Health

ළදරු හා ළමා අවධියේ නිසි පෝෂණය ලබාදීමේ වැදගත්කම

ළදරු අවධිය සහ ළමා කාලය තුළ වේගවත් ශාරීරික වර්ධනයක් මෙන් ම මානසික වර්ධනයක් ද සිදු වේ. මෙම කාලය තුළ සිදු වන පෝෂණ ගැටලු සහ ආහාරමය අඩුපාඩුකම් හේතුවෙන් දරුවාගේ වර්ධනයට අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකිය. ළමා කාලයේ ලබන පෝෂණය හරහා මූලික පෝෂණ පදනම සැකසෙන අතර මෙහි දී සිදුවන අතපසුවීම් තුළින් දිගුකාලීන ඍණාත්මක බලපෑමක් උද්ගත විය හැකිය. එබැවින් ළමා අවධියේ දී නිසි පෝෂණයක් ලබාදීම ඉතා වැදගත් වේ.

ශ‍්‍රී ලංකාව තුළ ඒක පුද්ගල ආදායම පසුගිය වසර 10 තුළ තරමක් ඉහළ අගයකට පැමිණ ඇතත්, පෝෂණ දර්ශකයහි එවැනි වෙනසක් දක්නට නැත. පසුගිය වසර 15 තුළ ම ලංකාවේ පෝෂණ දර්ශකය තුළින් දිස්වන්නේ ඒකාකාරී ස්වභාවයකි. සාමාන්‍යයෙන් අවුරුදු 5ට අඩු ළමයින් සම්බන්ධව ලංකාවේ පෝෂක දර්ශකය තුළ සටහන් වන දුර්වල සාධක වන්නේ,

x මිටි බව
x කෘෂ බව
x අඩු බර

යන සාධකයි. එහි අගයන් ප‍්‍රතිශතාත්මකව දැක්වූ විට පිළිවෙළින් 17%, 15% සහ 20% පමණ වේ. අප රටේ සැමතැනක ම පාහේ දක්නට ලැබෙන්නේ ඉහත දත්තයන්ට සමගාමී වූ පෝෂණ දර්ශකයකි. ළදරු හා ළමා පෝෂණය සම්බන්ධව පවතින ගැටලු මෙම තත්ත්වය සදහා ප‍්‍රධාන හේතුව ලෙස හදුනාගත හැකිය.
ශ‍්‍රී ලංකාවේ ළදරු හා ළමා පෝෂණ මාර්ගෝපදේශනය පිළිබද ව්‍යාපෘතිය (IYCF-Infant and Young Child Feeding Programme) යනු වයස අවුරුදු 5ට අඩු දරුවන් වෙනුවෙව් සිදු කරන ව්‍යාපෘතියකි. හේ හරහා ළමා පෝෂණය නිසියාකාරව සිදුකිරීම පිළිබද නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබේ. එනම්,
දරුවෙකු ඉපදී පැයක් පමණ ඇතුළත මව්කිරි ලබාදීම ආරම්භ කළ යුතුයි.

x මාස 6 ඇතුළත මව්කිරි පමණක් ලබාදිය යුතුයි.
x මාස 6 සම්පූර්ණ වූ විට අමතර ආහාර ලබාදීමට කටයුතු
කළ යුතුයි.
x අවු.1 සම්පූර්ණ වූ දරුවෙකුට පවුලේ අනෙක් සාමාජිකයන්
ගන්නා ආහාර ලබාදීම ආරම්භ කළ යුතුයි.
x අවු.2 හෝ ඊට වැඩි කාලයක් මව්කිරි දීම ඉදිරියට කළ
යුතුයි.
x වර්ධනයට පිළිබද ප‍්‍රශ්න හදුනාගැනීම සදහා සායනයට ගොස් බර මැන, ප‍්‍රශ්න හදුනාගනිමින් අවශ්‍ය විකල්පයන්ට යොමු විය යුතුයි.
යනුවෙනි.

ඉහත නිර්දේශයන්ගේ වරදක් නොව, එම නිර්දේශ නිසියාකාරව නොපිළිපැදීම නිසා පෝෂණ ගැටලු උද්ගත වන බව මෙහි දී සදහන් කළ යුතුයි. මෙම නිර්දේශයන් පිළිබදව මව්වරුන් තුළ පවතින අවම ප‍්‍රායෝගික දැනුම මෙයට මූලික හේතුවයි. දරුවෙකු ඉපදුණු පසු මාසයකට වරක් සායනයට පැමිණීමට මව්වරුන්ට උපදෙස් ලබාදෙන අතර එහි දී දරුවාගේ පෝෂණය සම්බන්ධව ප‍්‍රායෝගිකව කටයුතු කිරීම පිළිබද උපදේශනය සෞඛ්‍ය නිලධාරීන් හරහා ලබාගත හැකි වේ.

දරුවා පෝෂණය කිරීමේ දී ප‍්‍රායෝගික භාවිතය පිළිබද ගැටලු උද්ගත වන ප‍්‍රධාන අවස්ථාවක් ලෙස මව්කිරි ලබාදීම හදුනාගත හැකිය. මව්කිරි ලබාදීමේ වැදගත්කම පිළිබද මව්වරු තුළ පොදුවේ ධනාත්මක අවබෝධයක් තිබුණ ද ප‍්‍රායෝගික භාවිතයේ දී විවිධ ගැටලූ ඇතිවේ. නිර්දේශනාත්මකව දැක්වුවහොත්, පළමු දරුවා බිහිකරන මවකට මව්කිරි දීම සම්බන්ධව පූර්ව අත්දැකීම් නොමැති නිසා එහි දී යම් ගැටලු ඇතිවිය හැකිය. බොහෝ විට මෙවැනි අවස්ථාවල දක්නට ලැබෙන්නේ දරුවාට නිසි පරිදි අල්ලා නොගැනීම සහ ස්ථානගත කිරීමේ වැරදි ය.

රෝහලක දී නම් පවුල් සෞඛ්‍ය සේවිකා නිලධාරිනියක් විසින් එය නිවැරදි කරනු ලැබේ. රෝහලෙන් බැහැර වූ පසුවත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ සහයෝගයෙන් එම ගැටලු නිරාකරණය කරගත හැකිය.

මව්කිරි ලබාදීම සම්බන්ධව මව්වරුන්ට ඇතිවන අනෙක් ගැටලුව වන්නේ දරුවාට ප‍්‍රමාණවත් තරම් කිරි ලැබෙන්නේද? යන්නයි. දරුවා කිරි බී පැය 1 – 1 1/2 පමණ සුව සේ නිදයි නම්, සාමාන්‍ය පරිදි හොදින් මලපහ බැහැර කරයි නම් සහ දරුවාගේ බර වැඩිවන්නේ නම් දරුවාට ප‍්‍රමාණවත් පරිදි මව්කිරි ලැබෙන බව නිගමනය කළ හැකියි. තවදුරටත් ඒ පිළිබදව සැක සහිත නම් සායනයට යොමු විය හැකියි. සායනය හරහා මව්කිරි ලබාදෙන කාලය තුළ දරුවා නිසි පෝෂණයක් ලබන්නේ ද යන්න සෙයාාබලයි. දරුවාගේ බර වැඩිවීම, දිග වැඩිවීම පිළිබද සායනයේ දී සටහන් පොත තුළ හා වගුවෙහි සදහන් කරන අතර ඒ හරහා දරුවාගේ වර්ධනය පිළිබද නිශ්චිත අදහසකට එළඹිය හැකිය. වර්ධනය පිළිබද යම් ගැටලුවක් ඇත්නම් දරුවාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීමට ද එහි දී කටයුතු කරනු ලැබේ. දරුවා නිසි වර්ධනීය මට්ටම සිටීනම් මාස 6 ඉක්මවන තුරු අමතර කිසිවක් ලබා නොදී මව්කිරිවලින් පමණක් පෝෂණය කළ හැකිය. වර්ධනය බාල දරුවන් සදහා වෛද්‍ය උපදෙස් පිළිපැදිය හැකිය.

මව්කිරි ලබාදීමේ දී ඇතිවන තවත් ගැටලූවක් නම්, රැකියාවල නියුතු මව්වරුන්ට මාස 4න් පසු රැකියාවට වාර්තා කිරීමට සිදුවීම නිසා මව්කිරි දීම අතපසුවීමයි. එහි දී ඉතිරි මාස 2 තුළ දරුවාගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීම පිළිබදව ප‍්‍රායේගික ගැටලුවක් මතු වේ. මේ සදහා විකල්ප කිහිපයක් අනුගමනය කළ හැකිය. එනම්, මවට තම කිරි දොවා තැබිය හැකි නම් දරුවට එම කිරි ලබාදිය හැකියි. පිරිසිදු භාජනයක් තුළ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය යටතේ මව්කිරි ගැටලුවකින් තොරව පැය 6-8 අතර කාලයක් තැබිය හැකියි. එමෙන් ම ශීතකරණය තුළ මව්කිරි පැය 24 පුරා තැබිය හැකි අතර රැකියා ස්ථානයේ දී කිරි දොවා ශීතකරණයේ තබා දරුවාට ලබාදිය හැකියි. මෙය මවගේ පියයුරුවල වියළි බව ඉවත් කිරීමට ද උපකාරී වේ.

දරුවා මාස 4න් පසු අමතර ආහාරවලට යොමු කරන්නේ නම් මව නිවසින් බැහැරව සිටින විට පමණක් අමතර ආහාර ලබාදී නිවසේ සිටින විට දරුවාට මව්කිරි ලබාදිය හැකිය.

තව ද කිරි පැය 2 තුළ දී දරුවාට කිරි ලබාදීමට හැකියාව පවතින අතර, බොහෝ දුරට රැකියා ස්ථානයෙන් ඉල්ලීමක් කර ඒ සදහා අවශ්‍ය කාලය ලබාගැනීමට අවකාශය පවතී.

නිවැරදි කළමනාකරණයක් සහ සැලසුමක් සහිතව ක‍්‍රියා කරන්නේ නම් දරුවාට මාස 6 නොඉක්මවන තුරු මව්කිරි ලබාදීමට හැකියාවක් තිබේ.

දරුවාගේ මූලික වර්ධනය උදෙසා අවශ්‍ය පෝෂණය ලබාදීම පමණක් නොව මව්කිරි හරහා දරුවාට විසබීජ ශරීරගතවීම වළකමින් දරුවාගේ ප‍්‍රතිශක්තිකරණයට ද ඉවහල් වේ. එබැවින් දරුවාගේ ළදරු අවධිය තුළ නිසියාකාරව මව්කිරි ලබාදීම ඉතා වැදගත් වේ.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉෂානි රොද්‍රිගෝ
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ
වෛද්‍ය පීඨය)

සංවාදය – ඉසුරු සුධාරක දිසානායක
සටහන – පියුමිලා අරවින්දි