Health

මාස හයෙන් පසු ළදරුවාගේ පෝෂණය ගැන වැදගත් ම දේ මෙන්න

ළදරු හා ළමා අවධියේ නිසි පෝෂණයක් ලබාදීමේ වැදගත්කම පිළිබඳ මූලික ම තොරතුරු පසුගිය කලාපයෙන් අපි සවිස්තරාත්මක විග‍්‍රහයක් කළෙමු. එහි දී දරුවා ඉපදී මුල් මාස 6 තුළ දරුවාගේ පෝෂණ අවශ්‍යතාව මව්කිරිවලින් පමණක් සපුරාලීම පිළිබඳ මෙන් ම, මව් කිරි ලබාදීමේ දී මුහුණදීමට සිදුවන ප‍්‍රායෝගික ගැටලූ හා ඒවා නිරාකරණය කරගැනීම සඳහා අනුගමනය කළ හැකි පියවර පිළිබඳව ද සාකච්ඡුා කෙරිණි. මෙවර කලාපය හරහා මාස 6 සම්පූර්ණ වූ දරුවකුගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තුවන්නෙමු.

දරුවා ඉපදී මාස 6 ඉක්මවන තුරු ම දරුවාගේ වර්ධනය උදෙසා මව්කිරි පමණක් ප‍්‍රමාණවත් වේ. එහෙත් මාස 6 ඉක්ම වූ පසු දරුවාගේ වර්ධන වේගයත් සමග පෝෂණ අවශ්‍යතාව මව්කිරි මගින් පමණක් පූර්ණ වශයෙන් සපුරාලිම අසීරු ය. එබැවින් වෛද්‍ය විද්‍යානුකූලව නිර්දේශ කරන්නේ මාස 6 සම්පූර්ණ වූ දරුවෙකුට මව්කිරි ලබාදෙන අතරතුර අමතර ආහාර ලබාදීම ආරම්භ කළ යුතු බවයි. මෙහි දී විශේෂයෙන් ම අවධාරණය කළ යුතු කරුණක් නම්, මාස 6න් පසුව ද මව්කිරි යනු කුඩා දරුවෙකුගේ ආහාරයේ ප‍්‍රධාන කොටසක් බැවින්, අමතර ආහාර ලබාදීම ආරම්භ කළ ද තවදුරටත් මව්කිරි ලබාදීම ඉදිරියට සිදුකරගෙන යා යුතු බවයි. සාමාන්‍යයෙන් අවම වශයෙන් දරුවාට අවුරුදු 2ක් හෝ ඊට වැඩි කාලයක් මව්කිරි ලබාදීම වඩාත් සුදුසු වේ.

දරුවාට මාස 6 සම්පූර්ණ වනවිට ම අමතර ආහාර ලබාදීම ආරම්භ කළ යුතු වේ. ඉඳුල් කට ගෑම හෝ වෙනත් හේතු කාරණා මත අමතර ආහාර ලබාදීම ප‍්‍රමාද නොකළ යුතු අතර නැතහොත් දරුවා විවිධ පෝෂණ ඌනතාවලට ගොදුරු විය හැකියි. දරුවාට මාස 6 සම්පූර්ණවත් ම අමතර ආහාර ආරම්භ කිරීමට නම්, මව තුළ ඒ පිළිබඳ පූර්ව සූදානමක් තිබිය යුතුයි. එහි දී ආහාර පිළියෙල කිරීම සහ දරුවාට ආහාර ලබාදීම සඳහා අවශ්‍ය උපකරණ සූදානම් කර තබාගැනීම වැදගත් වේ.

අවශ්‍ය උපකරණ

x කට පළල් බෝල් එකක්
x සුමුදු දාර සහිත හැන්දක්
x කෝප්පයක්
x කෑම පොඩි කිරීම පහසු කර ගැනිමට පෙරනයක්
x කෑම පිරිසිදුව දමා තැබිය හැකි කුඩා භාජන කිහිපයක්

(රාජකාරි කටයුතු සමග කාර්යබහුල වන මවකට නම්, කෑම සාදා පිරිසිදු භාජනයක දමා ශීතකරණයේ තැබිය හැකිය.)

බොහෝදෙනා අතර ඇති මතයක් වන්නේ, අමතර ආහාර ලබාදීම ආරම්භ කිරීමේ දී පළමුව කැඳ හෝ ජලය ලබාදිය යුතු බවයි. එය වැරදි මතයකි. දරුවාට අමතර ආහාර ලබාදීම ආරම්භ කළ යුත්තේ බත් තලපයකින් වේ. එය ඝනකම් තලපයක් විය යුතු අතර අප නිර්දේශ කරන්නේ සාමාන්‍යයෙන් ”හැන්දේ දැවටෙන ප‍්‍රමාණයේ ඝනකමෙන් යුතු බත් තලපයක්” මුල් අවස්ථාවේ දී දරුවාට ලබාදිය යුතු බවයි. දරුවාට අමතර ආහාර ලබාදීමේ පළමු පියවර ලෙස බත් තම්බා මව්කිරි ස්වල්පයක් සමග කලවම් කර තේ හැන්දකින් දරුවාට ලබාදිය හැකියි.

මෙලෙස දින කිහිපයක් ගත වූ පසු ක‍්‍රමයෙන් එම බත් තලපයට එළවළු වර්ග එක් කළ හැකියි. පළමුව බත් පරිප්පු සමග පොඩි කර ලබාදිය හැකි අතර පිසීමේ දී පොල්තෙල් බටර් හෝ පොල්කිරි ස්වල්පයක් ද එකතු කළ හැකියි. මෙම බත් තලපයට ක‍්‍රමයෙන් වට්ටක්කා, කොළ වර්ග එකතු කර ගත හැකිය. එළවළුවලට සාපේක්ෂව සත්ත්ව ආහාරවල දරුවාට අවශ්‍ය යකඩ හා පෝෂ්‍ය පදාර්ථ රැුසක් අඩංගු වන බැවින් අමතර ආහාර ලබාදීම ආරම්භ කර සතියක් පමණ යන විට සත්ත්ව ආහාර ද බත් තලපයට එකතු කිරීම ඉතා වැදගත් වේ. නැතහොත් දරුවාට පොෂණ ඌනතා ඇතිවිය හැකිය. සත්ත්ව ආහාර ලෙස මාළු එකතු කිරීමේ දී අප යෝජනා කරන්නේ මාළු වෙනම තම්බා පිළියෙල කර බත් තලපයට මිශ‍්‍ර කර ලබාදීමටයි. නැතහොත් පිළී රස හේතුවෙන් දරුවාට අරුචියක් ඇතිවිය හැකිය. හාල්මැස්සන් කරවල වැනි දෑ කබලේ බැඳ කුඩු කර බෝතලයකට දමා තැබිය හැකි අතර අවශ්‍ය අවස්ථාවකදී එය දරුවාගේ අමතර ආහාරයට එකතු කර ගත හැකිය.

බිත්තර ලබාදීමේ දී හොඳින් තැම්බූ බිත්තර කහ මදය පළමුව ලබාදිය හැකි අතර ඉන්පසු ක‍්‍රමයෙන් බිත්තර සුදු මදය ද දරුවාගේ ආහාරයට එකතු කළ හැකිය. අමතර ආහාර ලබාදීමෙන් පසුව දරුවාට වතුර ස්වල්පයක් ලබාදීම මගින් මලබද්ධය වළක්වාගත හැකිය. දරුවාට වතුර ද ලබාදුන් පසුව මව්කිරි ලබාදිය යුතුය.

කෙටි ආහාර ලබාදීම

දරුවාට බත් තලපයට අමතරව කෙටි ආහාර ලබාදීමේ දී බිස්කට් වර්ග හෝ වෙනත් ආහාර ලබාදීම වෙනුවට පෝෂණ වැදගත්කමක් සහිත ආහාරයක් කෙටි ආහාරයක් ලෙස ලබාදෙන්නේ නම් වඩාත් යහපත් ය. සිහින්ව පොඩි කර ගත් පලතුරු කෙටි ආහාරයක් ලෙස දරුවාට ලබාදිය හැකි අතර ගස්ලබු, කෙසෙල් සහ අඹ වැනි පලතුරු පෝෂ්‍යදායී කෙටි ආහාරයක් ලෙස දරුවාට ලබාදිය හැකිය. තව ද අමතර ආහාරයට අතරතුර කෙටි ආහාර ලෙස යෝගට්, චීස් වැනි ආහාර ද දරුවාට ලබාදීම සුදුසු වේ.

මාස 6 සම්පූර්ණ වූ දරුවෙකුට අමතර ආහාර ලබාදීම ආරම්භ කිරීමේ දී පළමු පියවර ලෙස එක් වේලක් පමණක් ලබාදුන්න ද, ක‍්‍රමක‍්‍රමයෙන් දරුවාව ආහාර වේල් තුනකට පුරුදු කළ යුතු වන්නේ දරුවා සාමාන්‍ය ජීවන රටාවට අනුගත කිරීමක් වශයෙනි. අමතර ආහාර ආරම්භ කළ මුල් ම අවස්ථාවේ දී දරුවාට ලබාදෙන සුමුදු බවින් සැකසූ බත් තලපයට ටිකෙන් ටික ඝන ද්‍රව්‍ය එක් කරමින් ඝනකම් සහිත බත් තලපයක් ලෙස ලබාදිය යුතුයි. ඒ සඳහා දරුවාගේ ආහාර සකස් කිරීමේ දී පෙරාගැනීමට භාවිත කළ කුඩා සිදුරු සහිත පෙරනය වෙනුවට තරමක් විශාල සිදුරු සහිත පෙරනයක් යොදාගත හැකිය. දරුවා තරමක් වයසින් වැඩෙත් ම ආහාර කැවීමේ දී දරුවාගේ අතින් අල්ලා ගත හැකි ආහාරයක් ද දරුවාට කෑමට ලබාදිය හැකිය. නිදසුන් ලෙස තැම්බූ කැරට් අලයක් හෝ පාන් කෑල්ලක් වැනි දෙයක් දරුවාගේ අතට ලබාදිය හැකිය. තව ද, ක‍්‍රමක‍්‍රමයෙන් දරුවාව සාමාන්‍ය ආහාර වේලකට හුරු කිරීමට ද කටයුතු කිරීම වැදගත් වේ. එහි දී මාස 7-8 පමණ ගත වූ පසු පාන් කැබැල්ලක්, කිරි හොදි සමග ඉඳිආප්ප කිහිපයක් හෝ ආප්පයක මැද කොටස ආදී වශයෙන් සාමාන්‍ය ආහාර කැබලි කර දරුවාට ලබාදිය හැකිය. සෑමවිට ම පවුලේ අනෙකුත් සාමාජිකයන් ආහාර ගන්නා අවස්ථාවේ දී දරුවා ද ඒ හා සම්බන්ධ කිරීමට කටයුතුු කරන්නේ නම් එය වඩාත් යෝග්‍ය ය. දරුවාට ආහාර ලබාදීමේ දී අලූත් ආහාර අත්හදා බැලිය යුතු අතර දරුවාට අවශ්‍ය පරිදි ආහාර ප‍්‍රමාණය ටිකෙන් ටික වැඩ කළ හැකිය.

අමතර ආහාර ලබාදීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

x දරුවාගේ ආහාරවලට සීනි සහ ලූණු මිශ‍්‍ර කිරීමෙන් වැළකිය යුතු වේ. ආහාර තුළ ස්වභාවිකව ම යම් ලූණු සහ සීනි ප‍්‍රමාණයක් අඩංගු වන අතර අමතර සීනි සහ ලූණු දැමීම මගින් දරුවා එම රසයට හුරු වේ. සාමාන්‍යයෙන් නිර්දේශ කර ඇත්තේ අවම වශයෙන් වයස අවුරුද්දක් ගත වන තුරු දරුවාගේ ආහාරයට ලූණු, සීනි මුසු කිරීම නුසුදුසු බවයි.

x මාස 6 සම්පූර්ණ වූ දරුවෙකුට අමතර ආහාර ලබාදීමට පෙර මව්කිරි ලබා නොදිය යුතුය. එවිට දරුවාගේ ආහාර වේල අඩාල වේ. එබැවින් දරුවාට අමතර ආහාර ලබාදී, දරුවා වතුර පානය කිරීමෙන් ද පසුව දරුවාට මව්කිරි ලබාදීම වඩාත් යොග්‍ය වේ.

x ආහාර සකසාගත් සම්පූර්ණ ප‍්‍රමාණය ම දරුවාට කැවීමට උත්සහ කිරීම වෙනුවට දරුවාට අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් ආහාර කැවිය යුතුය. කිසිසේත් දරුවාට ආහාර බලෙන් කැවීම සිදු නොකළ යුතුයි. එවිට දරුවාට ආහාර අරුචියක් ඇතිවිය හැකිය.

x ඇතැම් විට දරුවා අතට ජංගම දුරකතනයක් ලබාදී හෝ දරුවා රූපවාහිනිය ඉදිරිපස තබාගෙන දරුවාට කෑම කවන අවස්ථා දැකිය හැකිය. එය ඉතා වැරදි ක‍්‍රමයකි. නිර්දේශය වන්නේ දරුවා මවගේ මුහුණට සම්මුඛ වන පරිදි වාඩිකරවා දරුවාට ආහාර කැවිය යුතු බවයි. එවිට දරුවාගේ මුහුණේ ඉරියව් මගින් දරුවා කුසගින්නේ ද, දරුවාට ආහාර ප‍්‍රමාණවත් ද යන්න පිළිබඳ මවට යම් නිගමනයකට එළැඹිය හැකියි. නිදසුන් ලෙස ”දරුවා කට විවර කරනවා නම්, දිව එළියට දමනවා නම් හෝ ආහාර කවන හැන්ද අතට ගැනීමට උත්සහ කරනනේ නම්” ඉන් දරුවා කුසගින්නේ සිටින බව මෙන් ම, ”දරුවා කෑම කවන විට මුහුණ ඉවතට හරවයි නම්, සහ හැන්දට අතින් ගසයි නම්” දරුවාගේ බඩ පිරී ඇති බවත් හැඟවේ.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉෂානි රොද්‍රිගෝ
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ
වෛද්‍ය පීඨය)
සටහන – පියුමිලා අරවින්දි