Health Guide

ෆොලික් ඇසිඩ් (Folic Acid) ඌනතාව ගැන දැනුවත් වෙමු

ෆොලික් ඇසිඩ් යනු B විටමින් කාණ්ඩයට අයත් විටමින් වර්ගයකි. මෙම සංඝටකය අප එදිනෙදා ආහාරයට ගනු ලබන හරිත පැහැ එළවළු සහ පළා වර්ගවල අන්තර්ගත වන අතර අප ශරීරයට ප්‍රමාණවත් තරම්වූ ෆොලික් ඇසිඩ් ප්‍රමාණයක් එම ආහාර තුළින් ලැබෙනු ඇත. ෆොලික් ඇසිඩ් අප ශරීරයට අවශ්‍ය වනුයේ සෛල බෙදීමේ දී ය. එනම් අප ශරීරයේ අලුතින් සෛල සකස්වීමේ දී DNAවල සෛල බෙදීමට මෙම ෆොලික් ඇසිඩ් සංඝටකය අවශ්‍ය වනු ඇත.

ෆොලික් ඇසිඩ් අප ශරීරයට ප්‍රමාණවත් තරම් නොලැබීම නිසා නීරක්තය ඇතිවිය හැකි අතර එවන් අවස්ථාවක දී ෆොලික් ඇසිඩ් ලබාදීම හරහා නැවත රතු රුධිරානු නිවැරදි ලෙස සකස්වී නීරක්ත තත්ත්වයෙන් මිදීමට හැකිය. මෙයට අමතරව ෆොලික් ඇසිඩ් වැඩි වශයෙන් ම වැදගත් වනුයේ දරු ප්‍රසූතියක් බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ට ය. මන්දයත් කලලයක ස්නායු පද්ධතිය, එනම් සුසුම්නාව, මොළය වැනි අංග සකස් වනුයේ මුල් සති 4-8 වැනි කාලය තුළයි. මෙම කර්තව්‍යය සඳහා ෆොලික් ඇසිඩ් අත්‍යවශ්‍ය වන අතර යම් හේතුවකින් මවකගේ ගර්භණී අවධියේ මුල් සති කිහිපය තුළ ෆොලික් ඇසිඩ් ඌනතාවක් ඇති වුවහොත් එය දරුවාගේ ස්නායු පද්ධතියේ සාමාන්‍ය වර්ධනයට බාධාවක් වනු ඇත. එමගින් ස්නායු පද්ධතිය ආශ්‍රිත විවිධ ගැටලු (Neural tube defects) ඇතිවිය හැකි අතර එහිදී සමෙ ඇති පිටතට නොපෙනෙන කුඩා ඩින්පල් එකක සිට සුසුම්නාවෙ කොටස් එළියට නිරාවරණය වන තත්ත්වයක් දක්වා පරාසයක් තිබිය හැකිය. ඒ අනුව සුසුම්නාවෙ කොටසක් එළියට නිරාවරණයවීම වැනි ස්නායු පද්ධතිය ආශ්‍රිත ගැටලු තත්තවයක් ඇති දරුවන්ගේ කකුල් පණ නැතිවීම, මල මුත්‍රා පාලනය කර ගැනීමට නොහැකිවීම, මොළයේ වතුර වැඩිවීම (Hydrocephalus) මෙන්ම කොදු ඇට පෙළෛ් ආබාධ ඇතිවීම වැනි ආබාධයන් ඇතිවිය හැකිය. මෙවැනි තත්තවයක දී මොළයෙහි ආබාධයක් නොමැති වූවත් කායික වශයෙන් ඉහත සඳහන් කළ ආකාරයේ ආබාධ උද්ගත විය හැකි අතර මෙවැනි දරුවන්ගේ ශල්‍යකර්මයක් හරහා සමෙහි ඇති තුවාලය වසා දැමූව ද ස්නායු පද්ධතියෙහි පවතින ආබාධය ශල්‍යකර්මය හරහා සකස් කළ නොහැකිය. ෆොලික් අම්ලය වැදගත්වනුයේ මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වාගැනීම සඳහා ය.

අප ඉහත සඳහන් කළ පරිදි ම කලලයක ස්නායු පද්ධතිය සකස්වනුයේ මුල් ම සති කිහිපය තුළ බැවින් ගර්භණී වූ පසුව ෆොලික් අම්ලය ලබාගැනීම එතරම් යෝග්‍ය නොවේ. ගැබ්ගෙන ඇති බව නිශ්චිතව දැනගැනීමට ද බොහෝවිට සති කිහිපයක් ගත වන අතර එමනිසා ගර්භණී සමයේ මුල් සති කිහිපය තුළ ෆොලික් අම්ලය ලබාගැනීම ප්‍රායෝගික නොවන අතර එවිට ඔබ ප්‍රමාද වැඩි විය හැකිය. එමනිසා ඔබ ෆොලික් ඇසිඩ් ලබාගත යුත්තේ පූර්ව ගර්භණී අවධීය තුළ, එනම් දරු ප්‍රසූතියක් බලාපොරොත්තුවෙන් සිටින කාල පරාසය තුළ දී ය.

සාමාන්‍යයෙන් ෆොලික් ඇසිඩ් මයික්‍රෝ ග්‍රෑම් 400 වැනි ප්‍රමාණයක් දිනපතා ලබාගැනීම සුදුසු වන අතර පවුලේ වෛද්‍යවරයාගේ හෝ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ නිර්දේශය සහ මගපෙන්වීම මත ද එය ලබාගත හැකිය. එමෙන්ම ෆොලික් ඇසිඩ් කිසිදු අපහසුවකින් තොරව ලබාගත හැකි අතර වඩා වැදගත්වනුයේ ප්‍රසූතියට කලින් ලබාගැනීමයි. තව ද ඇතැම් විට එක් දරුවෙකුගේ එවැනි ස්නායු ආබාධ හටගතහොත් ඊළග දරුවාට ද එය ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. එවැනි අවස්ථාවක දී එම මව්වරුන්ට සාමාන්‍යයෙන් ලබාදෙන ෆොලික් ඇසිඩ් මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවක් (මිලි ග්‍රෑම් 5ක් පමණ) ලබාදීමට කටයුතු කරනු ලබයි.

සාමාන්‍යයෙන් දරුවෙකුගේ ස්නායු පද්ධතිය ආශ්‍රිත ගැටලුවක් (Neural tube defects) ඇත්නම් එය දරුවා ඉපදීමට පෙරම සකෑන් පරීක්ෂණයකින් හෝ මවගේ රුධීර පරීක්ෂණයක් හරහා හදුනාගත හැකිය. එලෙස ස්නායු පද්ධතිය ආශ්‍රිත විශාල ආබාධ ඇති බවට හදුනාගත් විට ගර්භණීභාවය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේ ද කියන කරුණ පිළිබඳව අවධානයෙන් යුතුව දෙවරක් සිතා බැලීමට සිදුවන්නේ එවැනි ආබාධයක් පසුකාලිනව ශල්‍යකර්ම හරහා හෝ සුව කිරීමට අසීරු වන බැවිනි. අප රටෙ නම් කලලය ඉවත් කිරීම යන් කරුණ නීත්‍යානුකූල නොවේ. එහෙත් එය නීත්‍යානුකූල වන අවස්ථාවල දී ඒ පිළිබඳ අවධානය යොමු කරනු ලැබේ.

අප එදිනෙදා ආහාරවලින් සපයාගන්නා ෆොලික් ඇසිඩ් ප්‍රමාණය දරු ප්‍රසූතියක් අපේක්ෂාවෙන් සිටින මවකට ප්‍රමාණවත් නොවේ. එමෙන්ම එම බොහෝ පෝෂණ සංඝටකයන් ආහාර සකස් කිරීමෙ දී විනාශ වේ. එබැවින් ඔබ දරු ප්‍රසූතියක් බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ගර්භණීවූ විට නොව පූර්ව අවධිය තුළ දී ෆොලික් ඇසිඩ් ලබාගැනීමට කටයුතු කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යය (මාස දෙකකට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබාගැනීම ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය වේ.) එවිට මෙවැනි ආබාධ තත්තවයන් ඇතිවීම වළක්වාගෙන නිරෝගී දරුවෙකු බිහි කළ හැකිය.

ළමා රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ඉෂානි රොද්‍රිගෝ
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය)

සටහන – පියුමිලා අරවින්දි