Food

ස්ථූලතාව අඩු කරන දියවැඩියාවටත් ගුණදායක ගොරකා

ඉතාමත් ඉහළ ඖෂධීය වටිනාකමක් සහිත ගොරකා ඖෂධයක් ලෙස පිළිගැනීමට ලක්වූයේ ඉතා මෑත කාලයේ දී වුවත් ඈත අතීතයේ සිට ම ආහාර රස කරන ද්‍රව්‍යයක් ලෙස ප්‍රචලිත ය. ඒ අනුව මාළු ඇඹුල්තියල්, කිරිහොදි වැනි වෑංජන පිසීමේ දී අනිවාර්යයෙන් ම තිබිය යුතු ද්‍රව්‍යයක් ලෙස ද මෙය හැඳින්විය හැකිය.

මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය garcinia morella වන අතර මෙය clusiaceae කුළයට අයත් වේ. එමෙන්ම මෙය ආයුර්වේදයේ දී හඳුන්වන්නේ “වෘක්‍ෂාම්ල” ලෙසයි. ඇඹුල් රසයෙන් යුතු ද්‍රව්‍යයක් ලෙස “වෘක්‍ෂාම්ල” හෘදයට වඩාත් හිතකර බව ආයුර්වේදයේ සඳහන් වේ.
මෙහි ඖෂධීය ගුණය පිළිබඳව අධ්‍යයනය කළහොත් අයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කඵ (සෙම්) සහ වාත සමනයට දායක වන වටිනා ඖෂධයක් ලෙස හැඳින්විය හැකිය. එසේම ස්ථූල පුද්ගලයන් කෙට්ටු කිරීම සඳහා භාවිත කරන ඖෂධයක් ලෙස ද යොදාගනියි.

“ගොරකා” ශාකය දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල තෙත් ප්‍රදේශවල සහ තෙත් වනාන්තරවල ඉතාමත් හොඳින් ව්‍යාප්ත වේ. මධ්‍යම උස ප්‍රමාණයේ ශාකයක් වන මෙහි පත්‍ර ඉතාමත් තද කොළ පැහැයෙන් යුක්ත ය. තව ද ඉලිප්සියාකාර හැඩයෙන් යුක්ත මෙම පත්‍ර මතුපිට ඉටිමය ස්වභාවයක් පෙන්නුම් කරයි. මෙහි ඵලය අමු අවදියේ කහ පැහැයෙන් යුක්ත වන අතර බික් සහිත වටකුරු හැඩයකින් යුක්ත වේ. එමෙන්ම මෙම ඵලය ක්‍රමයෙන් ඉදුණු තත්ත්වයට පත්වන විට තැඹිලි / රතු පැහැයට පත් වේ. මෙම ඵලයේ ඇති බික් සහිත කොටස වියලා ඖෂධ සඳහා බොහෝ විට භාවිත කරයි. මීට අමතරව මෙම ශාකයේ මුල් සහ පත්‍ර ද ඖෂධ වශයෙන් යොදාගනියි.
විශේෂයෙන් ම ස්ථූලතාව අඩුවීම සහ ගැස්ට්‍රයිටීස් ඇතිවීමෙන් ආරක්‍ෂාවීම වැනි වටිනා ප්‍රයෝජනයන් සහිත ගොරකා ආහාර සමග එකතුවීමෙන් ආහාර ජීර්ණය ද පහසු කරයි. එමෙන්ම ගොරකා සහිත ආහාර ගැනීමේ දී ඉක්මනින් ම උදරය පිරුණු ස්වභාවයක් ඇතිවීම නිසා අනවශ්‍ය තරම් වැඩිපුර ආහාර ගැනීම ද වැළකෙයි. එය ශරීරයේ බර අඩුවීමට සහ ස්ථූලතාව අඩුවීමට බලපායි. තව ද ආහාර ජීර්ණයේ දුර්වලතා සහිත පුද්ගලයන්ට ද මෙය ඉතාමත් ප්‍රතිඵලදායක ඖෂධයකි.

මීට අමතරව දියවැඩියා රෝගයෙන් පෙළෙන අයගේ ඉන්සියුලින් පිටකරන සෛලවලට යම් සංවේදීතාවක් ලබාදී ඉන්සියුලින් පිට කිරීම වර්ධනයට ද ගොරකාවලට හැකිය. එමෙන්ම මේ හරහා ශරීරයේ බර අඩු කිරීම මගින් රුධිරයේ පවතින කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවීමට ද වක්‍රාකාර බලපෑමක් සිදුවේ. එනම් ගොරකාවලට ශරීරයට අහිතකර මේද කොටස් තැන්පත්වීම අවම කිරීමත්, ශරීරයට හිතකර මේද කොටස් තැන්පත්වීම වර්ධනය කිරීමටත් හැකියාවක් පවතී. එමනිසා හෘදයාබාධවලින් ආරක්‍ෂාවීමට ද මෙය ඉතාමත් ගුණදායක ඖෂධයකි. ඒ අනුව ආයුර්වේදයේ සම්හිතා ග්‍රන්ථවල ද ගොරකා හඳුන්වා ඇත්තේ හදවතට හිත ඖෂධයක් ලෙස ය.

සාමාන්‍යයෙන් ඇඹුල් ආහාරයක් ගන්නා විට අප බොහෝ විට සිතන්නේ එය අම්ලපිත්ත රෝගය (ගැස්ට්‍රයිටිස්) වැඩි කරනු ඇති බවයි. නමුත් ගොරකා මගින් ආමාශයේ ආම්ලිකතාව අඩු කරන අතර ආමාශය ආශ්‍රිතව තුවාල ඇතිව තිබුණහොත් ඒවා ඉතා ඉක්මනින් සුවවීමට ද උපකාර වේ. එමෙන්ම මෙය ප්‍රතිඔක්සිකාරක ගුණය බහුල ඖෂධයක් ද වේ. එය පිළිකා නාශන ගුණයෙන් යුක්ත වන අතර විශේෂයෙන් ම ආහාර මාර්ගය ආශ්‍රිතව පිළිකා ඇතිවීම වැළැක්වීමට ද සමත් ය. තව ද ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන විවිධාකාරයේ ක්‍ෂුද්‍ර ජීවින් විනාශ කිරීමේ හැකියාව ද මෙම ඖෂධයට පවතී. එසේම මුඛය ආශ්‍රිතව ඇති වන විවිධ රෝග සඳහා ද ගොරකා ඖෂධයක් ලෙස භාවිත කරයි. එනම් ගොරකා තැම්බූ ජලයෙන් කට සේදීම මුඛය ආශ්‍රිතව ඇති වන ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ කර බොහෝ මුඛ රෝග සමනය කර ගත හැකිය.

එමෙන්ම ආහාර රස කරන ද්‍රව්‍යයක් ලෙස ගොරකා භාවිත කිරීම නිසා දිව ආශ්‍රිත රසාංකුර උද්දීපනයවීම ද සිදුවේ. එමනිසා ඇතැම් රෝගවල අතුරු ඵලයක් ලෙස ආහාරවල රස නොදැනීම වැනි තත්ත්වයක දී ආහාරවලට ගොරකා එකතු කර පිළියෙල කිරීමත්, ගොරකා තැම්බූ ජලයෙන් කට සේදීමත් ඉතාමත් හොඳින් ප්‍රතිඵල ගෙනදෙන්නකි.

තව ද වෙහෙසකර අවස්ථාවල දී පාද ආශ්‍රිත ඉදිමීම් සහ සන්ධි ආශ්‍රිත වේදනාවන් ඇති විය හැකිය. එහිදී මෙම ඖෂධයේ ඇති ප්‍රදාහනාශක ගුණය මගින් සන්ධිවල සහ පාදවල ඉදිමීම් සහ වේදනා තත්ත්වයන් සමනය කරගත හැකි වේ. එවැනි අවස්ථාවල දී ගොරකා ඵලය තම්බා ආලේප කිරීම ඉතාමත් ගුණදායක ය. එමෙන්ම ක්‍රීඩා කිරීම, කඳු නැගීම වැනි කාර්යයන් නිසා පාදවල කෙණ්ඩා ආශ්‍රිතව ඇති වන වේදනාවක දී ගොරකා තම්බා පොට්ටනියක් බැඳ තැවීම සහනයක් ගෙන දෙයි.

රූපලාවණ්‍ය සඳහා ද ආයුර්වේදයේ දී භාවිත කරන ද්‍රව්‍යයක් ලෙස ගොරකා හැඳින්විය හැකිය. එනම් මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම රැලි වැටීම වැනි වයසට යාමේ ලක්‍ෂණ පාලනයවී තරුණ පෙනුම කාලයක් පවත්වාගෙන යාමට උපකාරී වේ. තව ද කකුල් පැලීම වැනි තත්ත්වයක දී නීල්‍යාදී, පිණ්ඩ ආදි තෛලයක් සමග තැම්බූ ගොරකා මිශ්‍ර කර ආලේප කිරීමෙන් පැහැදිලි දෙපතුලක් ඇති කර ගත හැකිය.

එසේම ගොරකා නිතර ආහාරයට එකතු කර ගන්නා පුද්ගලයන්ගේ මුත්‍රා ගල් ඇතිවීම ද පාලනය වේ. මීට අමතරව මෙය මානසික ආතතිය දුරු කිරීමට ද සහය වන අතර නිරන්තරයෙන් ආහාර සඳහා ගොරකා එක්කරගැනීමෙන් ශරීරයේ පවතින විෂ තත්ත්වයන් ඉවත් කර ගැනීමට ද හැකිය. එනම් මෙය ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන් ද යුතු ඖෂධයකි.

තරබාරුකම හෝ ශරීරයේ බර අඩු කර ගැනීමට ගොරකා භාවිත කරන්නේ නම් ආහාර ගැනීමට පැයකට පමණ පෙර ආහාරයට ගැනීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ළඟා කර ගත හැකිය. මේ ආකාරයෙන් ආහාර රසකාරකයක් වශයෙන් සහ ඖෂධයක් වශයෙන් ඉතාමත් ගුණදායක ගොරකා නිතර ආහාර සඳහා එකතුකරගැනීම බොහෝ රෝගාබාධ දුරුවීමටත් ඇතිවීම වැළැක්වීමටත් දායක වන බව දැකිය හැකිය.

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක