Health Guide

නව යොවුන් වියේ පෝෂණය ගැන දැනගන්න

නව යොවුන් විය යටතට ගැනෙන්නේ වයස අවුරුදු 10 – 19 අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන් ය. නව යොවුන් විය එහි වයස් පරාසයන් අනුව අපට මූලික වශයෙන් කොටස් තුනටකට වෙන් කර දැක්විය හැකි අතර ඒ ඒ වයස් කාණ්ඩයන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් ද විවිධ වේ. ඒ අනුව වයස අවුරුදු 10 – 13 නව යොවුන් වියෙහි මුල් කාලයටත්, වයස අවුරුදු 14 – 17 වන තෙක් කාලය නව යොවුන් වියෙහි මැද කාලය ලෙසත්, වයස අවුරුදු 18 ඉහළ නව යොවුන් වියෙහි අවසන් කාලයත් ලෙසත් හැඳින්විය හැකිය.
මෙම කාලය විශේෂයෙන් ම ශාරීරික වශයෙන් වේගවත් වර්ධනයක් සිදුවන කාලයකි. එනම් නව යොවුන්වියත් සමග එකවරම උස සහ බර වර්ධනයවීමක් සිදුවේ. ඊට අමතරව මෙම කාලය තුළ දී ලිංගික පරිණතභාවය (Sexual maturation) මෙන් ම ළමා මානසිකත්වයේ සිට වැඩිහිටි මානසිකත්වය වෙත කෙමෙන් කෙමෙන් මානසික වශයෙන් වෙනස්වීම හේතුවෙන් මානසික වශයෙන් ද වර්ධනයක් සිදු වේ. ඒ අනුව නව යොවුන්වියහි පසුවන දරුවන්ගේ පෝෂණය අවශ්‍යතාවය පූර්ණය විය යුත්තේ ඉහත සඳහන් කරන ලද සමස්ත වර්ධනයන් ආවරණය වන අයුරිනි.

මෙම කාලය තුළ ගැහැනු පිරිමි භේදයකින් තොරව දරුවන්ගේ ශාරීරික වර්ධනය සීඝ්‍රයෙන් සිදුවන අතර එහි දී උස සහ බර වැඩිවීමට අමතරව මාංශ පේශී සහ අස්ථි වර්ධනය ආදී ශාරීරික වර්ධන කාර්යයන් රාශියක් සිදුවේ. එම නිසා අනෙක් වයස් කාණ්ඩයන්ට සාපේක්ෂව නව යොවුන්වියේ පසුවන දරුවනගේ ප්‍රෝටින් හා කැලරි අවශ්‍යතාවන් වැඩිය. ඊට අමතරව කැල්සියම්, යකඩ සහ අනෙකුත් ක්ෂුද්‍ර පෝෂණ ද්‍රව්‍යය ද වැඩි වශයෙන් මෙම වයසේ දී ශරීරික වර්ධනය සඳහා අවශ්‍ය වේ. එමෙන් ම ගැහැනු දරුවන්ගේ ඔසප්වීම ආරම්භවීමත් සමග ම රුධිරය පිටවන බැවින් ඔවුන්ට යකඩ පෝෂකයන් පිළිබඳ වැඩි අවශ්‍යතාවක් ද මතු වේ.

විශේෂයෙන් ම නව යොවුන්වියහි මුල් භාගයේ සහ මැද වයස් පරාසය තුළ සිටින දරුවන්ට ප්‍රමාණවත් පෝෂණයක් ලබාදිය යුතු අතර සියලු පෝෂකයන් සහිත සමබල ආහාර වේලක් මෙන් ම නැවුම් එළවළු, පලතුරු සහ අනෙකුත් විටමින් වර්ගත් ලබාදීම වැදගත් ය. එමෙන් ම මෙහි ඇති අනෙක් අන්තය නම් මෙම කාලය තුළ පසුවන දරුවන්ගේ හෝර්මෝන ක්‍රියාකාරීත්ව ද වැඩි හෙයින් දරුවන් වැඩි වශයෙන් කැලරි ආහාරයට එක්කර ගැනීම නිසා අනවශ්‍ය ලෙස ස්ථූලභාවයට ද හැකිය. එය නිරෝගීමත් සෞඛ්‍යට අහිතකර වේ. එබැවින් පමණ ඉක්මවා ආහාර ලබාගැනීම නුසුදුසු වන අතර සමබල ආහාර වේලක් ලබාගැනීම ප්‍රමාණවත් වේ.

කුඩා කාලය මෙන් නොව නව යොවුන්වියේ දී ඇතිවන මානසික වෙනස්කම් සමග දරුවන් තම සම වයසේ පසුවන යහළු මිත්‍රාදීන් සමග වඩාත් සමීපවීම සහ ඔවුන්ට අනුරූපව හැඩගැසීමක් බොහෝවිට සිදු වේ. එහි දී ඇතැම් විට දරුවන්ගේ ආහාර රටාවන් ද ඒ ඒ මිතුරන්ට අනුව වෙනස් කිරීමට පෙළඹිය හැකි අතර ඒ ඔස්සේ ද දරුවන්ගේ පෝෂණය අඩාල විය හැකිය. එබැවින් දෙමාපියන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම ඉතා වැදගත් ය. නිදසුන් ලෙස, මෙම වයස් පරාසයන් තුළ දී දරුවන් ගැහැනු දරුවන් ඇතැම් විට සිහින් සිරුරක් ලබාගැනීමේ අරමුණින් ආහාර පාලනය කිරීමකට යොමු විය හැකිය. එමෙන් ම පිරිමි දරුවන් තම මාංශ පේෂී වර්ධනය කර ගැනීම සඳහා අතිරේක පෝෂකයන් ලබාගැනීමට යොමුවිය හැකිය. එලෙස ආහාර අඩුවෙන් ලබාගැනීම මෙන් ම අතිරේක ආහාරයන් වැඩිපුර ලබාගැනීම ද සුදුසු නොවන අතර ඒ හරහා නව යොවුන් වියෙහි පෝෂණ අවශ්‍යතාවන් පූර්ණය නොවනු ඇත. තවදුරටත් මෙය නිදර්ශන ඇසුරෙන් පැහැදිලි කරන්නේ නම්, මෙම වයස් පරාසය තුළ පසුවන දරුවන් නිවසින් ලබාදෙන ආහාර ප්‍රතික්ෂේප කරමින් ක්ෂණික ආහාර ලබාගැනීමට හෝ සෞඛ්‍යට අහිතකර ආහාරයන් ලබාගැනීමට මෙන් ම ඇතැම් විට මත්ද්‍රව්‍ය වැනි ඉතා නුසුදුසු දේට පවා ඇබ්බැහි විය හැකිය. තව ද මෙම වයස් කාණ්ඩයේ සිටින දරුවන් විභාග ආතතිය මෙන්ම විවිධ සබඳතා බිඳවැටිම ආදිය හේතුවෙන් ද මානසික වශයෙන් පීඩනයට ලක්වීමට වැඩි අවකාශයක් පවතී. එම අවස්ථාවල දී ද ආහාර රටාවට හා පෝෂණයට බලපෑම් ඇතිවිය හැකිය.

එබැවින් නව යොවුන් වියේ දී ද දෙමාපියන් දරුවන් පිළිබඳ ඉතා අවධානයෙන් පසුවිය යුතුය. බොහෝ විට මෙම වයස් කාණ්ඩය තුළ දී සිදුවන මානසික වෙනස්කම් සමග ම දරුවන් දෙමාපියන්ට අවනත නොවීම වැනි මුරණ්ඩු ගති ඇතිවිය හැකිය. මෙවැනි තත්ත්වයන් යටතේ යම් වෛද්‍ය උපදේශනයක් අවශ්‍ය යැයි හැඟී යන්නේ නම් එය අතපසු නොකොට දරුවාව වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීමට කටයුතු කළ යුතුය. කෙසේ වෙතත් නව යොවුන් වියේ පසුවන දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ නොමඳ අවධානය නිරන්තරයෙන් යොමුකිරීම අතිශය වැදගත් කරුණක් වේ.

ළමා රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ඉෂානි රොද්‍රිගෝ
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ
වෛද්‍ය පීඨය)

සටහන – පියුමිලා අරවින්දි