Beauty

හිරු එළියෙන් පිළිස්සුණු සමට ආයුර්වේද රූපලාවණ්‍ය සත්කාර

හිරු එළිය තුළ මිනිස් සිරුරට අහිතකර පාරජම්බූල කිරණ වර්ග තුනක් පවතී. පාරජම්බූල කරණ ඉංග්‍රීසි භාෂාවෙන් අල්ට්‍රා වයලට් රේස් යනුවෙන් හඳුන්වයි. (Ultra violet rays) අල්ට්‍රා වයලට් කිරණ UV කිරණ යන කෙටි නාමයෙන් ද හඳුන්වනු ලබයි.

හිරු එළියේ පවතින විෂ සහිත UV කිරණ
1. UV A හෙවත් අල්ට්‍රා වයලට් A
2. UV B හෙවත් අල්ට්‍රා වයලට් B
3. UV C හෙවත් අල්ට්‍රා වයලට් C
මෙම කිරණ වර්ග තුනෙන් UV A සහ UV B සම තුළට ගමන් කර හානි සිදුකරයි. UV C කිරණය හානිකර වුවත් එම කිරණයට ඕසෝන් ස්ථරය හරහා ගමන් කිරීමට නොහැකි නිසා පෘථිවියේ මිනිස්, සත්ත්ව හෝ ශාකයන්ට එමගින් කිසිදු බලපෑමක් ඇති නොවේ.

පාරජම්බූල කිරණ හෙවත් UV A සහ UV B කිරණවලට ඕසෝන් ස්ථරය හරහා ගමන් කිරීමට හැකි නිසා එම කිරණ වර්ග දෙකම මිනිසාට හානි සිදුකරනු ලබයි.

UV A කිරණය අපිචර්මය ආවරණය වී ඇති සෛල තට්ටු 5 හරහා චර්මය දක්වා ම ගමන් කොට අපිචර්මයට හා චර්මයට හානි සිදුකරයි.

UV B කිරණ අපිචර්මයේ සෛල තට්ටු 5 දක්වා ගමන්කොට අපිචර්මයේ සෛල ස්ථර 5ට ම හානි සිදුකරයි.

හිරු එළියෙන් මිනිස් සමට සිදුවන හානි
1. සන්බර්න් පළමු මට්ටම (Sunburn First Stage)
අධික හිරු එළයට නිවාරණයවීම නිසා සමෙහි මතුපිට සෛල ස්ථිර පමණක් පිළිස්සීම මෙම නමින් හඳුන්වනු ලබේ. මෙම තත්ත්වය පළමු මට්ටමේ පිළිස්සීම් යනුවෙන් ද හඳුන්වනු ලබයි. මෙහිදී සමෙහි රතු පැහැය වර්ධනය වේ.
2. සන්බර්න් දෙවන මට්ටම (Sunburn Second Stage)
අධික හිරු එළිය සමෙහි පටක හා ස්නායු දක්වා ගමන්කොට සමෙහි පටක හා ස්නායුවලට හානි කිරීම මෙම නමින් හඳුන්වනු ලැබේ. සමෙහි රතු පැහැය සමෙහි දැවිල්ල, සමෙහි බිබිලි හටගනී.
3. සමෙහි රැලි හටගැනීම (Wrinkles)
සමෙහි DNA අණුවලට UVA සහ UVB කිරණ හානි පමුණුවයි. මෙම හේතුව නිසා සමෙහි රැලි හටගනී.
4. පිග්මන්ටේෂන්
සූර්යයාගේ පාරජම්බූල කිරණ මගින් සමේ අක්‍රමවත් වර්ණක සෛල ඇති විය හැකිය. මෙම නිසා සමෙහි පැහැය දුර්වර්ණ වේ.
5. ෆ්‍රෙකලිස්
කෙටිකාලීනව හිරු එළයට භාජනයවීම නිසා සමෙහි දුඹුරු පැහැ ලප කුඩාවට ඇතිවේ. එය මෙම නමින් හඳුන්වනු ලබයි.
6. මෙලස්මා (Melasma)
මෙලස්මා ක්ලෝස්මා යනුවෙන් ද හඳුන්වනු ලබයි. මෙහිදී නාසය හෝ නළල මත දුඹුරු පැහයෙන් පැල්ලම් ඇතිවේ.
7. වයස ලප Age Spots (Solar lentigines)
හිරු එළියට නිරාවරණය වන ප්‍රදේශවල එනම් මුහුණ, අත්, බෙල්ල තුළ දක්නට ලැබෙන ලප මෙම නමින් හඳුන්වයි.
8. ඇක්ටිනික් කෙරටෝයිස් Actinic Kerotosis
අධිකව හිරු එළියට නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස කොර පොතු ආකාරයට සමෙහි ඇතිවන ලප මෙම නමින් හඳුන්වනු ලබයි.
9. ඇක්ටිනික් ක්ලයිට්ස් Actinic Cheilitis (farmer’s lip)
අධික හිරු එළියට නිවාරණයවීම නිසා තොල් මත කොරපොතු වැනි පැල්ලම් ඇතිවීම මෙම නමින් හඳුන්වයි.
10. චතුස්රාකාර සෛල පිළිකා Squamous Cell Carcinoma
සමෙහි පිළිකා වර්ගයක් වන මෙම තත්ත්වය හිස, මුහුණ, තොල්, කන් සහ අත්වල හටගනී.

හිරු එළියෙන් ආරක්ෂාවීමට
උදෑසන 9 සිට 4 දක්වා පවතින තද හිරු එළියෙන් ආරක්ෂාවීමට හා හානිය අවම කරගැනීම පහත ක්‍රමවේදයන් අනුගමනය කරන්න.
1. අව්වෙන් ආරක්ෂාවීමට කුඩයක් හෝ හිස්වැස්මක් භාවිත කරන්න.
2. හිරු එළියට සංවේදී වන සංවේදී සමක් ඇත්නම් ශරීර අවාරණය වන සේ ඇඳුම් අඳින්න.
3. හිරු ආවරණ ක්‍රීම් හෙවත් සන් ස්ක්‍රින් ක්‍රීම් එකක් භාවිතා කරන්න. මෙහිදී SPF අගය 15ට වැඩි ආලේපනයක් තෝරාගත යුතු අතර පැය 2කට වරක්වත් ආලේප කළ යුතුය.
4. ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින්නන් SPF 15 අගය අඩංගු ආලේපන භාවිත කළ යුතුය.
5. ප්‍රමිතියෙන් යුතු අව්කණ්ණාඩි පැලඳීම.

සත්කාර
1. කෝමාරිකා සාරය දිනපතා මුහුණේ, අත් හා පාදවල අවස්ථානුකූලව ශරීරයේ ආලේපය.
2. සැවැන්දරා මුල් කුඩු මේස හැඳි 6
එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 6
මී පැණි බිංදු 8
මිශ්‍ර කර මුහුණේ හා අත් හා පාදවල ආලේපය.
3. වැල් මී කුඩු මේස හැඳි 6
එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 6
මී පැණි බිංදු 8
එකට මිශ්‍ර කර මුහුණේ, අත් හා පාදවල ආලේපය.
4. කුංකුමාදී තෙල ආලේපය.
5. පිණ්ඩ තෙල අලේපය.
6. වර්ජින් කොකනට් ඔයිල් ආලේපය.
7. පිපිඥ්ඥා යුෂ මේස හැඳි 3
කොමඩු යුෂ මේස හැඳි 3
එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 6
මී පැණි බිංදු 8
මිශ්‍ර කර ආලේපය.

ආචාර්ය, වෛද්‍ය භූෂණ මහේෂ් අතුරලිය
(ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද රූපලාවණ්‍ය ග්‍රන්ථ රචක)