Health Guide

ළමා වියේ ඇතිවන අධිබර සහ ස්ථූලතාව

ළමා වියේ දී ඇතිවන පෝෂණ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ දී එහි හඳුනාගත හැකි ප්‍රධාන අන්ත දෙකක් පවති. එනම් ඌන පෝෂණය සහ අධි පෝෂණයයි. ඌන පෝෂණය යටතේ අඩු බර, මිටි බව සහ කෘෂ බව යන පෝෂණ ගැටලු හඳුනාගත හැකි අතර අධි පොෂණය යටතේ ස්ථූලතාව හා අධිබර ආදී පෝෂණ ගැටලු හඳුනාගත හැකිය. සාමාන්‍යයෙන් අපේ රටේ දැනට අවුරුදු 10-15 පමණ පෙර බහුලව අවධානය යොමු වූයේ ඌන පෝෂණය සම්බන්ධ ගැටලු පිළිබඳවයි. එහෙත් වර්තමානය වන විට අධි පෝෂණය යටතේ ඇති අධිබර හා ස්ථූලතාව ද අප රටේ දරුවන් අතර දක්නට ලැබෙන පෝෂණ ගැටලුවක් බවට පත්වී ඇත. අපි නිරෝගා සෞඛ්‍ය සාර සංග්‍රහය තුළින් මීට පෙර ද එම විවිධ ළමා පෝෂණ ගැටලු පිළිබදව ඔබ සමඟ සාකච්ඡා කළෙමු. මෙවර අප ඔබව දැනුවත් කිරීමට අපේක්ෂා කරනුයේ ළමා වියේ දී ඇතිවන අධිබර සහ ස්ථූලතාව පිළිබඳවයි.

අප සාමාන්‍යයෙන් දරුවෙකුගේ අධිබර සහ ස්ථූලතාව නිර්ණය කරනුයේ දරුවාගේ උස සහ බර යන සාධකයන් දෙක මත පදනම් කරගැනීමයි. අවුරුදු 5ට අඩු දරුවන් සඳහා, උසට සරිලන බර, යන නිර්ණායකය එහිදී භාවිත වේ. අවුරුදු 5ට වැඩි දරුවන් සඳහා ශරීර ස්කන්ධ මාපකය (BMI) භාවිත කරනු ලබයි. මෙම දෙයාකාරයේ දී ම දරුවාගේ උස, බර සහ වයස් යන සාධක මත පිහිටා දරුවාගේ නිරෝගී බව සහ පෝෂණ ගැටලු නිර්ණය කරනු ලබයි. මෙම ලබාගන්නා දත්තයන් ළමා සෞඛ්‍ය වර්ධන සටහනේ ප්‍රස්ථාරවල සටහන් කරනු ලබයි.

■ ළමා වියේ දී ඇති වන අධිබර සහ ස්ථූලතාව පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ළමා වියේ දී දරුවෙකු අධිබර හෝ ස්ථූලතාවට පත්වුවහොත් එම දරුවා වැඩිහිටිවියට එළඹුණු පසුව ද අධිබර හා ස්ථූලතාවට පත්වීමට ඇති අවදානම ඉතා ඉහළ වේ. අධිබර හා ස්ථූල වුවහොත් ඒ හරහා තවත් ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවනු ඇත. එනම්, රුධිර සංසරණ පද්ධතිය හා අධි රුධිර පීඩනය සම්බන්ධ ගැටලු වන අධික රුධිර පීඩනය, හෘදයාබාධ ඇතිවීම, අංශභාගය ඇතිවීම වැනි රෝගි තත්ත්වයන් ඇතිවීමේ වැඩි ප්‍රවණතාව මෙවැනි අවස්ථාවක දී පවතී. ඊට අමතරව දියවැඩියාව, අක්මාවේ තෙල් තැම්පත්වීම, ශරීරයේ මේද ප්‍රමාණය වැඩිවීම වැනි තත්ත්වයන් ද මෙහිදී හැකි විය හැකි අතර අධික බර හේතුවෙන් අස්ථි පද්ධතිය ආශ්‍රිතව හන්දිවල ගැටලු ඇතිවීම, සමේ ගැටලු, ශ්වසන ගැටලු, මානසික ගැටලු (විශාදය වැනි තත්ත්වයන් ඇති විය හැකිය.) මෙන් ම කාන්තාවක් නම් මඳසරුබව ද ඇති විය හැකිය. එබැවින් අධිබර හා ස්ථූලතාව ඇතිවීම වළක්වාගැනීම වඩාත් වැදගත් වේ.

■ ළමා ස්ථූලතාවය හා අධිබර ඇතිවීමට හේතු මොනවාද?

සාමාන්‍යයෙන් අධිබර සහ ස්ථූලතාවය අප හඳුන්වන්නේ දිගු කාලීන පෝෂණ ගැටලුවක් ලෙසිනි. මෙම තත්ත්වය ඇතිවීම කෙරෙහි බලපාන හේතු කිහිපයකි. ජානමය බලපෑම් හේතුවෙන් ද මෙම අධිබර සහ ස්ථූලතාවය ඇති විය හැකිය. එනම්, පවුල් සාමාජිකයන් වැඩිදෙනෙකු අධිබර හා ස්ථූලතාවයෙන් පෙළෙන පවුලක දරුවෙකු ද මෙම තත්ත්වයට ඇතිවීමේ බලපෑමක් ඇත. එම ජානමය බලපෑම මෙන්ම ඒ සමඟ එකතු වන අනෙකුත් පාරිසරික සාදක ද දරුවන් ස්ථූලතාවයට හා අධිබර තත්ත්වයන්ට පත්වීම කෙරෙහි හේතුකාරකයක් විය හැකිය. එනම්, ආහාර ආහාර, ක්‍රියාකාරකම් සහ වැඩ නොකර විවේකීව සිටින වේලාව යන සාධක ත්‍රිත්වය ම මෙම තත්ත්වයන් ඇතිවීමෙහිලා බලපෑ හැකි ප්‍රධාන හේතු සාධකයන් වේ.

අධිබර සහ ස්ථූලතාව ඇතිවීමෙහිලා හේතු වන මූල සාධකය වන්නේ ශරීරයට ලබාගන්නා ශක්ති ප්‍රමාණය වැය නොවී ශරීරයෙහි තැම්පත්වීමයි. එනම් ආහාරවල තිබෙන පිෂ්ට, මේද, සීනී යන කොටස් වැඩිවීම හා එළව`ඵ සහ පලතුරු ප්‍රමාණය අඩුවීම ස්ථූලතාව හා අධිබර ඇතිවීම කෙරෙහි බලපානු ලබයි. එමෙන්ම ආහාරය ලබාගන්නා ප්‍රමාණය වැඩිවීම සහ කෙටි ආහාර බහුල වශයෙන් යොදාගැනීම ද මෙම තත්ත්වය ඇතිවීමෙහිලා බලපාන හේතු සාධකයක් වනු ඇත. බොහෝ විට නිවසේ සකස් කරන ආහාර ලබාගැනීමට වඩා බාහිරින් ආහාර ලබාගැනීම අද වන විට සුලභ සංසිද්ධියක් වන අතර එම ආහාරවල බහුලව අඩංගුවී ඇති මේද, සීනී සහ පිෂ්ට යන සාධක ශරීරයට වැඩි වශයෙන් එකතුවීම නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවීම කෙරෙහි සෘජුව ම හේතු වේ. එමෙන්ම මාධ්‍ය තුළින් ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීම් හරහා ද බොහෝ විට ප්‍රදර්ශනය කරනුයේ ඉහත සඳහන් කළ ආකාරයේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවෙන් තොරවූ ආහාර වර්ගයන් වේ. එමඟින් දරුවන් එම ආහාර වෙත පොළඹවාගැනීමට උත්සහා කරයි. විශේෂයෙන් පැණි බීම වර්ග, එනම් සීනී අඩංගු රස කළ බීම, පලතුරු යුෂ, මෝල්ට් පානයන් වැනි ආහාර ද විශේෂයෙන් ම දරුවන්ගේ නිරෝගිමත් බව කෙරෙහි අහිතකර ලෙස බලපාන අතර, එම සාධකයන් ළමා ස්ථූලතාව හා අධිබර ඇතිවීම කෙරෙහි හේතු වේ.

දෙවන වැදගත් කරුණ වන්නේ දරුවාගේ ක්‍රියාකාරීත්වයයි. එනම් දරුවා එදිනෙදා ජීවිතයේ දී නිරතවන ක්‍රියාකාරකම් ප්‍රමාණය අඩුවීම ද මෙහිලා ප්‍රබල හේතු සාධකයක් වේ. කෙටි දුරක් හෝ පයින් ගමන් කිරීම හෝ එළිමහන් ක්‍රියාකාරකම්වල නිරතවීම වැනි දේවල්වලින් දරුවන් ඈත්වීම දරුවන්ගේ සෞඛ්‍ය කෙරෙහි සෘණාත්මක බලපෑමක් එල්ල කරයි.

තව ද, Screen time එක හෙවත් දරුවන් විවේකය තුළ එක තැනක රැඳී සිටින කාලය වැඩිවීම ද ළමා අධි බර හා ස්ථූලතාවය ඇතිවීම කෙරෙහි හේතු වන තවත් ප්‍රධාන සාධකයකි. විශේෂයෙන් ම වත්මන් කොවිඩ් 19 අර්බුද තත්ත්වයන් සමඟ ජීවන රටාවන් වෙනස්වී ඇති අතර දරුවන් අධ්‍යාපන කටයුතු මෙන් ම අනෙකුත් විෂය පරිභාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් ද පරිගණකය හෝ ජංගම දුරකතනය ඉදිරියේ රැදී සිටින කාලය වැඩිවී ඇති අතර එවැනි වේලාවක දී දරුවා ශාරීරික ක්‍රියාකාරකම්වලින් තොරවනු ඇත. එවැනි අවස්ථාවක දී දරුවා ආහාරවලින් ලබාගන්නා ශක්ති මට්ටම වැඩි වන අතර, දරුවාගේ ශරීරයෙන් වැය වන ශක්ති ප්‍රමාණය අඩු වේ. මෙය ද දරුවා ස්ථූලතාවට හා අධිබර තත්ත්වයට පත්වීමෙහිලා හේතුවන ප්‍රධාන සාධකයක් ලෙස හැඳින්විය හැකිය.

ළමා වියේ දී ඇති වන ස්ථූලතාව වළක්වාගැනීම සහ පාලනය කරගැනීම සඳහා අනුගමනය කළ යුතු කරුණු පිළිබඳව මීළඟ නිරෝගා කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ළමා රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ඉෂානි රොද්‍රිගෝ
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය)

සටහන – පියුමිලා අරවින්දි