Food

ළමා වියේ ඇතිවන පෝෂණ ගැටලු – අධි පෝෂණය ළමා ස්ථූලතාවය

නිරෝගා ළදරු හා ළමා සායනය මගින් අප ළදරු වියේ සිට නව යොවුන්විය දක්වා වූ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳව පසුගිය ලිපි පෙළ හරහා සාකච්ඡා කරනු ලැබූ අතර මෙවර අප ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන්නේ ළමා වියේ දී මතුවන ප්‍රධාන පෝෂණ ගැටලුවක් පිළිබඳවයි. දරුවෙකුට නිසි පෝෂණයක් නොලැබීම මෙන්ම අනවශ්‍ය පරිදි පමණ ඉක්මවා පෝෂණය ලැබීම ද ගැටලුවකි. මෙය අප අධි පෝෂණය නැතහොත් ළමා ස්ථූලතාවය ලෙස හඳුන්වනු ලැබේ.

අධි පෝෂණය යන්නෙන් ළමා ස්ථූලතාවය නොහොත් දරුවන් තුළ ඇතිවන අධික තරබාරුකම අදහස් කෙරෙයි. සාමාන්‍යයෙන් අප තරබාරුකම මනිනු ලබන්නේ ශරීර ස්කන්ධ මාපකය (BMI) මගිනි. එනම් මෙහිදී දරුවාගේ උස (මීටර්) සහ බර (කිලෝග්‍රෑම්) මනිනු ලබන අතර දරුවාගේ බර දරුවාගේ උසෙහි වර්ගයෙන් බෙදනු ලැබේ. එවිට ලැබෙන අගය අනුව තරබාරුකම මනිනු ලබන අතර එම අගයන් දරුවාගේ වයස් කාණ්ඩය අනුව වෙනස් වන බැවින් නිශ්චිතව එක් ශරීර ස්කන්ධ අගයක් දැක්විය නොහැකිය.

අතීතයේ දී බහුලව ම මෙම ළමා ස්ථූලතාවය දක්නට ලැබුණේ සංවර්ධිත රටවල අඩු ආදායම්ලාභී පවුල් ආශ්‍රිතවයි. සාක්ශරතාවයේ අඩුකම සහ අනෙක් ආහාරවලට සාපේක්ෂව කැලරි ප්‍රමාණය වැඩි ආහාර අඩු මිලට ලබාගත හැකිවීම මීට බලපෑ මූලික හේතු සාධකය විය. අද වන විට අප රටේ ළමා පරපුර ආශ්‍රිතව ද මෙම ස්ථූලතාව දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම නාගරික පරිසරය ආශ්‍රිතව මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබේ.

ස්ථූලතාවය ඇතිවීමට පෙර වළක්වාගැනීම වැදගත්

ස්ථූලතාවයට පත් වූ දරුවෙකුගේ ස්ථූලභාවය පාලනය ඉතා අසීරු කටයුත්තක් මෙන්ම ළමා වියේ ඇතිවන ස්ථූලථාවය හරහා වැඩිහිටි වියේ දී ස්ථූලභාවය ඇතිවීමෙහි වැඩි හැකියාවක් පවතී. එමෙන්ම ස්ථූලථාවය හේතුවෙන් දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇතිවීමේ අවදානමක් ද පවතින අතර හන්දි ආශ්‍රිතව ද විවිධ රෝගාබාධ ඇතිවිය හැකිය. එබැවින් ස්ථූලතාවය පාලනය කිරීමට වඩා ස්ථූලතාවය ඇතිවීමට පෙර එය වළක්වාගැනීම ඉතා වැදගත් වේ.

ස්ථූලතාවය වළක්වාගන්නේ කෙසේද?

ප්‍රධාන වශයෙන් ස්ථූලතාවය වළක්වාගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු මූලික සාධක තුනකි.

සමබල ආහාර රටාව

දරුවන්ගේ ප්‍රධාන ආහාරවේල සඳහා වෛද්‍යවරුන් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් නියමිත ආකාරයේ සමබල පෝෂණයක් සහිත ආහාරවේලක් දරුවාට ලබාදීම මෙහිදී වැදගත්ම සාධකයකි. ඒ අනුව දරුවාගේ ආහාර පිගානෙන් 1/2 එළවළු ද, 1/4 ප්‍රෝටීන් අඩංගු ආහාර ද, 1/4 පිෂ්ටය ද අන්තර්ගත විය යුතුය. ආහාරයක පිෂ්ටය ප්‍රමාණය වැඩිවීම තරබාරුබව ඇතිවීම කෙරෙහි බලපානු ලබන අතර ඉහත සඳහන් කළ පරිදි සමබල ආහාරවේලක් දරුවාට ලබාදීම මගින් ස්ථූලතාවය ඇතිවීමට ඇති හැකියාව අවමවනු ඇත. එමනිසා බත් වැඩි ප්‍රමාණයක් සහ එළවළු අඩු ප්‍රමාණයක් දරුවාගේ ආහාරවේලට එකතු කිරීම වෙනුවට කුඩා කල සිට ම දරුවාට ඉහත සඳහන් කළ නිර්දේශයට අනුකූලව සැකසූ බත් (පිෂ්ටය) අඩු ප්‍රමාණයක් සහ එළවළු වැඩි ප්‍රමාණයක් සහිත ආහාර වේලක් ලබාදීම ඉතා යෝග්‍ය වන අතර දරුවා එලෙස කුඩා කල සිට නිසි ආහාර රටාවකට හුරු කරවීම හරහා දරුවා අනාගතයේ දී ද එම නිවැරදි ආහාර රටාව අනුගමනය කිරීමට යොමුකරවිය හැකිය. එමෙන්ම දරුවාගේ ප්‍රධාන ආහාරවේලට අමතරව ලබාදෙන අතිරේක ආහාරවල දී බිස්කට්, ක්ෂණික ආහාර සහ වෙනත් පෝෂණ ගුණයෙන් හීන ආහාර ලබාදීම හැකිතාක් අවම කිරීම, පාසල් ආපනශාලා තුළින් නිකුත් කරන ආහාර හැකිතාක් සෞඛ්‍යට හිතකර නිසි පෝෂණයෙන් යුතුව ලබාදීමට කටයුතු කිරීම ආදී කරුණු ද ස්ථූලතාවය වළක්වාගැනීම සඳහා ආහාර රටාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කරුණු අතර වැදගත් වේ.

දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීම

සාමාන්‍යයෙන් දරුවෙකු අවම වශයෙන් දිනකට පැයක් – පැය 1/2 හෝ ශරීරය වෙහෙසා සිදුකරනු ලබන ක්‍රියාකාරකමක නියැලීම ස්ථූලතාවය වළක්වාගැනීමෙහිලා ඉතා වැදගත් වේ. එබැවින් දිනපතා බයිසිකල් පැදීම, සෙල්ලම් කිරීම වැනි කුමන හෝ ක්‍රියාකාරකමක නියැලීම සඳහා දරුවාට අවස්ථාව ලබාදීමට කටයුතු කළ යුතුය.

ශාරීරික ක්‍රියාකාරකමකින් තොරව දරුවා එකතැන වාඩි වී සිටීන කාලය අවම කිරීම

වර්තමානය වන විට දරුවන් වැඩි කාලයක් රූපවාහිනී නැරඹීම, වීඩියෝ ගේම් සෙල්ලම් කිරීම සහ දුරකතනය පරිහරණය කිරීම වැනි ක්‍රියාකාරකම් සඳහා වැය කරනු ලබන අතර දරුවන් එහිදී වැඩි කාලයක් ශාරීරික ක්‍රියාකාරකම්වලින් තොරව එකම තැන වාඩිවී සිටියි. මෙය සෞඛ්‍යට හිතකර නොවන අතර දරුවා ස්ථූලභාවයට පත්වීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතු සාධකයක් ද වනු ඇත. එමනිසා දරුවා රූපවාහිනී නරඹන සහ එලෙස එක්තැනක රැඳී සිටිමින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් සඳහා යොදවන කාලය සීමා කළ යුතුය.

දරුවන් සඳහා පවත්වනු ලබන රජයේ සායනය මගින් සැමවිටම දරුවාගේ වර්ධනය පිළිබඳ වූ සටහන හරහා මෙම ළමා ස්ථූලතාවය සහ ස්ථූලතාවයට පත්වීමට පවතින අවදානම යනාදිය පූර්ව අවධියේ දී ම හඳුනාගනිමින් නිසි උපදෙස් හරහා මෙම තත්ත්වයන් වළක්වාලීමට කටයුතු කරනු ලැබේ. වයස අවුරුදු 5 ඉක්මවූ පසු දරුවන් මෙම සායනයවලට සහභාගී නොවුණ ද පාසල් හරහා සිදුකරනු ලබන පාසල් සෞඛ්‍ය වැඩසටහන් මගින් දරුවන්ගේ පෝෂණ ගැටලු හඳුනාගනිමින් ඒවා වළක්වාගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශය සපයනු ලැබේ. එසේත් නැතහොත් මවකට තම දරුවා ගේ බර අනවශ්‍ය පරිදි ඉහළ යන බව සහ දරුවා ස්ථූලතාවයට පත්වන බව යම් ලෙසකින් හැගෙන්නේ නම් මෙම තත්ත්වය වැඩි වීමට පෙර වෛද්‍යවරයෙකු වෙත ගොස් ඒ පිළිබඳ පරීක්ෂා කර ගත හැකි අතර ඉන්පසු වෛද්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කරමින් දරුවා ස්ථූලතාවයට පත්වීම වළක්වාගත හැකිය.

ඉහත සඳහන් කළ පරිදිම ස්ථූලතාවය සමගම දරුවාට බෝ නොවන රෝග පහසුවෙන් වැලඳීමේ වැඩි හැකියාවක් මෙන්ම දරුවා වැඩිහිටි වියේ දී අධි රුධිර පීඩනය, හෘද්‍යාබාධ වැනි තත්ත්වයන්ට පවා පහසුවෙන් ලක්විය හැකිය. එමෙන්ම දරුවාගේ ක්‍රියාකාරීත්වය ද මේ හරහා අඩුවිය හැකිය. එබැවින් ස්ථූලතාවයට පත් වූ පසු එය පාලනය කිරීමට වඩා දරුවෙකු ස්ථූලතාවයට පත්වීමට පෙර එය වළක්වාගැනීම ඉතා වැදගත් වේ.

ළමා රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ඉෂානි රොද්‍රිගෝ
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය)

සටහන – පියුමිලා අරවින්දි