Health Guide

ඔබේ චලනවලට අභියෝග කරන ඔස්ටියෝ ආතරයිටිස්

ශරීරය සෘජුව තබාගැනීම සහ ශරීරයේ විවිධ චලන සඳහා උපකාරී වන අස්ථි පද්ධතිය

සිරුරට හැඩය ලබාදීමට ද රුධිරාණු සෑදීමට ද අස්ථි පද්ධතිය උපකාරී වේ. මිනිස් ඇටසැකිල්ලේ අස්ථි 206ක් ඇත. ඒවා හැඩය අනුව දිග ඇට, කොට ඇට, පැතලි ඇට යනුවෙන් වර්ග කිහිපයකට බෙදා දැක්විය හැකිය. සිරුරේ චලනය පහසු වන සේ අපගේ ශරීරයේ සන්ධි ගණනාවක් ම ඇත. සන්ධියක් යනු ශරීරයේ අස්ථි දෙකක් මුණගැසෙන ස්ථානයයි. උදාහරණයක් ලෙස දණහිස සන්ධිය සලකමු. පාදයක උඩ බාහුව සහ යටි බාහුව මුණගැසෙන ස්ථානය දණහිස සන්ධිය සේ සැලකේ. එම අස්ථි දෙක හමුවන ස්ථානයේ කාටිලේජ පිහිටා ඇත. කාටිලේජවලට අමතරව සන්ධිය ආශ්‍රිතව මාංශපේශි තන්තු ද පිහිටා ඇත.

සන්ධි ආශ්‍රිතව ආබාධවලට හේතු වන්නේ කාටිලේජවල හෝ මාංශපේශි තන්තුවල ගැටලු ය

බොහෝ විට සන්ධි ආශ්‍රිතව ආබාධවලට හේතු වන්නේ කාටිලේජවල හෝ මාංශපේශි තන්තුවල ඇතිවන ගැටලු ය. එයිනුත් සන්ධි ආශ්‍රිත ආබාධවලට වැඩි වශයෙන් ම හේතු වන්නේ සන්ධි අවට මාංශපේශිවල සහ තන්තුවල ඇදීම් නිසා ඇතිවන තත්ත්වයන් ය. දෙවනුව හේතුව වන්නේ සන්ධි ආශ්‍රිතව ඇති කාටිලේජවල ගෙවීම් ය. ඔස්ටියෝ ආතරයිටිස් කාටිලේජවල ගෙවීම් නිසා ඇති වන රෝගී තත්ත්වයන්ගෙන් ප්‍රධාන ස්ථානයක් ගනියි. ඔස්ටියෝ පොරෝසිස් රෝගයේ දී අස්ථි දිරායාමක් හෝ අස්ථි තුනීවී යාමක් සිදුවන අතර ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ දී සන්ධිවල කාටිලේජවල ක්ෂයවීමක් සිදුවේ. එනිසා මෙම රෝග දෙක එකම රෝගයක් යැයි වරදවා වටහා නොගන්න.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගය බොහෝ විට දණහිස් සන්ධිවල බහුලව ඇති වේ. මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ සන්ධිවල දැනෙන වේදනාවයි. වේදනාව සමඟ සන්ධිවල ඉදිමුම ඇති වේ. ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ගොදුරුවූ විට ඇවිදීමේ දී, සිටගෙන සිටීමේ දී, පඩිපෙළක් නැග යන විට දී වේදනාව වැඩි වේ. එසේම රාත්‍රී කාලයේ දී වේදනාව වැඩිවීමක් සිදුවේ. තව ද බිම ඉඳගෙන නැගිටීම අපහසුවේ. සන්ධිවල හටගන්නා වේදනාව නිසාම ක්‍රම ක්‍රමයෙන් සන්ධිවල චලනය සීමා වේ. ඉන්පසු සන්ධි අවට මාංශ පේශින් දුර්වලවී සිහින්වී යා හැකිය.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවීමට බලපාන හේතු

■ එදිනෙදා ජීවිතයේ දී ප්‍රමාණයට වඩා බර වැඩ කිරීම තුළින් සන්ධිවල ගෙවීමක් හා ක්ෂයවීමක් සිදුවේ.
■ දියවැඩියාව පවතින විට.
■ තයිරොයිඩ් ග්‍රන්ථියේ යම් යම් රෝග තත්ත්වයන් පවතින විට.
■ හෝමෝනවල සංයුතියේ යම් යම් වෙනස්කම් ඇති විට. විශේෂයෙන් අවු 45ට වඩා වැඩි කාන්තාවන්ගේ හෝමෝනවල වෙනස්වීම් බහුලව දක්නට ලැබේ.
■ විවිධ අනතුරුවලින් අස්ථි සහ සන්ධිවලට සිදු වන හානිය නිසා.
■ ව්‍යායාමවල නිරත නොවී අලස ලෙස කාලය ගත කරන විට.
■ අස්ථි පද්ධතියේ උපතින් ම පවතින ව්‍යුහමය වෙනස්කම් නිසා. එනම් දෑත් හා දෙපා ඇදටවී තිබීම හෝ කොටට පිහිටීම.
■ එමෙන්ම අධික බරෙන් යුක්ත අයට ද මෙම රෝගය වැලඳේ.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ රෝග ලක්ෂණ

අත්වල ඇති වන රෝග ලක්ෂණ
■ ඇඟිලිවල ඇති වන වේදනාකාරී බව සහ තද බව.
■ ඇඟිලි තුඩු වෙව්ලීමට පටන්ගැනීම.
■ ඇඟිලි නැවීමට, දිගහැරීමට අපහසුවීම.
■ ඇඟිලි පුරුක් ඉදිමීම.
■ මැණික් කටුව සන්ධිය වේදනාකාරීවීම.

දණහිස්වල ඇති වන රෝග ලක්ෂණ
■ දණහිස් තද බවක් ඇතිවී වේදනාකාරීවී ඉදිමීම.
■ ඉඳ ගැනීමේ දී, නැඟිටීමේ දී දණහිස් වේදනාකාරීවීම.

උකුල් සන්ධිවල ඇති වන රෝග ලක්ෂණ
■ උකුලේ ඇති වන වේදනාව දණහිසටත් ඉන් පහළටත් පැතිර යැම.
■ තට්ටම් සහ දණහිසෙන් ඉහළ කකුලේ ඇතිවන වේදනාව.
■ ඇඟ නැවීමේ සහ දිගහැරීමේ අපහසුව.

කොඳු ඇට පෙළ ඇති වන රෝග ලක්ෂණ
■ බෙල්ලේ සහ කොන්දේ ඇතිවන තද බව සහ වේදනාව.
■ බෙල්ල දෙපසට හැරවීමේ දී ඇතිවන වේදනාව.
■ කොන්ද නැවීමේ දී සහ දිග හැරීමේ දී ඇතිවන වේදනාව.

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණවලින් එකක් හෝ කීපයක් ඔබ සතුව පවතී නම්, වහාම ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු විය යුතුය. ප්‍රතිකාරවලින් තොරව රෝගය දීර්ඝකාලීනව පැවතීමෙන් ඔබ එක්තැන්වීමට පවා හැකිය.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගය සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර

මෙම රෝගයේ දී භෞතචිකිත්සක ප්‍රතිකාර ලෙස කෙටි තරංග ප්‍රතිකාරයත්, සන්ධි අවට මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාමත් ඉතා අවශ්‍ය ය. මෙම ප්‍රතිකාර කිරීමෙන් රෝගියාගේ වේදනාව ඉදිමුම පහවී ගොස් සන්ධිය චලනය කිරීමට පහසු වේ.

මෙම රෝගයට ප්‍රතිකාර නොකර සිටීමෙන් සන්ධිවල නොයෙකුත් විකෘතිතා ඇති වේ. උදාහරණ වශයෙන් ‘හර්බන් නෝඩ්ස්’ සහ ‘බුචාඩ්ස්’ නම් මස් ගැට ඇඟිලි පුරුක් සන්ධිවල ඇති වේ.

ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය ඇති අයට දෙන අවවාද

■ ප්‍රථමයෙන් ශරීරයේ බර වැඩි නම් බර අඩු කර ගත යුතුය. මේ සඳහා ඇවිදීම යෝග්‍ය නොවේ.
■ ව්‍යායාම වශයෙන් බයිසිකලයක් පැදීම සුදුසු ය.
■ තෙල් අඩංගු ආහාර සීමා කළ යුතුය.
■ පමණට වඩා සිටගෙන නොසිටිය යුතුය.
■ පමණට වඩා ඇවිදීම නොකළ යුතුය.
■ පඩිපෙළ නැගීම සීමා කළ යුතුය. නිවසේ පඩිපෙළ ඇත්නම් වැඩකටයුතු සංවිධානය කිරීමෙන් එය නගින වාර ගණන සීමා කර ගත හැකිය.
■ වැසිකිළි යාමේ දී කොමඩ් එකක් භාවිත කළ යුතුය. කොමඞ් නොමැති නම් පරණ වේවැල් කැඩුණු පුටුවක් වැසිකිළියේ තබාගෙන එහි ඉඳගෙන වැසිකිළි යා හැකිය.
■ බිම හිඳගැනීම නොකළ යුතුය.
■ ආගමික ස්ථානයකට යන විට කුඩා, දිගහැරිය හැකි පුටුවක් රැගෙන ගොස් එහි ඉඳගන්න.
■ දණහිස් ගැටෙන බැවින් කිසිම විටක උඩක සිට බිමට පනින වැනි ක්‍රියාකාරකම් නොකළ යුතුය.
■ සන්ධිය අවට පේශීන් ශක්තිමත් කරන ව්‍යායාම කළ යුතුය.
■ පේශින් ශක්තිමත් වන තුරු ඇවිදින විට දණහිසට වෙලුමක් හෝ ගාඞ් එකක් දැමීම සුදුසු ය.

දණහිසේ ඇති ඔස්ටියෝ ආතරයිටිස් සඳහා කළ හැකි ව්‍යායාම

■ උඩුබැලි අතට ඇඳක හාන්සිවී දණහිස දිගහැරගෙන පාදය අංශක 45ක් පමණ ඉහළට ඔසවාගෙන තත්ත්පර 20ක් පමණ දරාගෙන සිට හෙමිහිට පහත් කරන්න.
■ දණහිස යටින් කොට්ටයක් තබා දණහිසෙන් එය තද කරගෙන තත්ත්පර 20ක් පමණ හිඳ බුරුල් කරන්න.
මෙම ව්‍යායාම 2, දිනකට 3 වරක් වරකට 20 බැගින් කිරීමෙන් දණහිස අවට පේශි ශක්තිමත් කළ හැකිය.

වරලත් භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල
(වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක)

සටහන – දිශාන්ති වෙදගේ