Health Guide

දරුවෙක් හදන්න වයස බලපානවද?

දරුවකු කුස තුළ පිළිසිඳ ගැනීමේ දී මවගේ වයස බලපාන බව ඔබ දන්නවද? වර්තමානයේ අප ගෙවන කාර්යබහුල තරගකාරී ජීවන ගමන තුළ කාන්තාවන් විවාහ වුව ද උසස් අධ්‍යාපන කටයුතු, රැකියාවේ උසස් වීම් ලැබී ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වන තෙක් සිටීම, තමන්ටම කියා නිවසක් ගොඩනගාගන්නා තෙක් සිටීම වැනි විවිධ කාරණා මත තම දරුවකුට උපතදීමේ කාලය කල් දමනු ලැබේ. එහෙත් දරුඵල පමා කිරීමෙන් ඔවුන්ට නොසිතූ ලෙස කණස්සල්ලට පත්වන්නට ද බොහෝ ඉඩ කඩ ඇත්තේ ගැබි ගැනීමට මවගේ වයස සෘජුව ම බලපාන නිසාවෙන් ය.

දරු පිළිසිඳ ගැනීමට මවගේ වයස බලපාන්නේ කෙසේද?

කාන්තාවකට ඩිම්බ කෝෂ යුගලක් සතු වන අතර එහි ඩිම්බ හෙවත් කාන්තා බීජ රඳවා තබාගනියි. ගැහැනු දරුවකු උපත ලබන විට ඩිම්බ කෝෂවල මිලියනයක් පමණ ඩිම්බ පවතී. එහෙත් කාලයත් සමග මෙම ප්‍රමාණය ලක්ෂයක් දෙකක් පමණ වේ. ගැහැනු දරුවකුට වයස අවුරුදු 12ක් පමණ වන විට මුල් වරට ඩිම්බ පිටවීම ආරම්භ වේ. මෙය අප මල්වරවීම ලෙස හඳුන්වන අතර මුල්ම ඩිම්බය පිට වූ තැන් සිට ඇය තුළ දරුවකු පිළිසිඳ ගැනීමට හැකියාවක් ඇත. මේ ආකාරයට දකුණු හා වම් ඩිමබ කෝෂවලින් මාරුවෙන් මාරුවට සෑම මාසයකට වරක් ම ඩිම්බයක් මුදාහැරීම සිදුවේ. කාන්තාවකගේ ආර්තවහරණය වනතෙක් මෙම ක්‍රියාවලිය සිදුවේ. කාන්තාවකගේ ආර්තවහරණය එනම් ඔසප්වීම සම්පූර්ණයෙන් ම නතරවීම අවුරුදු 45ක් 55ත් අතර සිදුවේ.

කෙසේ වුවත් කාන්තාවකගේ ජීවිත කාලය තුළ ම ඩිම්බවලින් ප්‍රයෝජනයට ගැනෙන්නේ ඩිම්බ 400ක් 500ක් පමණ ප්‍රමාණයකි. කාන්තාවක කෙමෙන් කෙමෙන් වියපත්වීමත් සමග ම ඩිම්බවල පවතින සරුබව ද ක්‍රමයෙන් අඩු වේ. එම නිසා වයසට යාමත් සමග ම කාන්තාවන් මදසරු බවට පත්වීමේ අවදානම වැඩි ය.

එසේම වයසට යාමත් සමග ශාරීරික වශයෙන් ගත් කළ විවිධ සෞඛ්‍යමය ගැටලු වන දියවැඩියාව, රුධිර පීඩනය, තයිරොයිඞ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග, ස්ථූලතාව, පෝෂණ ගැටලුවලට මුහුණදීමට වැඩි ඉඩ කඩක් ඇත. මවගේ රෝගී තත්ත්වය නිසා කුස තුළ වැඩෙන කළලය විවිධ සංකූලතාවයන්ට ගොදුරුවීමට වැඩි ඉඩකඩක් ඇත. එහෙයින් නිරෝගී දරු සම්පතක් පතන ඔබ ඔබගේ වයස පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය.

ගැබ් ගැනීමට සුදුසු ම වයස

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ කාන්තාවක් අවුරුදු 23ත් 28ත් අතර කාල සීමාව තුළ තම ප්‍රථම ගැබි ගැනීම සිදු කිරීම වඩාත් යෝග්‍ය බවයි. මෙම වයස් සීමාව කාන්තාවකට දරුවකු ලැබීමට සුදුසු ම සාරවත් ම කාලය ලෙස හැඳින්විය හැකිය. මෙම වයස් සීමාවේ දී උපත් පාලන ක්‍රමයකින් තොරව ලිංගිකව එකතුවීමෙන් ස්වභාවිකව ම ගැබ් ගැනීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇත. සාමාන්‍යයෙන් මෙම වයස් සීමාව තුළ කාන්තාවක් නිරෝගී ය. එනිසා අධි රුධිර පීඩනය, ගර්භණී දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉතාමත් අවම ය. මෙම වයස් සීමාව තුළ දී ගබ්සාවීමේ අවදානම ද අඩු ය. එසේම පර්යේෂකයන් පවසන්නේ මෙම වයස් සීමාවල දී දරුප්‍රසූතිය සිදු කළ කාන්තාවන්ට පසු කාලයේ පියයුරු සහ ඩිම්බ කෝෂ පිළිකා ඇතිවීමේ අවදානම ද අඩු බව ය.

නිර්දේශ කරන වයස් සීමාවෙන් පසු ගැබ් ගැනීම

වයස අවුරුදු 40න් පසු කාන්තාවකගේ ඩිම්බවල සාරවත් බව ක්‍රමයෙන් අඩු වන්නට පටන්ගනියි. එම නිසා ගබ්සාවීමේ අවදානම මෙන්ම උපත් විකෘතිතා හා වෙනත් අඩුපාඩු ඇතිවීමේ අවදානම ද ඉහළ ය. අධි රුධිර පීඩනය හා ගර්භණී දියවැඩියාව වැනි තත්ත්වයන්ට ද මුහුණදීමට සිදුවේ. එසේම ප්‍රසව
සංකූලතාවලට මුහුණපෑමට සිදුවේ. යම් හෙයකින් වයස අවුරුදු 40ට පසු ගැබි ගැනීමක දී වඩාත් සංකීර්ණ ගැටලුකාරී තත්ත්වයන් රාශියකට ම මුහුණපෑමට සිදුවේ. ගබ්සාවීම, වැදෑමහ පහතින් පිහිටීම, අඩු බර දරු උපත් සිදුවීම, නොමේරූ දරු උපත් ඇතිවීමේ අවදානමක් ද ඇත. එසේම ඩවුන් සින්ඩ්‍රෝම්, ඔටිසම් වැනි රෝග තත්ත්වයන්ට දරුවා ගොදුරු විය හැකිය.

අප වියපත් වන්නා සේම ඩිම්බ කෝෂය තුළ ඇති ඩිම්බ ද වියපත් වන හෙයින් කාන්තාවකට වයස අවුරුදු 45 දී පමණ අජීවී ඩිම්බ මුදාහැරීම ආරම්භවී වයස අවුරුදු 50ක් 55ක් පමණ වන විට සම්පූර්ණයෙන් ම ඩිම්බවල ක්‍රියාකාරීත්වය නවතී. මෙම ක්‍රියාවලිය කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් විය හැකිය. කෙසේ වුවද වයස අවුරුදු 40න් පසු ආර්තවහරණය වන තෙක් ගැබ් ගැනීමේ හැකියාවක් ඇත. එහෙත් මව වියපත් වන විට දරුවාටත් මවටත් ඇතවිය හැකි සංකූලතා ඉහළ ය.

කෙසේ වුවත් ඔබ ගැබ් ගැනීමට සුදුසුම වයස මග හැරී ඇත්නම් දැන් ඒ පිළිබඳ පසුතැවිලි නොවන්න. අද වන විට වෛද්‍ය විද්‍යාව මෙන්ම තාක්ෂණය ද දියුණු ය. ගැබ් ගැනීමකට පෙර ඔබ ප්‍රසව හා නාරි විශේෂඳ වෛද්‍යවරයකුගේ උපදෙස් මත කටයුතු කරන්න. එයින් ඔබ ගැබිගැනීමෙන් පසු මුහුණ පෑමට සිදුවන බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුම් කල්තියා ම ලබාගත හැකිය. එමගින් ඔබට නීරෝගී දරු සම්පතක් හිමි කරගැනීමට හැකි වනු ඇත.

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල
(පිළියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය)

සටහන – දිශාන්ති වෙදගේ