Food

ළමා වියේ ඇතිවන පෝෂණ ගැටලු – යකඩ ඌනතාව

පසුගිය නිරෝගා කලාප තුළින් අපි ඔබව අධි පෝෂණය සහ ඌන පෝෂණය පිළිබඳ දැනුවත් කළෙමු. අප මෙවර ළදරු සහ ළමා පෝෂණය ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තුවන්නේ ක්ෂුද්‍ර පෝෂක ඌනතා පිළිබඳවයි. ක්ෂුද්‍ර පෝෂක යනු ප්‍රමාණික වශයෙන් අපට ඉතා සුළු ප්‍රමාණයක් අවශ්‍ය වන එහෙත් අපට අත්‍යවශ්‍ය ම පෝෂණ සංඝටක ය. විටමින් සහ ලවණ වර්ග සාමාන්‍යයෙන් මෙම පෝෂක සංඝටක ගණයට අයත් වන අතර යකඩ, කැල්සියම්, සින්ක්, තඹ වැනි විවිධ පෝෂණ ද්‍රව්‍යයන් තිබෙන අතර මේවා අපගේ ශරීරයට අත්‍යවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර පෝෂක ඌනතා අතර සුලබව දක්නට ලැබෙන මෙන්ම වැදගත් ම ඌනතාවක් ලෙස යකඩ ඌනතාව හැඳින්විය හැකිය. යකඩ ඌනතාව සමාජයේ සෑම ස්ථරයක ම පාහේ දක්නට ලැබෙන අතර මෙය වඩාත් ම වැදගත් වන්නේ ගර්භණී මාතාවන්ට සහ දරුවන්ට වේ. යකඩ අවශ්‍ය වනුයේ අපේ ශරීරයේ රතු රුධිරාණුවල තිබෙන හිමොග්ලබින් වර්ණකය නිපදවීම සඳහා වන අතර ශරීරයේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය පාලනය කරනුයේ හිමොග්ලොබින් මගිනි. ඒ අනුව ශරීරයේ යකඩ ප්‍රමාණය අඩුවීම තුළින් රතු රුධිරුනුවල ඇති හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වී ශරීරයේ ඔක්සිජන් ගෙනයාමට තිබෙන ප්‍රමාණය ද අඩු වේ. අප නිරක්තිය නැතහොත් යකඩ ඌනතාව ලෙස හදුන්වන්නේ මෙම ඉහත සඳහන් කළ තත්ත්වයයි. එබැවින් යකඩ අපගේ ශරීරයට අත්‍යවශ්‍යය ක්ෂුද්‍ර පෝෂකයක් වනු ඇත.

සාමාන්‍යයෙන් දරුවෙකුට යකඩ ඌනතාවක් ඇතිවූවහොත් කෙටි කාලීන සෞඛ්‍ය ගැටලු මෙන් ම දිගු කාලීන ගැටලු ද ඒ හරහා ඇතිවිය හැකිය. එනම් කෙටි කාලින ගැටලු ලෙස යකඩ ඌනතාවක් ඇති දරුවෙකුගේ රුධිරයෙහි ඇති හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වූ විට රෝග ලක්ෂණ ලෙස මහන්සිය දැනීම, වේගයෙන් හුස්ම ගැනීම වැනි ශ්වසන අපහසුතා, අලසබවක් දැක්වීම, විවිධ ආසාදනයන් ඇතිවීම වර්ධන ඌනතා ඇතිවීම, ගල් / බිත්ති කෑම වැනි අසාමාන්‍ය ආහාර රුචි ඇතිවීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. යකඩ ඌනතාව නිසා ඇතිවිය හැකි දිගු කාලීන ගැටලු පිළිබඳ සඳහන් කිරීමේ දී එම තත්ත්වයන් ඉහත දක්වන ලද කෙටි කාලීන ගැටලුවලට වඩා බලපෑම්කාරී සංකීර්ණ ගැටලු බව පෙන්වාදිය හැකිය. එනම් වර්ධනය වන දරුවෙකුට ප්‍රබල යකඩ ඌනතාවක් ඇතිවුවහොත් එම දරුවාගේ මොළයේ වර්ධනය කෙරෙහි බලපෑමක් ඉන් ඇතිවිය හැකි අතර පසුකාලීනව යකඩ පෝෂකය දරුවාට ලබාදුන්න ද යකඩ ඌනතාව ඇති වූ අවස්ථාවේ දී ස්නායුවලට ඇති වූ හානිය සහ අඩාල වූ මානසික වර්ධනය නැවත සංතෘප්ත කර ගැනීමට නොහැකිය.

අලුත ඉපදුණු දරුවෙකුගේ ශරීරයේ ඇති මුළු යකඩ ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ඇත්තේ කලල වියේ දී මවගේ වැදෑමහ හරහා ලබාගත් යකඩ පෝෂක ය. එලෙස මවගෙන් කලලය වෙත යකඩ වැඩි වශයෙන් ම ලැබෙණුයේ ගර්භණී සමයේ අවසන් මාස තුන ඇතුළත වන අතර එමනිසා නියමිත සති ගණන පූර්ණයවීමට පෙර බිහි වූ (නොමේරූ) දරුවන්ට මෙම යකඩ ප්‍රමාණය නොලැබී යාම නිසා යම් යකඩ ඌනතාවක් ඇතිවිය හැකියි.

එමෙන්ම මව කිසියම් යකඩ ඌනතාවකින් පෙළෙන්නේ නම් එය ද දරුවාට ද යකඩ ඌනතාවක් ඇතිවීම කෙරෙහි හේතුවිය හැකිය. මන්දයත් ගර්භණී සමයේ දී යකඩ පෝෂක අඩංගු පෙති වර්ග ලබාදුන්න ද අරුචිය සහ වමනය යාම වැනි හේතූන් මත යකඩ පෙති ලබාගැනීමට නොහැකි වන අතර එවැනි මවකගේ දරුවෙකු සතු යකඩ පෝෂණ ප්‍රමාණය අඩු ය. දරුවෙකුට මුල් කාලයේ දී මව්කිරි පමණක් ලබාදෙන අතර එහි එතරම් යකඩ පෝෂක ප්‍රමාණයක් අඩංගු නොවුණ ද සාමාන්‍යයෙන් දරුවෙකු ඉපදී මාස හයක් ගත වන තෙක් දරුවා කලල වියේ ලද යකඩ ප්‍රමාණය දරුවාට ප්‍රමාණවත් වනු ඇත. දරුවාට මාස 6 ඉක්මවූ පසු අමතර ආහාර ලබාදීම ආරම්භ කළ යුතු අතර එහිදී යකඩ පෝෂකයන් බහුල ආහාර දරුවාගේ ආහාර වේලට එක් කර ගැනීමට දෙමාපියන් කල්පනාකාරී විය යුතුය. එලෙස යකඩ බහුල ආහාර ලෙස රතු පැහැ මස් වර්ග, මාළු සහ බිත්තර වැනි සත්ත්ව ආහාර යොදාගත හැකි අතර තද කොළ පැහැති එළවළු වර්ග සහ යකඩ පෝෂකය එකතු කළ අතිරේක ආහාරයන් ද මෙහිදී දරුවාට ලබාදිය හැකිය.

අප ලබාගන්නා ආහාරවල අන්තර්ගත යකඩ පෝෂක ප්‍රමාණය සම්පූර්ණයෙන් ම අපගේ ශරීරයට අවශෝෂණය නොවේ. විශේෂයෙන් ම අප ආහාර ලබාගන්නා රටාව අනුව අපගේ ශරීරයට මෙම පෝෂකයන් උරාගන්නා ආකාරය විවිධ වේ. නිදසුන් ලෙස ඔබ යකඩ පෝෂකයන්ගෙන් යුත් ආහාර සමග තේ / කෝපි හෝ කිරි වැනි යමක් යොදාගන්නේ නම් ඉන් පෝෂකයන් ශරීරයට උරාගැනීම අඩාල වන අතර ඔබ ආහාර සමග දොඩම් / දෙහි වැනි විටමින් වර්ගයක් ලබාගන්නේ නම් පෝෂක කොටස් ඉක්මනින් ඔබේ ශරීරයට උරා ගනු ඇත.

යකඩ ඌනතාවක් ඇති දරුවෙකුට ලේ ගැලීමක් සිදුවුවහොත් එම ඌනතා තත්තවය වැඩි විය හැකිය.

එමෙන්ම වයස අවුරුද්ද වූ දරුවෙකුගේ දෙවන භාගයේ දී යකඩ ඌනතාවක් ඇතිවීමේ වැඩි අවදානමක් බහුලව දක්නට ලැබෙන අතර දරුවාගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවී ඇතිබව පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව තවදුරටත් පරීක්ෂණයන්ට භාජනය කරමින් දරුවා සිටින සෞඛ්‍ය තත්ත්වය නිශ්චිතව අවබෝධ කර ගත යුතුය. එවැනි අවස්ථාවක දී දරුවාට ආහාර ලබාදෙන ආකාරය පිළිබඳ අවධානය යොමු කර එම ආහාර රටාව සුදුසු පරිදි වෙනස් කිරීම මෙන්ම දරුවාට යකඩ පෝෂකය සහිත පෙති වර්ග ලබාදීමට ද කටයුතු කෙරෙන අතර දරුවාට හිඟ හිමොග්ලොබින් ප්‍රමාණය ලැබුණු පසුව ද තවත් මාස 3ක් ශරීරයේ යකඩ පෝෂකය ගබඩා කිරීමේ අරමුණින් යකඩ පෝෂකය ලබාදෙනු ලබයි. ඇතැම් විට පසුකාලීනව ද දරුවාගේ නිරෝගීබව වෙනුවෙන් වෛද්‍යවරුන් විසින් දරුවාට යම් අමතර යකඩ පෝෂක ප්‍රමාණයක් නිර්දේශ කිරීමට වුව ද හැකිය.

ළමා රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ඉෂානි රොද්‍රිගෝ
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය)

සටහන – පියුමිලා අරවින්දි