Health Guide

ඌන පෝෂණය ගැන දැනගන්න

ඌන පෝෂණය අප රට තුළ දක්නට ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් ලෙස හැඳින්විය හැකිය. අප රටේ මෙතෙක් ඍණාත්මක දර්ශකයන් ලෙස හඳුනාගැනීමට ලැබුණු මාතෘ මරණ, ළමා මරණ සහ අධ්‍යාපනය ආශ්‍රිත දර්ශකයන්හි ධනාත්මක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වුව ද පසුගිය වසර 30 පුරාවට ම ඌන පෝෂණයෙහි යහපත් ධනාත්මක අගයක් වෙත ළඟාවීමට අප අපොහොසත්වී ඇත.

ඌන පෝෂණය මූලික කොටස් තුනක් යටතේ හඳුන්වාදිය හැකියි. එනම්,
■ අඩු බර
■ මිටි බව
■ කෘශ බව

ශ්‍රී ලංකාව තුළ මෙම ඌන පෝෂණ තත්ත්වයන් පිළිවෙළින් 21%, 18%, 15% ආදී ප්‍රතිශතයක් යටතේ දැක්විය හැකිය. මෙම ඌන පෝෂණ අවස්ථාවන් ත්‍රිත්වය පසුගිය වසර 30 පුරාවටම නියමිත දර්ශක අගයන් පූර්ණය කිරීමට නොහැකිවී ඇති අතර මෙම පෝෂණ ඌනතාවන් ඇතිවීම කෙරෙහි හේතුවන සාධක කිහිපයක් මූලික වශයෙන් හඳුනාගත හැකිය.

දරුවන්ගේ ඌන පෝෂණය කෙරෙහි බලපාන හේතු සාධක

සාමාන්‍යයෙන් අප රටේ 17% පමණ අඩු බර උපත් වාර්තා වන අතර මෙම උපත් බර අඩු දරුවෙකු ඌන පෝෂණයට ලක්වීමට වැඩි අවස්ථාවක් පවති. ඊට අමතරව ප්‍රමාණවත් මෙන්ම ගුණාත්මක ආහාර නොලැබීම වැනි සාධක ද මෙහිලා ප්‍රබල හේතු සාධක වනු ඇත. ඇතැම් විට පවුලේ ආහාර බෙදීමේ පිළිවෙල එනම් ආහාර බෙදීමේ දී ස්ත්‍රී / පුරුෂ සාධකය සහ ළමා / වැඩිහිටි වැනි සාධක පදනම් කරගනිමින් දරුවන් වෙත ආහාර ලබාදීමේ යම් වෙනස්කම් දක්නට ලැබේ. එවැනි අවස්ථාවක දී දරුවාට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබී යා හැකිය. මීට අමතරව දරුවන් ප්‍රමාණය / දරුවන් අතර පරතරය මෙන්ම මවගේ අධ්‍යාපන මට්ටම යන කරුණු ද දරුවන්ගේ ඌන පෝෂණය කෙරෙහි හේතුවිය හැකි අනෙකුත් අවශේෂ හේතු සාධකයන් ලෙස හදුන්වාදිය හැකි අතර මෙම හේතු සාධකයන් අතරින් වඩාත්ම ප්‍රබල සාධකය වන්නේ ඉහත සඳහන් කළ පරිදිම “ප්‍රමාණවත් සහ ගුණාත්මක ආහාර නොලැබීම” යන්න වේ.

දරුවන්ගේ වර්ධනය නිර්ණය කරනු ලබන සාධක

සාමාන්‍යයෙන් අප දරුවාගේ වර්ධනය පිළිබඳ නිර්ණය කරන්නේ දරුවාගේ උස සහ බර සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව ළමා පෝෂණ වර්ධන සටහන තුළ,
■ දරුවාගේ වයසට අනුව බර
■ වයසට අනුව උස
■ උසට සරිලන බර
යන අගයන් වෙන වෙනම දර්ශක තුනක සටහන් කෙරෙන අතර ඒ ඔස්සේ දරවන්ගේ වර්ධනය පිළිබඳව නිර්ණය කරනු ඇත.

එහිදී දරුවාගේ වයසට සරිලන බර නොමැති විට එය අඩු බර ලෙස සලකන අතර වයසට අනුව උස නොමැති නම් මිටි බව ලෙසත්, උසට සරිලන බර නැති වූ විට එය කෘශ බව ලෙසත් හදුන්වනු ලබයි. දරුවෙකුගේ මිටි බව ඇතිවීම කෙරෙහි දිගු කාලීන සාධකයන් හේතු වන අතර කෘශ බව ඇති වීමෙහිලා බොහෝ දුරට කෙටි කාලීන හේතු සාධකයක් බලපෑ හැකිය. නිදසුන් ලෙස තදබල අසනීපයකට ලක්වීමක්, උග්‍ර ආහාර හිඟයක්, අවතැන්වීමක් හෝ යුද වාතාවරණයක් වැනි කෙටි කාලීන හේතූන් නිසා එම මොහොත තුළ ලැබිය යුතු පෝෂණය නොලැබීම හරහා කෘශ බව ඇතිවිය හැකිය.

මෙම ඌන පෝෂණ තත්ත්වයන් ළමා පෝෂණ වර්ධක දර්ශකය හරහා පහසුවෙන් ම හඳුනාගත හැකිය. සාමාන්‍යයෙන් දරුවා වයස අවුරුදු 2 සපුරන තුරු මසකට වරක් දරුවාගේ බර මැන ගැනීමටත්, මාස 6ට වරක් දරුවාගේ උස මැනීමටත් කටයුතු කෙරෙන අතර එහිදී එම මිනුම්, වර්ධක ප්‍රස්තාරයේ සටහන් කිරීම හරහා දරුවාගේ පෝෂණය පිළිබඳව යම් නිගමනයකට එළැඹිය හැකිය.

සාමාන්‍යයෙන් හොඳට වැඩුණු දරුවෙකු එම ප්‍රස්තාරයේ තද කොළ පැහැ පරාසයටත්, අඩු බර සහිත දරුවෙකු තද කොළ පැහැ වර්ණ පරාසයේ සිට රේඛා කපාගෙන පිළිවෙලින් ළා කොළ, කහ, රතු ආදී වර්ණ පරාසයන් වෙත දර්ශකයේ පහළටත් ගමන් කරනු ඇත. එහෙත් ඇතැම් විට දරුවෙකු මෙහි සඳහන් කරන ලද පෝෂණ රේඛාවන්ගෙන් පහළට ගමන් කරමින් කහ පැහැ හා රතු පැහැ පරාසයන්හි වර්ධනය බාලවී රැඳිය හැකිය. එලෙස යම් කිසි පෝෂණ ඌනතාවක් ඔබේ දරුවා තුළින් පිළිබිඹු වන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය හැකි අතර ඒ ඔස්සේ තත්ත්වය කළමනාකරණය කර ගත හැකිය.

ඌන පෝෂණය අවම කරගැනීම සඳහා කළ යුතු දෑ

මෙහිදී ඉතා වැදගත් සාධකයක් වන්නේ අඩු බර උපත් අවම කිරීමයි. මෙය කෙටි කාලීනව පූර්ණය කළ නොහැකි දිගු කාලීන කටයුත්තකි. එනම් අඩු බර උපත් අවම කිරීමට නම් දරුවාගේ මවට නිසි පෝෂණයක් ලබාදිය යුතුය. එය තවදුරටත් විග්‍රහ කරන්නේ නම්, අනාගතයේ මාතෘත්වය දැරීම වෙනුවෙන් ගැහැනු දරුවන් වෙත කුඩා කළ සිටම නිසි පෝෂණයක් ලබාදිය යුතු අතර එය දිගු කාලීනව පූර්ණය කළ යුතු කටයුත්තක් වන්නේ එබැවිණි.

එමෙන්ම දරුවා ඉපදුණු පසු දරුවාට හොදින් මව්කිරි ලබාදීම ද තවත් වැදගත් සධකයකි. සාමාන්‍යයෙන් මුල් මාස 6 පමණ දරුවෙකු මව්කිරි තුළින් වර්ධනය වනු ඇත.

තව ද මෙහිදී අවධානය යොමු කළ හැකි ඉතා වැදගත් සාධකයක් ලෙස දරුවාට අමතර ආහාර ලබාදීම ද හඳුන්වාදිය හැකිය. දරුවා අදාළ වයස සම්පූර්ණ කළ පසු, (සාමාන්‍යයෙන් මාස 6 සම්පූර්ණ වූ පසු) දරුවාට අමතර ආහාර ලබාදීම ආරම්භ කළ හැකි අතර ඇතැම් විට දරුවා නියමිත වයස සම්පූර්ණවීමට පෙර ද වෛද්‍ය නිර්දේශය සහ මගපෙන්වීම මත මෙලෙස අමතර ආහාර ලබාදීම සිදු කෙරේ. (පෝෂණ අවශ්‍යතාවන් වෙනුවෙන්).

මෙලෙස දරුවාට අමතර ආහාර ලබාදීමේ දී ප්‍රමාණය මෙන්ම ගුණාත්මක බව කෙරෙහි ද විශේෂයෙන් ම අවධානය යොමු කළ යුතුය. නිදසුන් ලෙස ඇතැම් මව්වරු දරුවාට බත් කැඳ වැනි දියරමය ආහාර අමතර ආහාර ලෙස දරුවාට ලබාදුන්න ද අප නිර්දේශ කරනුයේ සැමවිට ම දරුවාට තලපයක ආකාරයේ (හැන්දේ දැවටෙන පරිදි සැකසූ) අමතර ආහාරයක් ලබාදිය යුතු ලෙසිනි. මේ පිළිබඳ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් සහ රජයේ ළමා සායන හරහා මාර්ගෝපදේශය ලබාගත හැකිය.

දරුවා වර්ධනය වනවාත් සමග ම දරුවාගේ ආහාරය ද වෙනස්විය යුතු අතර දරුවාගේ ආහාරයට අවශ්‍ය පෝෂකයන් ද තවදුරටත් ඊට එකතු කිරීම ද ඌන පෝෂණය අවම කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු වැදගත් සාධකයකි.

ඌන පෝෂණය නිසා ඇතිවිය හැකි දිගුකාලීන ගැටලු

මේ හරහා දරුවාගේ ශාරීරික වර්ධනය කෙරෙහි විශාල බලපෑමක් එල්ල වනු ඇත. උදාහරණයක් ලෙස ළමා අවධියේ දී දරුවෙකු මිටි වූ විට එය දරුවාගේ ජීවිත කාලය පුරාම බලපෑ හැකි අතර දරුවා වැඩිහිටි වියේ දී ද මිටි විය හැකිය.

ඊට අමතරව සාමාන්‍යයෙන් දරුවා ඉපදී මුල් අවුරුදු දෙක තුළ දරුවෙකුගේ මොළේ වර්ධනය සිදුවන අතර මෙම ඌන පෝෂණය හේතුවෙන් දරුවාගේ මොළය වර්ධනය කෙරෙහිද යම් බලපෑමක් ඇතිවිය හැකිය. තව ද ඌන පෝෂණය සහිත දරුවෙකු ලෙඩ රෝගවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් ද පවති. එබැවින් ඌන පෝෂණය අවම කර ගැනීම ඉතා වැදගත් වේ.

ඌන පෝෂණය වළක්වාගැනීම සඳහා ඉහත සඳහන් කළ පරිදිම දරුවාට නිසි පරිදි ප්‍රමාණවත් සහ ගුණාත්මක ආහාර ලබාදීම මෙන්න මසකට වරක් ළමා සායනය වෙත දරුවා රැගෙන ගොස් දරුවාගේ වර්ධනය පිළිබඳ මැන බලා වර්ධක දර්ශකය ආශ්‍රයෙන් දරුවාගේ වර්ධනය පිළිබඳ යම් නිගමනයකට එළඹිම වැනි ප්‍රධාන ක්‍රියාවන් පිළිබඳ දෙමාපිය අවධානය යොමු කළ යුතුය. එමෙන්ම දරුවාගේ පෝෂණය පිළිබඳ යම්කිසි ගැටලුවක් පැන නැගී ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යොමුවීම ද ඉතා වැදගත් වේ.

සාමාන්‍යයෙන් දරුවෙකුගේ බර මට්ටම අඩුවන බවක් වර්ධක දර්ශකය හරහා පිළිබිඹු වන විට දරුවාගේ ආහාරයට තෙල් ස්වල්පයක් හෝ කජු, තල වැනි ධාන්‍ය වර්ගයක් පොඩිකර දරුවාගේ ආහාරයට එක් කිරීම හරහා ශක්තිය වැඩිකර ගත හැකිය.

ළමා රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ඉෂානි රොද්‍රිගෝ
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය)

සටහන – පියුමිලා අරවින්දි