Food

විෂ නසන ගුණ සහිත මුරුංගා

එදිනෙදා ආහාර වේලට බොහෝදෙනා නිතර එකතු කරගන්නා මුරුංගා පෝෂණ ගුණයන්ගෙන් ඉතාමත් වැඩි ආහාරයකි. එමෙන් ම මෙය ආයුර්වේදයේ දී ඖෂධ ගුණයෙන් ඉතා ඉහළ ශාකයක් ලෙස ද භාවිත කරයි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය “Moringa Oleifera” වන අතර මුරුංගා අයත් වන්නේ “Moringaceae” කුලයට ය. එසේ ම ආයුර්වේදයේ දී මුරුංගා හදුන්වන්නේ ”ශෝබාංජන” යන නාමයෙනි. එනම් එහි අර්ථය ඉතා ම වටිනා / උතුම් ශාකය වේ. තව ද මුරුංගා කොළයේ ඇති තරමක් සැර ගන්ධය නිසා මෙයට ”තීක්ෂ්ණ ගන්ධ” යන නාමය ද, දුන්නෙන් ගිලිහුණු ඊතලයක් මෙන් ඉතාමත් ඉක්මනින් ක‍්‍රියා කර වේදනාව සමනය කළ හැකි ඖෂධයක් නිසා ”ශිගෘ” යන නාමයෙන් ද හදුන්වයි.

මුරුංගා ශාකය බහුලව දැකගත හැක්කේ නිවර්තන සහ උප නිවර්තන ප‍්‍රදේශවලයි. එනම් ඉන්දියාව, ශ‍්‍රීී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය වැනි රටවල මෙම ශාකය බහුලව දැකගත හැකිය. විශේෂයෙන් ම ශ‍්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ ජනතාව ආහාරයක් ලෙස මුරුංගාවලට ඉතාමත් ප‍්‍රිය කරති. මෙම ශාකයේ ස්වභාවය ගත් කල මෙය අඩි 20ත්, 40ත් අතර උසින් යුක්ත වන අතු විහිදී වැඩෙන ශාකයකි. මෙහි පොත්ත තරමක් සුදු සහ අළු පැහැයෙන් යුක්ත වන අතර ළා කහ පැහැයකට හුරු පුෂ්ප ද හටගනියි. මුරුංගා ශාකයේ තනි පත‍්‍රිකාවක් ගත් කල එය කොටස් තුනකට බෙදී ඇත. මෙහි ඇත්තේ එවැනි පත‍්‍රිකා රාශියක් එකතු වී සැදුණු සංයුක්ත පත‍්‍රයකි.

ආහාර වශයෙන් අප ප‍්‍රයෝජනයට ගන්නේ මුරුංගා ශාකයේ කරල් සහ පත‍්‍ර ය. එහෙත් ඖෂධීය වශයෙන් පත‍්‍ර, පොතු, මුල්, මල්, කරල්, ඇට ආදී සියල්ල ප‍්‍රයෝජනයට ගනී.

මුරුංගා ශාකයේ පත‍්‍රවල ආහාරමය ගුණය කරල්වල ආහාරමය ගුණයට වඩා වැඩි ය. එමෙන් ම මුරුංගා සහිත ආහාර වේලක ඛනිජ ලවණ වැනි පෝෂණීය ගුණයන් බහුලව අන්තර්ගත වේ. එනම් විශේෂයෙන් ම ශරීරයට අවශ්‍ය විටමින් A, විටමින් B, විටමින් C, යකඩ, කැල්සියම්, පොටෑසියම් හා වෙනත් ආහාරවලින් ලබාගැනීමට අපහසු ඉතාමත් ක්ෂුද්‍ර මූලද්‍රවයක් වන සින්ක් ආදී පෝෂණ ගුණයන් ලබාගත හැකි ආහාරයක් ලෙස ද මුරුංගා හැදින්වේ. එසේ ම මුරුංගා කොළවල ඇති ප‍්‍රතිඔක්සිකාරක ගුණය නිසා ශරීරයේ ප‍්‍රතිශක්තිය වර්ධනයවීමෙන් නිරෝගී පුද්ගලයෙකුවීමට ද මුරුංගා කොළ නිතර ආහාරයට ගැනීම ඉවහල් වේ. කාන්තාවන්ට, කුඩා දරුවන්ට සහ වැඩිහිටි අයට බොහෝ සෙයින් බලපාන ශරීරයේ යකඩ අඩුවීම හෝ රක්තහීනතාව ඇතිවීම මගහරවාගැනීමට ඉතාමත් හොද ඖෂධයක් ලෙස මුරුංගා කොළ හැදින්විය හැකිය. එමෙන් ම ආහාර පිසීමේ දී වියළා කුඩුකරගත් මුරුංගා පත‍්‍ර කුඩු තුනපහ භාවිත කරන ආකාරයෙන් ආහාර සකස්කරන විට එකතු කිරීම, එළවළු වැනි දෑ යොදාගෙන සාදන සුප් සමග මෙම වියළි මුරුංගා පත‍්‍ර කුඩු එකතු කිරීම ආදිය බොහෝ පෝෂණ ඌනතා සදහා පිළියමක් වේ. තව ද මුරුංගාවල ඉතා හොද ආහාර පරිසංරක්ෂණ ගුණයක් සහිත ය. එහෙයින් ආහාර ඉක්මනින් නරක් නොවී කල් තබාගැනීමට මුරුංගා පත‍්‍ර කුඩු ආහාරවලට එක්කරගත හැකිය.

එමෙන් ම මුරුංගා කොළ සහ මුරුංගා කරල්වල ඖෂධීය වටිනාකම් ගත් කල මේවායේ ඇති රුධිරයේ තියෙන වැඩි සීනි ප‍්‍රමාණය අඩු කිරීමේ හැකියාව දියවැඩියා රෝගයෙන් පීඩා විදින අයට ඉතාමත් ප‍්‍රතිඵලදායක වේ. තව ද මුරුංගා පත‍්‍රවල රුධියේ පවතින කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාවක් ද තිබේ. එම නිසා නිතර මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් හෘදරෝග ඇතිවීමේ අවදානම ද අඩු වේ.

මුරුංගා පත‍්‍ර සහ ඇටවල ඇති විෂ නැසීමේ ගුණයට අප ගන්නා ආහාරවල, ජලයේ ඇති ආසනික් වැනි විෂ මර්දනය කිරීමේ හැකියාවක් ඇත. තව ද ආයුර්වේදයේ දී මෙය ඉතා හොද ප‍්‍රදාහ නාශක ද්‍රව්‍යයකි. එනම් ශරීරයේ යම් ස්ථානයක ප‍්‍රදාහය නිසා ඇතිවන ඉදිමීම, රතුවීම, වේදනාව, එම ස්ථානය චලනය කිරීමට බැරි අපහසුතාවක් ඇතිවීම ආදියට යෙදිය හැකි ප‍්‍රධාන ඖෂධ වර්ගයක් ලෙස මුරුංගා හැදින්විය හැකිය. එමෙන් ම සන්ධි රෝග සදහා සහ විවිධ තැලූම් සදහා ආයුර්වේදයේ ”මුරුංගාධිලේපය” නමින් ඖෂධීය ආලේපයක් ද සකස් කර තිබේ. එය භාවිතයෙන් ද ඉදිමුම, වේදනාව ආදිය සමනය කරගත හැකිය. මෙම ආලේපයේ අන්තර්ගත ප‍්‍රධාන ම ද්‍රව්‍ය වන්නේ ද මුරුංගා කොළ සහ පොතු ය.

මීට අමතරව ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන යම් යම් තත්ත්ව සමනය කරගැනීමට ද විෂබීජ, දිලීර හා බැක්ටීරියා නාශන ගුණයන්ගෙන් යුක්ත මුරුංගා ඉතාමත් හොද ඖෂධයකි. එසේ ම ආයුර්වේදයේ දී මුරුංගා හදුන්වන්නේ ශරීරයේ ඇතිවන තුවාල කෙටි කාලයකින් සුව කළ හැකි ඖෂධයක් ලෙසිනි. ඒ අනුව බොහෝවිට ඖෂධ ලෙස තුවාලවල ගල්වන බොහෝ ඖෂධයන් සහ ආලේපවල ද මුරුංගා අඩංගු වේ. එමෙන් ම විශේෂයෙන් වයස්ගත පුද්ගලන්ට කැල්සියම් ඌනතාව නිසා අස්ථි දිරායාම වැනි තත්ත්වයන් ඇතිවන බැවින් ආහාරවේලට නිතර මුරුංගා යොදාගැනීම වඩාත් ගුණදායක ය. තව ද මානසික ආතති වැනි තත්ත්ව නිසා ඇතිවන හිසරදය වැනි තත්ත්වයක දී මුරුංගා කොළ අඹරා තලපයක් ලෙස සකස් කරගෙන නළලේ ආලේප කිරීම ඉතාමත් සුදුසු ය.

ආයුර්වේදයේ ඇති පංචකර්ම චිකිත්සාව ගත් කල එහි වැදගත් එක් චිකිත්සාවක් ලෙස ”නස්ය” හෙවත් නස්න කිරීම දැක්විය හැකිය. එහි දී ශරීරයේ ගෙලෙන් උඩ කොටසේ ඇතිවන රෝග තත්ත්ව පහසුවෙන් අඩු කර ගැනීමට සහ වැඩිපුර ඇති සෙම ඉවත් කිරීම සදහා නස්න කිරීම සිදුකරන අතර එයට අවශ්‍ය ඖෂධ සකස් කිරීමට මුරුංගා ඇට යොදාගනී. එනම් එම නස්න කිරීමට යොදාගන්නා ”ශිරෝවිරේචන” ද්‍රව්‍යවල එක් ද්‍රව්‍යයක් ලෙස මුරුංගා ඇට හැදින්විය හැකිය. එසේ ම මුරුංගා ඇටවලට ජලය පිරිසුදු කිරීමේ ගුණයක් ද පවතී.

ආයුර්වේදයේ දී මූලික ග‍්‍රන්ථයක් වන ශුසෘතසම්හිතාවෙහි දක්වා ඇතතේ මුරුංගා ඉතාමත් මෘදු ශාකමය ඖෂධයක් ලෙස ය. තව ද දෝෂ සාමක ඖෂධවලින් කඵ සහ වාත සාමක ඖෂධයක් ලෙස ආයුර්ෙවේදයේ දී මුරුංගා හදුන්වයි. විශේෂයෙන් ම මුරුංගා පුරුෂ වන්ද්‍යාභාවයට සාර්ථක ඖෂධයක් ලෙස ද දැක්විය හැකිය. එමෙන් ම ආමාශයේ තුවාල වැනි තත්ත්ව සදහා වියළි මුරුංගා කොළ තේ හැදි දෙකක් පමණ නටන උණුවතුර කෝපප්යකට දමා පෙරා ඖෂධීය පානයක් ලෙස ද සකසා ගත හැකිය. එය දිනකට එක් වතාවක් සිදුකිරීම එවැනි පුද්ගලයන්ට ඉතාමත් ගුණදායක වේ.

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක