Beauty

බෙහෙත් නෙල්ලිවලින් ලස්සන වෙමු

බෙහෙත් නෙල්ලි සංස්කෘතික භාෂාවෙන් “අම්ලා”, “ආම්ලා”, “ධාත්‍රි” යන නම්වලින් හඳුන්වනු ලබයි. ධාත්‍රි යන සංස්කෘතික වචනයෙහි අර්ථය කිරි මව යන්න ය. දරුවෙකු මව්කිරිවලින් පෝෂණය වන්නේ යම්සේද, බෙහෙත් නෙල්ලිවලට මිනිසාව තරුණබවින් පෝෂණය කළ හැකිය. තරුණ බව රකින ප්‍රධානතම ඔසුවක් ලෙස බෙහෙත් නෙල්ලි හැඳින්විය හැකිය. රස පහක් ඇති එකම පලතුර බෙහෙත් නෙල්ලි ය. එම නිසා බෙහෙත් නෙල්ලි “පංච රස” යන සංස්කෘතික නාමයෙන් ද හඳුන්වයි.

බෙහෙත් නෙල්ලි තුළ විටමින් A, B, B2, B3, B5, B6, B12, C, E අන්තර්ගත වන අතර කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් වැනි ඛනිජ ලවණ ද අන්තර්ගත ය.

බෙහෙත් නෙල්ලි යනු ආසියානු රටවල් කිහිපයක වැඩෙන ශාකයකි. අතිශය ඇඹුල් පෝෂ්‍යදායි පලතුරකි. බෙහෙත් නෙල්ලි ඉන්දියාවේ වැසියන් පූජනීය ශාකයක් සේ සලකනු ලබයි.

බෙහෙත් නෙල්ලි ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කර ඔබගේ නිරෝගිභාවය ආරක්ෂා කරයි. බෙහෙත් නෙල්ලි තුළ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වන විටමින් C හා A අන්තර්ගත ය.

තව ද පොලිපෙටෝල් (polyphenols), ඇල්කොයිඩ්ස් (Alkoids), ක්වෙරෙක්ටීන් (quercetin) සහ කෙව්ප්ෆෙරෝල් (kaempferos) ෆ්ලේවනොයිඩ් (flavonoids) අඩංගු වේ.මෙම සංඝටක ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වේ.

බෙහෙත් නෙල්ලී දියවැඩීයාව පාලනය කරනු ලබයි. බෙහෙත් නෙල්ලි තුළ ක්‍රෝමියම් (chromiun) අඩංගු ය. එය ඉන්සියුලින් ස්‍රාවය කරන හුදකලා සෛල සමූහයක් උත්තේජනය කරන අතර එමගින් දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු වූ විට ග්ලූකෝස් සෛල ක්‍රියාකාරී ශක්තියක් යොදා භාවිත කරයි.

බෙහෙත් නෙල්ලි තන්තු බහුල පලතුරකි. තන්තු සහිත ආහාර වල බද්ධය වළකයි. ආහාර ජීර්ණය පහසු කරයි. පෝෂ්‍ය පදාර්ථ ප්‍රශස්ථ ලෙස සිරුරට අවශෝෂණය කර ගැනීමට උපකාරී වේ. තව ද මහ බඩවැලේ පිළිකා සෑදීම අවම කරයි.

බෙහෙත් නෙල්ලි හෘද රෝග වළක්වන බව ඔබ නොදන්නවා විය හැකියි. නෙල්ලි කුඩු හෘද පේශී ශක්තිමත් කරයි. එම නිසා රුධිර සංසරණය ක්‍රමවත්ව ශරීරය පුරා සිදු වේ. නෙල්ලි තුළ අන්තර්ගත ක්‍රෝමියම් (chromium) ධමනි සිහින්වීම වළකයි. නෙල්ලි තුළ අන්තර්ගත යකඩ නව රතු රුධිරාණු නිර්මාණය කරයි. එම නිසා පටකවල වර්ධනය සහ පුනර්ජනනය ඇති කරයි.

බෙහෙත් නෙල්ලි හිසකෙස් වර්ධනය කිරීමට උපකාරී වේ. නෙල්ලි තුළ අන්තර්ගත කැල්සියම්, යකඩ, සින්ක්, විටමින් C, E හිසකෙස් වර්ධනය කරයි. කෙස් මුල ශක්තිමත් කර කෙස් ළංව, ඝනව වැඩීමට උපකාරී වේ. තව ද හිසකෙස් පැසීම පාලනය කරනු ලබයි.

බෙහෙත් නෙල්ලි තුළ අන්තර්ගත විටමින් C ඔබේ තරුණ බව ආරක්ෂා කරයි. සමෙහි රැලි වැටීම් අවම කර ඔබේ පෙනුම ආරක්ෂා කරයි.

බෙහෙත් නෙල්ලි තුළ විටමින් A අන්තර්ගතයි. විටමින් A ඇස් පෙනීම දියුණු කරයි. ඇසෙහි ආතතිය අවම කරයි.

බෙහෙත් නෙල්ලි තුළ ක්වෙරෙක්ටීන් (quercetin), ගාලික් අම්ලය (Gallic acid), කොරීලජීන් (corilagin) සහ එලාජීක් අම්ලය (ellagic acid) වැනි ෆයිටොකෙමිකල්ස් (phytochemicals) අන්තර්ගත ය. මෙම සංඝටක අක්මාව හිතවත්ව ක්‍රියාකර අක්මා රෝගවලින් ඔබව ආරක්ෂා කරනු ලබයි.

ඉහෙත් නෙල්ලිවල පොලිපෙනෝල් (polyphenols), ෆ්ලේවනොයිඩ් (flavonoids) යන ටැනින් (tannins) අන්තර්ගත ය. මෙම සංඝටක ගැබ්ගෙල පිළිකා, ඩිම්බකෝෂ පිළිකා ඇතිවීම අවම කරයි.

බෙහෙත් නෙල්ලි තුළ අඩංගු විටමින් හා ඛනිජ ලවණ ඔසප් වේදනාව අඩු කිරීමට ද උපකාරී වේ.

තරුණ බව ආරක්ෂා කර ගැනීම සඳහා

■ නෙල්ලි කුඩු මේස හැඳි 01ක්
නෙල්ලි යුෂ මේස හැඳි 01ක්
මී පැණි බිංදු 03ක්
මිශ්‍රකර උදේ සවස ආහාරයට ගෙන පසුව ෆ්‍රෙෂ් මිල්ක් හෝ එළකිරී වීදුරුවක් පානය කිරීම.
■ එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් වීදුරුවකට නෙල්ලි කුඩු මේස හැඳි 01ක් දමා මිශ්‍ර කර උදේ හවස පානය කිරීම.
■ නෙල්ලි කුඩු හෝ වියළි නෙල්ලි ගෙඩි තම්බා පානය කිරීම.
■ අමු නෙල්ලි යුෂ පානය කිරීම
■ නෙල්ලි භාවිත කොට නිපදවන ච්‍යවක ප්‍රාශාව කල්කය උදේ සවස තේ හැඳි 02ක ප්‍රමාණය කා කිරි වීදුරුවක් පානය කිරීම.

හිස් හොරි සඳහා

■ අමු බෙහෙත් නෙල්ලි ගෙඩි 10ක්
උලුහාල් මේස හැඳි 02ක්
මෙම ද්‍රව්‍ය තම්බා බ්ලෙන්ඩර් කර පසුව පිරිසිදු වතුරින් සෝදා හරින්න.
■ අමු බෙහෙත් නෙල්ලි ගෙඩි 10ක්
දෙහි යුෂ මේස හැඳි 02ක්
අමු නෙල්ලි ඇට ඉවත් කර බ්ලෙන්ඞ් කර එයට දෙහි යුෂ දමා නෑමට පැයකට පෙර හිසේ ආලේප කරන්න.

දීප්තිමත් හිසකෙස් සඳහා

■ අමු බෙහෙත් නෙල්ලි ගෙඩි 10ක්
වර්ජීන් කොකොනට් ඔයිල් මේස හැඳි 01ක්
බෙහෙත් නෙල්ලිවල ඇට ඉවත් කර බ්ලෙන්ඞ් කර එයට වර්ජීන් කොකොනට් ඔයිල් දමා නෑමට පැයකට පෙර හිසේ ආලේප කරන්න.
■ අමු බෙහෙත් නෙල්ලි ගෙඩි 10ක්
පිරිසිදු පොල් රා විනාකිරි මේස හැඳි 01ක්
බෙහෙත් නෙල්ලිවල ඇට ඉවත් කර බ්ලෙන්ඞ් කර එයට විනාකිරි දමා හිසේ ආලේප කරන්න.

සමෙහි පැහැපත් බවට

■ අමු බෙහෙත් නෙල්ලි යුෂ මේස හැඳි 08ක්
සහල් පිටි මේස හැඳි 02ක්
මී පැණි බිංදු 08ක්
මිශ්‍ර කර මුහුනේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.
■ අමු බෙහෙත් නෙල්ලි යුෂ මේස හැදි 08ක්
කඩල පිටි මේස හැදි 02ක්
දොඩම් යුෂ මේස හැදි 01ක්
මිශ්‍ර කර මුහුනේ ආලේප කරන්න.

සමෙහි තරුණ බවට

■ බෙහෙත් නෙල්ලි කුඩු මේස හැඳි 02ක්
අමු බෙහෙත් ගෙල්ලි යුෂ මේස හැඳි 01ක්
බිත්තර සුදු මදය 01ක්
මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.
■ බෙහෙත් නෙල්ලි කුඩු මේස හැඳි 02ක්
මී පැණි හැඳි 01ක්
ෆ්‍රෙෂ් මිල්ක් හෝ එලකිරි මේස හැඳි 01ක්
මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.

ඇස් වටා රැලි ඇතිවීම වැළැක්වීමට

■ බෙහෙත් නෙල්ලි කුඩු මේස හැඳි 02ක්
මී පැණි මේස හැඳි 01ක්
මිශ්‍ර කර ඇස් වටා ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

ආචාර්ය, වෛද්‍ය භූෂණ මහේෂ් අතුරලිය
(ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද රූපලාවණ්‍ය ග්‍රන්ථ රචක)