුවකි. එමෙන් ම මෙය ඉතාමත් හොඳ රුධිර පිරිසිදුකාරකයක් නිසා කෘමි සතුන් දෂ්ට කිරීමෙන් ඇතිවන විෂ තත්ත්වයන් දුැර වේ. මීට අමතරව මුඛයේ ඇතිවන උෂ්ණ බිබිලිවලට ඉරමුසු මුලක් හපා එම ස්ථානයේ තැබීමෙන් ඉක්මනින් එය සුව අතට පත්කරගත හැකිය. තව ද මෙය ශරීරයට ඉතාමත් ප්‍රබෝධමත් ගුණයක් ළඟාකරන ඖෂධයක් වේ. එමනිසා එදිනෙදා පානය කරන කිරි වීදුරුවට ඉරමුසු කුඩු තේ හැන්දක් පමණ මුසු කර ගැනීමෙන් ඉහත දක්වා ඇති රෝගාබාධ දුරුකැගැනීමට බොහෝ සෙයින් උපකාරී වේ.

මේ අයුරින් ශරීර අභ්‍යන්තරිකව මෙන් ම තුවාල, කුෂ්ට වැනි තත්ත්වයක දී ඉරමුසු බාහිර ආලේපනයක් ලෙස ද භාවිත කළ හැකිය. එය වේදනාව සමනය කර ඉක්මන් සුවය ළඟාකරයි.

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක