Food

පෙර පාසල් සහ පාසල් වියේ පසුවන ඔබේ සිඟිත්තාගේ පෝෂණය

නිරෝගා ළදරු සායනය හරහා පසුගිය කලාප කිහිපය තුළ ම අප ඔබේ සිඟිත්තාගේ ළදරු අවධියේ සිට පෝෂණ අවශ්‍යතාවන් පිළිබඳව පියවරෙන් පියවර සාකච්ඡා කළෙමු. මෙවර අපගේ සාකච්ඡාව වෙන්වන්නේ පෙර පාසල් සහ පාසල් වියේ පසුවන ඔබේ දරුවාගේ පෝෂණය පිළිබඳවයි. පෙර පාසල් සහ පාසල් වියේ දී දරුවන් සාමාන්‍යයෙන් ඉතා ක්‍රියාශීලී වන අතර ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට මෙන් ම මෙම වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ගේ ශාරීරික වර්ධනය සඳහා ද මනා පෝෂණයක් අත්‍යවශ්‍ය වේ.

මෙම වයස් කාණ්ඩයේ සිටින කුඩා දරුවන්ට ඇත්තේ කුඩා ආමාශයක් බැවින් ඔවුන්ට එකවර ආහාරයට ගත හැක්කේ ඉතා සීමිත ආහාර ප්‍රමාණයක් පමණි. එහෙත් අපට ප්‍රධාන ආහාර වේල් තුනට බාහිරව අමතර ආහාර කිහිපයක් දරුවාට ලබාදිය හැකිය. එමෙන් ම පෙර පාසල් වියේ පසුවන දරුවන් තුළ ආහාර රුචි අරුචිකම් පිළිබඳව එතරම් අවබෝධයක් හෝ දැනීමක් නොමැති බැවින් මෙම කාලය තුළ දරුවා සෞඛ්‍යට හිතකර ආහාර රටාවකට හුරුකළ හැකි නම් එම යහපත් ආහාර පුරුදු බොහෝවිට දරුවා වැඩිහිටිවියට එළැඹි පසුවත් දිගුකාලීනව පවත්වාගෙන යන අතර එය දරුවාගේ මුළු ජීවිත කාලය වෙනුවෙන් ම සිදුකළ හැකි කදිම ආයෝජනයක් වනු නිසැක ය. එබැවින් සෑම විට ම රසය මත පදනම් වූ ආහාර වෙනුවට සමබල ආහාර වේලක් දරුවාට ලබාදීම ඉතා වැදගත් ය.

දරුවන්ගේ පෝෂණ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මූලික වශයෙන් අන්ත දෙකක් හඳුනාගත හැකිය. එනම් අවශ්‍ය ප්‍රමාණයට ආහාර නොලැබීම නිසා ආහාර ඌනතාවයෙන් ඇතිවන කෘශ බව, මිටි බව සහ විටමින් ඌනතාවන් වැනි සෞඛ්‍ය ගැටලු මෙන් ම ආහාර වැඩි වශයෙන් ලබාගැනීම නිසා ඇතිවන අධි බර සහ ස්ථූලතාවය වැනි තත්ත්වයන් ය. අප වෛද්‍ය විද්‍යාව තුළ එම තත්ත්වයන් ද්විත්වය ම හඳුන්වන්නේ මන්ද පෝෂණය ලෙසයි. මීට වසර 50ට පමණ පෙර අපට ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය ලෙස දක්නට තිබුණේ ආහාර අඩුකම නිසා ඇතිවන කෘශ බව, මිටි බව වැනි ඌනතාවන් පමණයි. එහෙත් වර්තමානය වන විට අපට ඉහත සඳහන් කළ අන්ත දෙක ම හඳුනාගත හැකිය. පෝෂණය හිගකම හරහා දරුවාගේ ශාරීරික මෙන් ම මානසික වර්ධනය ද අඩාල වන අතර දරුවාගේ ඉගෙනගැනීමේ හැකියාව දුර්වලවීම වැනි ගැටලු ද උද්ගත විය හැකිය. ලෙඩ රෝග සෑදීමේ ප්‍රවණතාවය ද මේ නිසා වැඩිවිය හැකිය. එහි අනෙක් අන්තය වන ආහාර වැඩි වශයෙන් ලැබීම හරහා අධි බර හා ස්ථූලතාවය සමගම දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැනි බෝ නොවන රෝගී තත්ත්වයන් ඇතිවීමෙහිලා අවදානම් තත්ත්වයක් මෙන් ම වැඩිහිටිවියේ දී ස්ථූලබවට පත්වීම කෙරෙහි වැඩි නැඹුරුතාවක් ද ඇතිවිය හැකිය. එබැවින් මෙම අන්ත දෙකට ම මධ්‍යස්තව දරුවාගේ පෝෂණය පවත්වාගෙනයා ම වැදගත් වේ.

මෙම වයස් කාණ්ඩයේ සිඟිත්තන්ගේ ආහාර වේල පිළිබඳව ඉදිරිපත් කර ඇති වෛද්‍ය නිර්දේශයන්ට අනුව දරුවාට සමබල පෝෂණීය ආහාර වේලක් ලබාදීම මෙන් ම ස්වභාවික ආහාරයන් හැකිතාක් දරුවාගේ ආහාරයන්ට එකතු කර ගැනීම ආදී කරුණු ඉතා වැදගත් කරුණු කිහිපයක් ලෙස පෙන්වා දිය හැකිය. එහි දී ශාක ආහාර මෙන් ම සත්ත්ව ආහාර ද දරුවාගේ ආහාරයට එකතු කර ගැනීමට කටයුතු කළ යුතු අතර කල්පවතින සේ ඇසුරුම් කළ පරණ ආහාර වෙනුවට නැවුම් දේශීය ආහාර හෝ හැකිතාක් නිවසේ දී ම පිළියෙල කරන ලද ආහාර දරුවාට ලබාදීමට කටයුතු කරන්නේ නම් එය ද දරුවාගේ මනා පෝෂණය කෙරෙහි ඉවහල්වනු ඇත. එමෙන් ම රසකාරක සහ සීනි වැනි දෑ අවම වශයෙන් භාවිත කිරීම ද මෙහි දී පිළිපැදිය යුතු වැදගත් කරුණකි.

තව ද දරුවාට ආහාර ලබාදීමේ දී Healthy Plate නැතහොත් My Plate ක්‍රමය භාවිත කළ හැකි අතර එය දරුවාට සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් ලබාදීම සඳහා වඩාත් ප්‍රායෝගිකව සහ පහසුවෙන් අනුගමනය කළ හැකි ක්‍රමයකි. මෙහිදී දරුවාගේ ආහාර පිඟානට කොටස් වශයෙන් බෙදා ආහාර එකතු කළ හැකිය. එහි දී පිඟානෙන් 1/4ක ප්‍රමාණයක් ශක්තිජනක ආහාර ලෙස පිශ්ටය සහිත බත්, පාන් වැනි ආහාරයක් ලබාදිය හැකි අතර තවත් 1/4ක ප්‍රමාණයක් ප්‍රෝටීන් සහිත ආහාර ද ඉතිරි අඩක ප්‍රමාණය (1/2) එළවළු සහ පලතුරු ද ලබාදිය හැකිය. ඊට අමතරව කිරි වීදුරුවක් හෝ කිරි අඩංගු යෝගට් වැනි ආහාරයක් සහ වතුර ලබාදිය හැකිය. අප Healthy Plate ලෙස හඳුන්වන්නේ මෙම සංකල්පයයි. මෙහි දී වැදගත් වන්නේ අප සාමාන්‍යයෙන් ආහාර බෙදන විට අනුගමනය කරන පිඟාන පිරෙන්න බත් වැඩිපුර බෙදීම සහ ඊට බාහිරව එළවළු හා අනෙකුත් ප්‍රෝටීන් ආහාර එකතු කිරීම වෙනුවට සමබලව පෝෂණය දරුවාගේ ආහාර වේලට එකතු කිරීමයි. නැතහොත් ආහාරය තුළ පිෂ්ටය වැඩි වශයෙන් අන්තර්ගතවීමෙන් සිදුවන්නේ දරුවා ස්ථූලවීමට වැඩි නැඹුරුතාවක් නිර්මාණයවීම පමණි. එහෙත් ඉහත සඳහන් කළ පරිදි ආහාර පිඟාන කොටස් වශයෙන් බෙදා ලබාදීම තුළින් එළවළු සහ අනෙකුත් ආහාර කොටස්වල අඩංගු විටමින් සහ අනෙකුත් පෝෂකයන් ද දරුවාට නිසි පරිදි ලැබෙනු ඇත. තව ද දරුවාට එළවළු සහ පලතුරු ලබාදීමේ දී දරුවාට ආකර්ෂණීය වන පරිදි වර්ණවත් ලෙස යොදාගැනීමට කටයුතු කළ හැකි අතර එවිට දරුවා ද මහත් රුචියකින් යුතුව ආහාර ලබාගනියි. ප්‍රෝටීන් අඩංගු ආහාර ලෙස මාංශ බෝග වර්ග මෙන් ම මස්, මාළු වැනි ආහාර ද විවිධත්වයක් සහිතව දරුවාගේ ආහාරවේලට එකතු කරගත හැකි අතර ප්‍රෝටීන් සහිත ආහාර අතුරින් පහසුවෙන් මිලට ගත හැකි සහ පෝෂණයෙන් ඉහළ ආහාරයක් ලෙස බිත්තර පිළිබඳ හැඳින්විය හැකිය. අතේ ඇති මුදලට බිස්කට් පැකට්ටුවක් හෝ වෙනත් පෝෂණයක් රහිත යමක් මිලට ගෙන දරුවාට ලබාදීමට වඩා එම මුදලෙන් බිත්තරයක් මිලදී ගෙන දරුවාට ලබාදී හරවත් යමක් වෙනුවෙන් මුදල් වැය කිරීමට හැකිනම් එය බොහෝ අගනා ක්‍රියාවක් වනු ඇත. එමෙන් ම දරුවෙකුට යම් ප්‍රමාණයකට මේදය අවශ්‍ය වන බැවින් තල වැනි මේදය සහිත ධාන්‍ය වර්ගයක් ද පොල්තෙල්, පොල්කිරි ආදිය ද දරුවාගේ ආහාරයට එකතු කළ හැකිය. දරුවාගේ ප්‍රධාන ආහාර වේල්වලට බාහිරව වෙනත් අමතර ආහාරයක් ලබාදීමට අවශ්‍ය නම් ඒ සඳහා ද පලතුරු වර්ගයක්, තැම්බූ ධාන්‍ය වර්ගයක හෝ අල වර්ගයක් හෝ කිරිවලින් සැකසූ යෝගට්, චීස් වැනි පෝෂණීය ආහාරයක් යොදාගත හැකිය. හැකිතාක් බිස්කට්, පැණි බීම සහ විවිධ කෘත්‍රිම ආහාර වර්ග නිවසෙන් ඈත්කර නිවසේ පරිභෝජනයෙන් වැළකී සිටිය හැකි නම් දරුවන් එවැනි ආහාරවලට හුරුවීම ද අවම කර ගත හැකිය.

බොහෝ විට මව්වරු දරුවාට කුඩා කාලයේ දරුවාට අවශ්‍ය ආහාර ප්‍රමාණය ඉක්මවා ආහාර කැවීම සිදුකරන අතර ඉන්පසු දරුවා එයට හුරු වී දිගින්දිගට ම එලෙස පමණ ඉක්මවා ආහාර ලබාගනියි. එමගින් දරුවා අනවශ්‍ය ලෙස ස්ථුලවීමට වුව අවදානමක් පවතියි. එබැවින් සෑමවිට ම විශාල ආහාර ප්‍රමාණයක් දරුවාට කැවීමට උත්සහ කිරීම වෙනුවට දරුවාගේ කුසගින්නේ ප්‍රමාණයට සරිලන ප්‍රමාණයට පමණක් ආහාර ලබාදීමත් මෙහි දී අනුගමනය කළ යුතුය. එමෙන් ම මෙම අවධිය තුළ දරුවාට තනිව ආහාර ලබාගැනීමට හුරු කිරීමට මෙන් ම යහපත් ආහාර පුරුදුවලට දරුවා හුරු කිරීම ද ඉතා වැදගත් ය. තව ද දරුවාගේ වර්ධනය නිසියාකාරව සිදුවන්නේ ද යන්න පිළිබඳව දරුවාගේ උස සහ බර අනුව නිර්ණය කර ගැනීම සඳහා සායනවලට සහභාගිවීමත්, දන්ත සෞඛ්‍ය පරීක්ෂා කර ගැනීම සඳහා දන්ත වෛද්‍ය සායන වෙත යොමුවීමත් ඉතා වැදගත් වේ. කුඩා අවධියේ දී දරුවා ලබන පෝෂණය දරුවාගේ සමස්ත වර්ධනය කෙරෙහි හේතුවන්නා සේ ම දරුවෙකු කුඩා අවධිය තුළ ඇතිකරගන්නා පෝෂණ පුරුදු ද දරුවාගේ මුළු ජීවිත කාලය පුරා ම දරුවාගේ සෞඛ්‍යමත් බව කෙරෙහි හේතුවනු ඇත. එහෙයින් කුඩා වයසේ දී ම දරුවා යහපත් ආහාර රටාවකට අනුගත කිරීමත්, සෞඛ්‍යවත් ආහාර චර්යාවකට හුරුකිරීමත් මව්වරුන් සතු වගකීමකි.

ළමා රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ඉෂානි රොද්‍රිගෝ
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය)

සටහන – පියුමිලා අරවින්දි