Health

ආයුර්වේදයේ වටිනාම ඖෂධ අතර ඇති නික

ආයුර්වේදයේ දී ඉතාමත් වැදගත් ඖෂධීය ශාකයක් වන “නික” ශාකය ශරීරය රෝගවලින් ආරක්ෂා කරන යන අර්ථය සහිත “නිර්ගුන්දී” යන නමින් ද හඳුන්වයි. එමෙන්ම ආයුර්වේදයේ ඇති සංහිතා ග්‍රන්ථ තුන වන සුශෘත සම්හිතාව, චරක සම්හිතාව සහ අෂ්ටාංග හෘදය සම්හිතාව යන ග්‍රන්ථ තුනෙහි ම “නික” ඉතාමත් වටිනා ඖෂධයක් ලෙස දක්වා තිබේ. තව ද ආයුර්වේදයේ දී භාවිත කරන ඖෂධ අතරින් දුර්ලභ ගණයේ සලකන බාහිරින් සිදුකරන ප්‍රතිකාර සඳහාත්, අභ්‍යන්තරව සිදුකරන ප්‍රතිකාර සඳහාත් යන දෙවිදිහට ම භාවිත කළ හැකි ඔසු ගුණ සහිත ශාකයක් ලෙස ද මෙය හැඳින්විය හැකිය.

“නික” ප්‍රධාන විශේෂ දෙකක් ලෙස හඳුනාගත හැකි අතර ඉන් එකක් සුදු මල් සහිත වර්ගය හෙවත් “සින්ධුවාර” වේ. අනෙක් විශේෂය නිල් මල් සහිත“පුෂ්ප නීලිකා” ලෙස ආයුර්වේද ග්‍රන්ථවල දැක්වේ. එමෙන්ම මෙහි උද්භිද විද්‍යෘත්මක නාමය Vitex Negundoයි. මෙම ශාකය ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, ජපානය, චීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල දැකගත හැකිය. උෂ්ණ දේශගුණයක් සහිත ප්‍රදේශවල “නික” ශාකය හොඳින් වැඩෙන අතර මෙය සාමාන්‍යයෙන් මීටර් 5ක් පමණ උසට වැඩෙන ඉතා හොඳින් අතු විහිදෙන ශාකයකි.

මෙම ශාකයේ පත්‍රවලට ආවේණික විශේෂ සුගන්ධයක් ඇත. එමෙන්ම නිකවලට ඇත්තේ පත්‍රිකා පහකින් සමන්විත සංයුක්ත පත්‍රයකි. තව ද ස්වේත පත්‍ර සහිත “නික” විශේෂයේ පත්‍ර ඉතාම තද කොළ පැහැයෙන් යුක්තය. නමුත් නිල් මල් හටග්නනා “නික” විශේෂයේ පත්‍ර තරමක් දම් පැහැයට හුරු ස්වභාවයක් ගන්නා අතර ඈතට දම් පැහැයෙන් යුතු ශාකයක් ලෙස පෙනේ. මීට අමතරව මෙහි කඳ තරමක් අළු පැහැයෙන් යුතු වේ. එසේම පුෂ්ප ඉතාම කුඩා වන අතර පොකුරු ස්වභාවයක් ගනී. තව ද “නික” ශාකයේ ඵලය ඉතා කුඩා තරමක් දම් පැහැයට හුරු ඵලයකි.

ආයුර්වේදයේ දී ඖෂධ ලෙස “නික” ශාකයේ පත්‍ර, කඳේ පොතු, මල්, මුල් සහ ඵල වැනි සෑම අංගයක් ම භාවිත කරයි. ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අමතරව යුනානි වෛද්‍ය ක්‍රමය, දේශීය වෛද්‍ය ක්‍රමය, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය සහ චීන වෛද්‍ය ක්‍රමය වැනි බොහෝ වෛද්‍ය ක්‍රමවල මෙම ශාකය ඖෂධ සඳහා භාවිත කරයි.

“නික”වල ඇති ප්‍රධාන ගුණයක් ගැන සඳහන් කරන්නේ නම්, මෙය ඉතාමත් ගුණදායක වේදනා නාශක ඖෂධයකි. එමෙන්ම මෙහි ප්‍රදාහ නාශක ගුණය ද ඇත. විශේෂයෙන් ම ශ්‍රී ලංකා දේශීය චිකිත්සාවේ ද බහුල වශයෙන් මෙහි ඇති වේදනා නාශක ගුණය සහ ප්‍රදාහ නාශක ගුණය ප්‍රයෝජනයට ගනී. එනම් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මවක් දරුවෙකු ප්‍රසූත කළ පසු ඇයව විවිධ කොළ වර්ග යොදා තැම්බූ ජලයෙන් නෑවීම සිදු කරයි. එය මවට දරු ප්‍රසූතියේ දී ඇතිවන යම් යම් ප්‍රදාහ තත්ත්ව, වේදනාකාරී තත්ත්ව සමනයවීමට උදව් වේ. එහිදී එම ජලයට අනිවාර්යෙන් ම යොදන පත්‍ර විශේෂයක් ලෙස “නික” ශාකයේ පත්‍ර හැඳින්විය හැකිය.
එමෙන්ම දේශීය චිකිත්සාවේ දී සන්ධි වේදනා, ශරීරයේ මාංශ පේශිවල ඇති වන වේදනාවන් සඳහා විවිධ පොට්ටනිවලින් තැවීම සිදුකරන අතර මේ සඳහා “නික” කොළ පොට්ටනියක් යොදාගැනීම වේදනා නාශනයට ඉතාමත් වැදගත් ප්‍රතිකාරයකි.

තව ද ආයුර්වේදයේ දී සන්ධි වේදනා සහ ඉදිමුම සඳහා “නික” පත්‍ර ඇල් ජලයෙන් තලපයක් ලෙස සකසා එම සන්ධිවල හොඳින් ආලේප කිරීම මගින් පවතින වේදනාව සහ ප්‍රදාහ තත්ත්වය දුරු වේ. මීට අමතරව “නික” පත්‍රවල යුෂ තල තෙල් සමග මිශ්‍ර කර විශේෂ තෛලයක් සකස් කරන අතර එය ආලේපයෙන් අකලට හිසකෙස් සුදුවීම, ඉස්හොරි ඇතිවීම වැනි තත්ත්ව සමනය වේ. එමෙන්ම නස්‍ය (නස්න) චිකිත්සක ප්‍රතිකාර සඳහා ද මෙය භාවිත කරයි.

“නික” ශාකයේ පවතින තවත් විශේෂ ගුණයක් ලෙස තුවාල සුව කිරීමේ හැකියාව හඳුන්වාදිය හැකිය. මෙහිදී “නික” පත්‍ර මිටක් ගෙන ඊට ජලය කෝප්ප දෙකක් දමා එය කෝප්ප 1/3කට පමණ හින්දීම සිදුකළ යුතුය. ඉන්පසු එය පෙරා ලැබෙන කසායෙන් කට සේදීම මගින් මුඛයේ ඇතිවන තුවාල තත්ත්ව සුව කරගැනීමේ හැකියාව ඇත. මෙම “නික” කොළ කසායේ ඉතා හොඳ විසබීජ නාශන ගුණයක් පවතින අතර බැක්ටීරියා, දිලීර වර්ග විනාශ කිරීමේ ශක්තිය එයට තිබේ.

“නික” යනු ඉතාම සුළු උණ තත්ත්වයක සිට ලාදුරු වැනි භයානක රෝග දක්වාම සියලු ම රෝග සඳහා ඖෂධ සැකසීමට ලබාගන්නා ඉතා හොඳ ඔසු ගුණ පිරි ශාකයකි. උණ තත්ත්වයක දී “නික” පත්‍ර කසාය තම්බා පානය කිරීමට හැකිය. එමෙන්ම “නික” මුල් හෝ පොතු වියළා සකස් කරන ලද කුඩු දිනකට ග්‍රෑම් 1 සිට 3 අතර ප්‍රමාණයක් දිනකට දෙවරක් පමණ පානය කිරීමට හැකි නම් උණ තත්ත්වයන් සමනය වන අතර උණ නිසා ඇතිවන ශරීරයේ වේදනාකාරී තත්ත්වයන් දුරු වේ.

මීට අමතර කාන්තාවන්ට ඇතිවන ආර්ථවයේ දෝෂ, එනම් නිසි ආකාරයෙන් ආර්ථවය සිදු නොවීම, අධික වේදනාව ආදී තත්ත්වයන්ට ප්‍රතිකාර ලෙස විවිධාකාරයෙන් “නික” ඖෂධයක් ලෙස භාවිත කරයි. තව ද ආර්ථවයේ දෝෂ හෝ වෙනත් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ගැටලු නිසා කාන්තාවන්ට ඇතිවිය හැකි මානසික අසහනය සමනය කිරීමටත් නික ඉතාමත් වැදගත් වේ.

එමෙන්ම ආයුර්වේදයේ දී භාවිත කරන සරස්වත අරිෂ්ටය යනු මානසික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ට සහ මානසික පීඩනයෙන් සිටින පුද්ගලයන්ට ලබාදෙන ඖෂධයකි. එය ද “නික” පත්‍රවල යුෂ අඩංගු කර සාදයි.

තව ද පර්යේෂණවලින් සනාථ කරගෙන ඇති පරිදි ශුක්‍රවල චලනය නිසි ආකාරයෙන් සිද්ධ නොවීම නිසා පුරුෂ වන්ධ්‍යභාව සිදුවිය හැකිය. මේ සඳහා “නික” අඩංගු ඖෂධ භාවිත කිරීමෙන් ශුක්‍රාණුවල චලනය ඉතාම හොඳින් සිදුකරයි. එම නිසා මෙය පුරුෂ වන්ධ්‍යාභාවය සඳහාත් ඉතාමත් ප්‍රතිඵලදායක ඖෂධයක් ලෙස හැඳින්විය හැකිය.

මීට අමතරව වේදනාවන් සමනය කරන ඖෂධයක් ලෙස “නික” පත්‍ර හොඳින් ජලයෙන් අඹරා නළලේ ආලේප කිරීමේ හිසරදය දුරුකර ගත හැකිවේ. එමෙන්ම මානසික අසහනය සහ වේදනාවන් දුරු කිරීමේ ගුණයන් සලකා ඇතැම් අවස්ථාවල “නික” පත්‍ර නිදාගන්නා කොට්ටය තුළට දැමීමෙන් පවා එහි ගුණය අදාළ රෝගියාට ලැබෙන බව ආයුර්වේදයේ සඳහන් කරයි. තව ද “නික” යනු පෙනහලු ආශ්‍රිත රෝග සඳහා ද ඉතාම හොඳ ඖෂධයකි. එනම් කැස්ස, පෙනහලු ආශ්‍රිත සෙම තත්ත්වයන්, ඇදුම වැනි රෝග සඳහා ද මෙය ඔසුවක් ලෙස භාවිත කරයි. එහිදී “නික” පත්‍ර කබලකට දමා රත්කර එහි දුම ආග්‍රහණය කිරීමෙන් එම තත්ත්වයන් සමනය වන බව ද සඳහන් වේ.

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක