Health

උඳුගොව්වා කෑමට සතෙකු සම්බන්ධයිද?

උඳුගොවුවා කෑම යැයි කී සැණින් යමෙකුට මේ කිසියම් සතෙකුගේ සම්බන්ධයක් නිසා හටගන්නා තත්ත්වයකැයි සිතෙන්නට වුවහොත් එය එක්වර ම මුවගට සිනාවක් නංවන අතර ම ඇත්තෙන් ම මේ රෝගයට උඳුගොවුවා කෑම යැයි පවසන්නේ මන්ද යන්න යම් ගැටලූවක් මතු විය හැකියි. සැබවින් ම මෙම තත්ත්වයට කිසිසේත් ම සතෙකුගේ සම්බන්ධයක් නොමැති බව ඔබ මුලින් ම දැනගත යුතු කාරණයක්. එසේ නම් උඳුගොව්වා කෑම ලෙස මේ රෝග තත්ත්වය හඳුන්වන්නට හේතුව කුමක්දැයි ඔබටත් යම් පැනයක් මතුවන්නේ නම් එහි වරදක් නැති තරම්. කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ නොවෙන ගණයේ චර්ම රෝගයක් වූ නමුත් ආරයේ බලපෑමක් ඇති විය හැකි උඳුගොවුවා කෑම හිසකෙස් හැලී යන ස්වභාවය තැනින් තැන සෙ. මි. 1ක පමණ රවුමක ආකාරයෙන්වීම නිසා එහි පෙනුම බැලූ බැල්මට සතෙකු විසින් කා දමන ලද ආකාරයක්වීම මෙයට සිංහල බසින් උඳුගොවුවා කෑම යැයි හඳුන්වන්නට හේතුවක්. නමුත් මෙය චර්ම රෝග අතර හැඳින්වෙන්නේ ඇලොපේසියා (Alopecia Ariyata) යන නමින්. හිසකෙස් හැලී යාම ඕනෑ ම කෙනෙකුට ඇති විය හැකි තත්ත්වයක්. නමුත් මේ රෝගයේ දී හිසකෙස් හැලී යන්නේ අප දන්නා කියන ආකාරයට නොවීම විශේෂත්වයක්. හිස කෙස් අතර සත විසිපහක පමණ රවුම් ප‍්‍රදේශයක මුළුමනින් ම හිසේ සම පෙනෙන ආකාරයට ම හිසකෙස් හැලී යාම මෙහි ප‍්‍රධානත ම ලක්ෂණයයි.

මේ තත්ත්වය අප රටේ වැඩිපුර ම දකින්නට ලැබෙන්නේ අවුරුදු 20ත් 40ත් අතර තරුණ වයසේ පුද්ගලයන්ගේ වන අතර කුඩා දරුවන්ට වුවත් මේ තත්ත්වය ඇතිවෙන්නට හැකි බව අප විසින් අමතක නොකළ යුතුයි. සාමාන්‍යයෙන් හිස කෙස් හැලී යන ආකාරයට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා ඇලොපේසියා නැතිනම් උඳුගොවුවා කෑම යන තත්ත්වයේ දී හිසකෙස් හැලී යන ආකාරය පැහැදිලිව ම දැකිය හැකි නිසා මෙය පිටතින් පහසුවෙන් ම දැකගත හැකි තත්ත්වයක්. මෙවන් ලක්ෂණයක් දුටු වහාම ඔබ ඒ සම්බන්ධයෙන් චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වෙත හෝ සායනයකට යා යුතු ම බව මතක තබාගන්න.

උඳුගොව්වා කෑම යනු සතෙකුගේ සම්බන්ධයක් නැති තත්ත්වයක් නම් මෙය ඇතිවන්නේ කුමන හේතුවක් මතද යන්න දැන් අපට මතුවන ඊළඟ ගැටලූවයි. උඳුගොව්වා කෑමට වගකිව යුතු වන්නේ හිසකෙස් ම බව පැවසුවහොත් ඔබ පුදුමයට පත් වේවි. ඔව්, මෙයට වගකිව යුතුවන්නේ අදාළ පුද්ගලයාගේ ම හිසකෙස්. හිසකෙස් විසින් ම සාදනු ලබන ප‍්‍රතිදේහයක් නිසා අප පෙර කී ආකාරයට කුඩා රවුම් මතුකරමින් හිසකෙස් හැලී යාමක් උඳුගොව්වා කෑම ලෙස හඳුන්වනවා. මිනිස් සිරුරේ රෝම ගැවසෙන ප‍්‍රධානතම අවයවය හිස. නමුත් රැුවුල වැනි සිරුරේ රෝම වැවෙනා අනෙකුත් ස්ථානයන්හි ද ඇති විය හැකියි. එනම් රැුවුල, ඇහිබැම මෙන් ම පිරිමි අයෙකුගේ පපුව හෝ කලාතුරකින් මුළු සිරුරේ ම ද මේ තත්ත්වය දැකිය හැකියි. මේ අනුව උඳුගොවුවා කෑම යනු හිසකෙස් පමණක් නොව රෝම සහිත ඕනෑ ම ස්ථානයක ඇති විය හැකි එම රෝමවලින් ම නිපදවෙනු ලබන ප‍්‍රතිදේහයක් හරහා ඇතිවන තත්ත්වයක් බව ඔබට දැන් පැහැදිලි ඇති. සාමාන්‍යයෙන් සමේ ඇතිවන ආසාදන බොහෝමයක දී සමේ කැසීමක් ඇතිවීම ප‍්‍රධානතම ලක්ෂණයක්. නමුත් මේ තත්ත්වයේ දී එසේ කිසි ම ආකාරයක සම කැසීමක් ඇති නොවීම ද විශේෂයකි.

උඳුගොව්වා කෑම යනු එක් රෝගයක් වුවත් මෙය තවත් රෝග හා සම්බන්ධතාවයන් පැවතිය හැකිය. ලයිකන් ප්ලේනස් රෝගය, ඩවුන්සින්ඩ්‍රොම් මානසික රෝග තත්ත්වය, රක්තයා යැයි ප‍්‍රචලිත සමේ ඇතිවන රෝග තත්ත්වයන් මෙන් ම රුධිරයේ සීනි අධිකවීම හෙවත් දියවැඩියා තත්ත්වය ඇතිවිට දී , සුදුකබර යන තත්ත්වයේ දී, තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ඇතිවන රෝගී තත්ත්වවල දී මේ රෝගය ඇතිවීමට යම් සහයක් ඒ රෝග තත්ත්වයන්වලින් ලද හැකිය. නමුත් එයින් අප පවසනුයේ ඉහත කී අනෙකුත් රෝග තත්ත්වයන් ඇති සැමට ම අනිවාර්යෙන් ම උඳුගොව්වා කෑම ඇතිවන බව නොවේ. එමෙන් ම උඳුගොව්වා කෑම ඇති සෑම අයෙකු ම අනිවාර්යෙන් ඉහත කී රෝගවලට ගොදුරුවීම උඳුගොව්වා රෝගය නිසා ම සිදුවන බව නොවේ. උඳුගොවුවා රෝගය ඇති අයට අනෙකුත් රෝග ඇතිවී තිබිය හැකි සම්භාවිතාව සහ උඳුගොව්වා රෝගය ඇතිවීමට යම් සහයක් ඒ හරහා ලද හැකි බව පමණක් අපි එයින් අදහස් කළෙමු. තත්ත්වය මෙසේ වන අතර උඳුගොව්වා කෑමේ රෝග තත්ත්වයේ ලක්ෂණ ම පෙන්වන වෙනත් රෝග තිබිය හැකිද යන්න අපට සිහිපත්වනු ඇත. ඔව්, සැබවින් ම එයට සමාන රෝග ලක්ෂණ පෙන්වන තවත් රෝග පවතින බව සැබෑවකි. ඒවායින් එකකි දිලීර ආසාදන. දිලීර ආසාදනය ඇති වූ ස්ථානයේ හිසකෙස් රොද වශයෙන් ගැලවී යාම නිසා යම් තරමකට උඳුගොව්වා කෑමේ ලක්ෂණ මතු කරනු ඇති. මේ හැරෙන්නට පවතින තවත් හේතුවකි, හෝර්මෝන වෙනස්වීම හා ලිංගාශ‍්‍රිත රෝග. මේ නිසා රෝග ලක්ෂණ මතු වූ සැණින් යමෙකුට ඒ උඳුගොව්වා කෑම යැයි නිගමනය කළ නොහැකි නමුත් පළපුරුදු චර්ම රෝග විශේෂඥයෙකුට මේ තත්ත්වය පරීක්ෂණවලට පෙර ම හඳුනාගත හැකිය. මේ සම්බන්ධයෙන් අප දැනුම්වත් විය යුතු වැදගත් ම තොරතුරු කීපයකි, උඳුගොව්වා කෑම හැරුණු කොට හිසකෙස් ගැලවී යාමේ අවධානමක් ඇති අනෙකුත් රෝග මොනවාද යන්න. මෙය වඩා වැදගත් වනුයේ උඳුගොව්වා කෑමේ රෝගයට සමාජයේ ඇති බිය හා වැරදි මතවලට ඉඩක් නොදීම සඳහා ය. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට ද මේ තත්ත්වය ඇතිවිය හැකි බව අප ඉහත දී සඳහන් කළෙමු. බොහෝ විට කුඩා දරුවන් තමන් විසින් ම තමන්ගේ කොණ්ඩය ඇද කඩා දැමීමට හුරු පුරුදුව සිටින අතර ම හිස කෙස් තැන් තැන්වල නැතිවීම සහ වඩා දරුණු තත්ත්වයන් ඇතිවන අවස්ථා ද පවතී. පවුලේ යම් අයෙකුට මේ රෝග තත්ත්වය ඇති වී තිබේ නම් සාමාන්‍යයෙන් එම පවුලේ අයගෙන් සියයට විසිපහකට පමණ මේ තත්ත්වය ඇතිවීමේ අවදානමක් පවතී. ඒ ආරයට යාමක් වශයෙන් මිස රෝගියාගෙන් රෝගය අනෙකෙකුට බෝවීමෙන් නොවේ. නියපොතු ඉදිකටු තුඩකින් හිල් කර ඇතිමෙන් දිස්වන අවස්ථාවලදී ද හිසේ පිටුපසින් බෙල්ලට කිට්ටුව කොණ්ඩය අඩු විට දී යන තත්ත්වයන් ඒ කාරණය හා අදාළ විය හැකි බව ද අමතක නොකරමු. කෙසේ නමුත් උඳුගොව්වා කෑමේ රෝගය නිර්ණය කරගන්නට හැකි වෙනත් ක‍්‍රම ද දැන සිටීම ඔබට වැදගත් විය හැකිය. ඒ වෛද්‍යවරයාගේ පරීක්ෂාවට අමතරව. රෝගියාගේ බයොප්සි පරීක්ෂණයක් සිදුකර ඒ හරහා රෝගය කුමක්ද යන්න තීරණය කිරීම කළ හැකියි. නමුත් මෙවන් ලක්ෂණයක් දුටුවහාම ඒ සඳහා අත් බෙහෙත් කරමින් කාලය පසුකරන්නේ නැතිව හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසුම පියවරයි. එයින් රෝගය නිසි ආකාරයෙන් හඳුනාගෙන ප‍්‍රතිකාර සැලසීමට අවස්ථාව උදාවේ.

දැන් අප මේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් පවතින වටිනාම තොරතුරු දෙසට හැරෙමු. රෝගයට ප‍්‍රතිකාර කිරීමේ දී මුලින් ම සලකා බලනු ලබන කරුණු දෙකක් තිබේ. එයින් එකකි, කොතරම් කාලයක් රෝගය පැවතී හිසකෙස් හැලී යමින් තිබුණේද යන්න. දෙවැන්න වනුයේ නැවත හිසකෙස් වැටීමකට ලක්වන්නේ ද යන්නයි. මේ හේතු උඳුගොව්වා කෑම සඳහා ප‍්‍රතිකාර කිරීමේ දී ඉතා විශේෂ ය. මේ සඳහා යොදන ප‍්‍රතිකාර කෙබඳු ස්වරූපයක් ගන්නේ ද යන්න අප දැන් සොයා බලමු. මේ සඳහා ගැල්වීමෙන් සලසන ප‍්‍රතිකාර ලෙස යම් යම් ආලේපනයන් ලබාදෙනු ඇත. ඒ හැරෙන්නට ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය උද්දීපනය කරන ආලේපන වර්ග ද නියම කෙරෙනු ඇති. නමුත් ඉතාමත් දරුණු ලෙද උඳුගොව්වා කෑම ඇති විට ඖෂධ වර්ග කෙළින් ම උඳුගොව්වන් කෑ ස්ථානවලට එන්නත් කරනු ලැබේ. මේ ප‍්‍රතිකාර ද රෝගියාගේ රෝග තත්ත්වයේ ස්වභාවය අනුව වෙනස් විය හැකි බව මතක තබාගන්න. හැම අයෙකුට ම එක ම ඖෂධය මෙහි දී ලබා නොදෙන්නට ඉඩ ඇති අතර රෝගියාගේ රෝගයේ ස්වභාවය අනුව ඒවා වෛද්‍යවරයා විසින් නිගමනය කරනු ඇත. ඇතැමුන් මෙම තත්ත්වයට හුණු සහ සබන් මිශ‍්‍ර කර ආලේප කරන්න යැයි උපදෙස් දෙනු ඇත. විශේෂයෙන් ම අවධාරණය කළ යුතු කරුණක් වනුයේ කිසිසේත් ම එය ගැල්වීම සුදුසු නොවන බවයි. මෙම අත්බෙහෙත හිසේ සම සම්පූර්ණයෙන් පුළුස්සා දමන්නට හේතු විය හැකිය. එහෙයින් කිසි ම ආකාරයකින් එවන් අවිධිමත් ප‍්‍රතිකාර යෙදීමෙන් වළකින්නට වගබලාගන්න. මෙම රෝගයෙන් ආරක්ෂාවීමට පිළියම් තිබේද යන්න දැන් ඔබට ප‍්‍රශ්නයක් මතු විය හැකිය. නැත. එසේ කළින් ආරක්ෂාවීමට ක‍්‍රමයක් නැති අතර මානසිකව ආතතියට පත්වීමෙන් වළකින්න. හිසකෙස් හැලීයාම ගැන අනවශ්‍ය ලෙස වදනොවී ඉක්මන් විධිමත් ප‍්‍රතිකාර වෙත යොමු වෙන්න. ඇතමුන් මේ තත්ත්වය සමනය කරන්නට යැයි සිතා මුළුමනින් ම හිස බූ ගාති. නමුත් එය කිසි ම ආකාරයක පිළියමක් නොවේ.

යසස්වීනී ජයතිලක
උපදෙස් – චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කන්නංගර