Beauty

ඕට්ස්වලින් ලස්සන වෙමු

ක‍්‍රි. ව. 200 දී පමණ ස්කැන්ඩිනේවියානු සහ පෝලන්ත ගොවීන් ඕට්ස් තිරිගුවලට වඩා හොද බව වටහාගන්නා තෙක් පුරාණ තිරිගු සහ බාර්ලි ගොවීන් ඕට්ස් කරදරයක් ලෙස සැලකූහ. එතැන් පටන් ඕට්ස් රෝමානු අධිරාජ්‍යය, මහා බි‍්‍රතාන්‍ය සහ දැන් උතුරු ඇමරිකාව පුරා ජනප‍්‍රිය විය.

ඕට්ස් නිවුඩ්ඩ සෑදී ඇත්තේ ඕට් බීජවල පිටත කවචයෙන් පමණි. මෙම පිටත කවචයේ තන්තු ප්‍රෝටීන් සහ යකඩ මෙන් ම මැග්නීසියම්, තයමින්, ෆෝලේට් සහ පැන්ටොතනික් අම්ලය, විටමින් A, C, D පොස්පරස්, මැංගනීස්, සින්ක් සහ තඹ වැනි ප‍්‍රධාන ඛනිජ ලවණ අඩංගු වේ.

ඕට්ස්වල අන්තර්ගත මෙම සංඝටක හිස් කබල ශක්තිමත් කිරීමට හා හිසකෙස් ශක්තිමත් කිරීමට උපකාරී වේ.

කැසීම සමනය කිරීමේ හැකියාව ගැන ඖෂධවේදීන් සහ ගෘහණියන්ගේ පැසසුමට ලක්වූ ඕට්ස් සමේ ph අගය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම, දැවිල්ල අඩු කිරීමට සහ වියළි සමට තෙතමනය ලබාදීමට උපකාරී වේ.

ඕට්ස් සපොනින්වලින් පොහොසත්වන අතර ස්වභාවිකව සම පිරිසිදු කරන බීටා-ග්ලූකන් සමෙහි තෙතමනය රදවාගැනීමට උපාකරී වන අතර පරිසරයේ පවතින කාබන්, දුහුවිලි අංශුවලින් සම ආරක්ෂා කරයි. තව ද හානියට පත් හිසකෙස් අලුත්වැඩියා කිරීම උපකාරී වන ඔමේගා 6 මේද අම්ලයෙන් ඕට්ස් පොහොසත් ය.

ඕට්ස් ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරකයකි. ඕට්ස් තුළ ඇවෙන්ට‍්‍රාමයිඩ් සංඝටකය අන්තර්ගත වේ. නයිටි‍්‍රක් ඔක්සයිඩ් නිෂ්පාදනය වැඩි කිරීමෙන් රුධිර පීඩනය අඩු කිරීමට ඇවෙන්ට‍්‍රාමයිඞ් උපකාරී වේ.
ඕට්ස්වල බීටා-ග්ලූකන් විශාල ප‍්‍රමාණයක් අඩංගු වන අතර එය ද්‍රාව්‍ය තන්තු වර්ගයකි. බීටා-ග්ලූකන් අර්ධ වශයෙන් ජලයේ දිය වී බඩවැල්වල ජෙලි වැනි සංඝටකයක් නිපදවයි.

මෙම බීටා-ග්ලූකන් ආහාර ජීර්ණ පද්ධතියේ හොද බැක්ටීරියා වර්ධනය කිරීමට උපකාරී වේ. තව ද මෙම සංඝටකය කොලෙස්ටරෝල් සහ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමටත් උපකාරී වන බව ඔබ දන්නවාද?

වයස අවුරුදු 6ට පෙර ළදරුවන්ට ඕට්ස් ලබාදීමෙන් ළමා ඇදුම සෑදීම අවම කරන බව පර්යේෂණවලින් සනාථ කර ඇත.
ඕට්ස්වල තන්තු බහුලව අන්තර්ගත නිසා මල බද්ධය සමනය කිරීමට එම තන්තු උපකාරී වේ.

සමෙහි සිනිදු බවට
ඕට්ස් මේස හැදි 04
ජලය මේස හැදි 04
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

තරුණභාවය ආරක්ෂා කිරීමට, සමෙහි වියළි ගතිය නැති කිරීම හා සංවේදී සමට ෆේස්පැක්
ඕට්ස් මේස හැදි 04
ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 02
මී පැණි මේස හැදි 01
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

කැළැල් සහිත සමට
ඕට්ස් මේස හැදි 04
යෝගට් මේස හැදි 01
මී පැණි බිංදු 08
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

කුරුළෑ සහිත සමට

ඕට්ස් මේස හැදි 04
බිත්තර සුදු මද 01
දොඩම් යුෂ මේස හැදි 01
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කරන්න.

වියළි සමට
ඕට්ස් මේස හැදි 04
මී පැණි මේස හැදි 02
වර්ජින් කොකනට් ඔයිල් තේ හැදි 01
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

තෙල් සහිත සමට
ඕට්ස් මේස හැදි 04
දොඩම් යුෂ මේස හැදි 04
මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කට පසු පිරිසිදු වතුරින් සෝදා හරින්න.

නිරෝගිමත් කෙස් කළඹකට
ඕට්ස් මේස හැදි 06
බිත්තර සුදු මද 01
දෙහි යුෂ බිංදු 08
මිශ‍්‍ර කර හිස්කබලේ ආලේප කර පැයකට පසු ස්නානය කරන්න.

ඕට්ස් මේස හැදි 06
විනාකිරි තේ හැදි 01
මිශ‍්‍ර කර හිස් කබලේ ආලේප කර පැයකට පසු ස්නානය කරන්න.

හිස්හොරි සදහා
ඕට්ස් මේස හැදි 06
වර්ජින් කොකනට් ඔයිල් මේස හැදි 04
මිශ‍්‍ර කර හිස් කබලේ ආලේප කර විනාඩි 30කට පසු ස්නානය කරන්න.

ඕට්ස් මේස හැදි 06
තල තෙල් මේස හැදි 04
දොඩම් යුෂ මේස හැදි 01
මිශ‍්‍ර කර තබා නෑමට විනාඩි 30කට පසු ස්නානය කරන්න.

ඕට්ස් මේස හැදි 06
එරඹු තෙල් මේස හැදි 04
මිශ‍්‍ර කර නෑමට විනාඩි 30කට පසු ස්නානය කරන්න.

ආචාර්ය, වෛද්‍ය භූෂණ මහේෂ් අතුරලිය
(ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ආයුර්වේද
රූපලාවණ්‍ය ග‍්‍රන්ථ රචක)