Health Guide

මේ දිනවල ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂා වෙන්න

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමගින් ඩෙංගු රෝගය නැවතත් හිස ඔසවා තිබේ. ඩෙංගු රෝගය පැතිරීම වළක්වාගැනීමේ වගකීම අප සතු වේ.

ඩෙංගු යනු වෙරස් උණ රෝගයකි. මෙය මාරන්තික විය හැකියි.

ඩෙංගු රෝගය සාමාන්‍ය ඩෙංගු උණක් ලෙස වැලඳුණහොත් එය සුව කළ හැකි අතරම කම්පන තත්ත්වයට පත්වුවහොත් එය මාරාන්තික විය හැකියි. කම්පන තත්ත්වය ද ආපසු හැරවිය හැකි කම්පන හා ආපසු හැරවිය නොහැකි කම්පන වශයෙන් දෙයාකාර වේ. මෙහි දී ආපසු හැරවිය හැකි කම්පන තත්ත්වයක දී රෝගියා හොඳ සිහියෙන් සාමාන්‍ය පරිදි කතාබහ කරමින් සිටියත් රෝගියා මරණයට පත් වේ.

ඩෙංගු රෝගයට මෙතෙක් ඖෂධ සොයාගෙන නොමැති අතර අතර දියර පාලනය මගින් රෝගය සුව කළ හැකියි.

ඩෙංගු රෝගයට හේතු වන වෛරසය පැතිරෙන්නේ මනුෂ්‍යයෙකුගෙන් තවත් මනුෂ්‍යයෙකුට. එහි දී රෝග වාහකයා බවට පත් වන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවන් ය. මෙම මදුරුවන්ගේ බෝවීම පාලනය කිරීම මගින් රෝගය පැතිරීම පාලනය කළ හැකියි.

මෙම මදුරුවන් පිරිසිදු වතුරේ බෝ වේ. පිරිසිදු වතුර ඇති කුඩා ඉඩකඩක වුව ද මෙම මදුරුවන් බිත්තර දමනු ලබයි. උදාහරණයක් ලෙස පොලිතින් කැබැල්ලක රැඳී ඇති කුඩා වතුර බින්දු දෙකක පමණ වතුර ප‍්‍රමාණයක වුව ද මෙම මදුරුවන් බෝවීමට ඉඩ තිබේ. ඒ අනුව මදුරුවන් බෝ වන මෙවැනි ස්ථාන නැති කිරීමෙන් ඩෙංගු රෝගය වළක්වාගත හැකියි.

එමෙන් ම දුමායනය කිරීම මගින් ද මදුරුවන් බෝවීම පාලනය කරනු ලබයි. මෙහි දී ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන ප‍්‍රදේශවල විශේෂයෙන් ම දුමායනය කටයුතු සිදු කිරීමට මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාල කටයුතු කරනු ලබයි.

ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ හා එහි ස්භාවය පිළිබඳව ද දැනුවත් වී සිටීම ඉතාමත් වැදගත් වේ. මෙහි දී උණ, හිසරදය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. එමෙන් ම උණ සමගින් තදබල ඇඟපත වේදනාවක් ද ඇති වේ.

එහි දී උණ රෝගය වැලඳුණු විට එය ඩෙංගු රෝගයද නැද්ද යන්න සැකහැර දැනගන්නා තෙක් පැරසිටමෝල් වේදනානාශකය හැරුණු විට වෙනත් ඖෂධ ලබා නොදිය යුතුයි. සාමාන්‍ය උණ රෝගය යැයි සලකා ලබාදෙන ඇතැම් ඖෂධ හේතුවෙන් රුධිර පට්ටිකා අඩුවීම, ලේ හැලීම සිදුවිය හැකියි.

ඩෙංගු රෝගියා කම්පන තත්ත්වයට පැමිණි විට මුත‍්‍රා පිටවීම අඩුවීම, වකුගඩු අක‍්‍රියවීම ආදිය සිදු වේ.

ඩෙංගු රෝගීන්ට වතුරවලට වඩා කැඳ වර්ග ලබාදීම වැදගත් වේ.

ඇතැම්දෙනා තුළ පවතින මතයක් වන්නේ ගස්ලබු කොළ තැම්බූ වතුර ලබාදීමෙන් ඩෙංගු රෝගය සුව කර ගත හැකි බවයි. නමුත් මෙම මතය විද්‍යාත්මකව ඔප්පු කර නොමැත.

යම් අයෙකුට ඩෙංගු රෝගය වැල`දී ඇතිදැයි නිශ්චිත ලෙස දැනගැනීමට පරීක්ෂණ දෙකක් සිදු කරනු ලබයි. ඉන් පළමුවැන්න උණ රෝගය වැලඳී පළමු දින දෙක ඇතුළත NS1 පරීක්ෂණය සිදුකරනු ලබන අතර එම පරීක්ෂණය මගින් ධනාත්මක බලපෑමක් ඇතිකරනු ලබයි නම් ඩෙංගු වෛරසය ඇති බවට සහතික කරගනී.

මෙමගින් සිදු කරනු ලබන්නේ වෛරසය ඇත්දැයි සොයාබැලීමයි. දින තුනකට පසුව Igm පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව එම පරීක්ෂණයේ බලපෑමත් ධනාත්මක වුවහොත් ඩෙංගු රෝගය සෑදි ඇති බවට සැකහැර දැනගත හැකිය.

ඩෙංගු රෝගය වළක්වාගැනීමට හැක්කේ ඩෙංගු මදුරුවාගේ බෝවීම පලනය කිරීම මගිනි. ඒ අනුව අවට පරිසරය පිරිසිදුව තබාගැනීම කෙරෙහි ඔබේ නිරතුරු අවධානය යොමුවිය යුතුය.

වෛද්‍ය එම්. ඉසඩ්. ඒ. අශීෂ්
(සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි – රඹුක්කන*

සටහන – නදීරා අමරසිංහ