Health Guide

වේදනා කැක්කුම් ගැන ඔබත් බියෙන්ද?

සිරුරේ කොතැනක හෝ වේදනාවක් කැක්කුමක් ඇති වුණා ම ඒක මානසික වශයෙන් ද බලපානු ලබන තත්ත්වයක් බව අප කවුරුත් දන්නා කාරණයක්. කොයිතරම් ඒ වේදනාව අමතක කර වැඩ කරන්නට උත්සහ ගත්තත් එය අසාර්ථකවී වේදනාව මානසික වශයෙන් ද තීව්‍රතාවක් ඇති වුවහොත් එය පුදුමයට කාරණයක් නෙවෙයි. එයට හේතුව ඇතමුන්ගේ මානසික මට්ටම සහ දරාගැනීමේ හැකියාව එකිනෙකට වෙනස් නිසයි. සමහරෙකුට ඉතා ම කුඩා වේදනාවක් පවා දරා සිටිය නොහැකි අතර ඇතමුන්ට එය මනාව දරා සිටීමේ හැකියාවක් පවතී. කෙසේ නමුත් වේදනාව සහ කැක්කුම කුමක් වුවත් එය වැඩි අවධානයක් යොමු කර සොයා බැලිය යුත්තක්. පවතින වේදනාව සුළු එකක් නම් බොහෝදෙනෙකු විසින් එය අමතක කර දැමීම සුලභ තත්ත්වයක්. උදාහරණයක් ලෙස අප යටි පතුලේ යමක් ඇනුණ පසු එය පතුල බිම තබන විට දැනෙන්නේ සුළු වේදනාවක් නම් එය නොසලකා හරින්නට පළුවන. මෙවන් තත්ත්වයක් දියවැඩියා රෝගියෙකුට ඇතිවුවහොත් ප්‍රතිඵලය බොහෝ භයානකවීම තුළින් ඇතැම් විට පාදයක්, අතක් ඉවත් කිරීම දක්වාවූ සංකූලතා මතුකරවිය හැකිය. එසේ වනුයේ සමහර විට දියවැඩියාව නිසා ස්නායුවලට හානි පැමිණෙමින් පවතින අවධියක මේ ආකාරයට යම් ආගන්තුක ද්‍රව්‍යයක් සම සිදුරු කරමින් ඇමිනී ගියහොත් යම් ආකාරයකට ඒ සිදුර තුළට දූවිලි කුණු ඇතුළු වුවහොත් ආගන්තුක ද්‍රව්‍ය රැඳී පවතින ප්‍රදේශය බැක්ටීරියා ආසාදනවලට ලක්වී කඩිනමින් පැසවීම් ඇතිකර තුවාලය විශාල මට්ටමට ගෙන ඒමට කටයතු යෙදෙන බැවිනි. මෙහි අවාසනාවන්ත ම සිදුවීම වනුයේ රෝගියාට පතුලේ තුවාලයක් ඇති බව නොදැනී තිබීමයි. එම නිසා තුවාලය උත්සන්න අවස්ථාවට පත්වූ විට ඇතැම් අවස්ථාවල දී පාදය ඉවත් කරන්නට පවා සිදු විය හැකිය.

දැන් අපි වේදනා කැක්කුම් ඇතිකරන වෙනත් හේතු ගැන විමසා බලමු. වේදනා කැක්කුම ඇතැම් විට නුහුරු ඉරියව් නිසාද ඇති වෙයි. බොහෝ විට සන්ධි ආසන්නයේ ඇතිවන ආතති එනම් වැරදි ආකාරයට අත පය හැසිරවීම නිසා ඒ සන්ධිි ආශ්‍රිත මාංශ පේශී මෙන්ම ඒ ආශ්‍රිත පටක ඉරී යාමකට ලක් විය හැකිය. එසේ වූ විට ඒ ආශ්‍රිතව දියර එක් රැස්වීමෙන් ඉදිමුම සමග වේදනාවක් ඇතිවිය හැකිය. සමහරෙකුට දින දෙකක් පමණ ඇවෑමෙන් ඉදිමුම සමග බාහිර සම රත් පැහැ ගැනීම සමග උණ ඇති විය හැකිය. මෙවන් අවස්ථාවල දී ඇතමුන් එය උලුක්කුවක් ලෙස හඳුන්වා උණු වතුරෙන් තැවීම, විවිධ තෙල් වර්ග ගැල්වීම, බාම් වර්ග තැවරීම, සිදුකරන අතර එයින් සමහර පේශී තව තවත් ඉරී යාම කැක්කුම දෙගුණ තෙගුණ කරනු ඇත. මෙවන් අවස්ථාවක දී නිසි ආකාරයෙන් අදාළ අවයව සීරුවෙන් තබා ප්‍රතිකාර නොකළහොත් මේ වේදනාවන් කල් පැවතෙන තත්ත්වයක් දක්වා දිගු විය හැකිය. මේ නිසා කිසියම් වැඩක නිරතවීමේ දී නුහුරට අත පය මෙහෙයවීම එවන් අවස්ථාවන්ට ඔබ වෙත එන්නට කරනා ආරාධනයක් බව සිහි තබාගන්න. එමෙන්ම විවිධ කොළ වර්ග ආදිය හිතුමතයට කොටා ඒ ඉස්ම ගැල්වීම ආදියෙන් සමහර විට සම ආසාදනයවී තුවාල ඇතිවීමට ඉඩ තිබේ. මෙම තුවාල ද නිසි ලෙස පිරිසුදු කොට බෙහෙත් ගැල්විය යුතු අතර ඒවා හොදින් පිරිසුදු කිරීමටත් විසබීජ ඇතුළුවීමට ඉඩ නොලැබෙන ලෙස හා තුවාල පවිත්‍රව තබාගත යුතුය.

බොහෝදෙනෙකු පැමිණිලි කරන වේදනා කැක්කුම් අතර බහුල දෙයකි කොන්ද කැක්කුම. කොන්ද කැක්කුම් සඳහා හැමවිටම බලපානු ලබන්නේ ශරීර අභ්‍යත්තරයේ ඇති රෝගාබාධ නොවුණත් ඇතැම් විට ශරීරයේ අභ්‍යන්තරයේ මතුවන රෝගාබාධ ද කොන්ද කැක්කුමට බලපෑ හැකිය.

උදාහරණයක් ලෙස කාන්තා පක්ෂයේ අයට ඇතිවන ගර්භාෂගත රෝගවල ලක්ෂණ ලෙස මූලික අවස්ථාවේ කොන්ද කැක්කුම් ඇති විය හැකිය. නමුත් බහුතර අයට කොන්ද කැක්කුම් ඇතිකරන හේතු ඉතා ම සරල වන අතර ඒවා ඔවුන්ගේ ම වරදින් ඇතිකර ගන්නා ආබාධ ලෙස නම් කළත් වරදක් නොවේ. උදාහරණයක් ගතහොත් බොහෝදෙනා කොන්ද කැක්කුම් ගැන පැමිණිලි කරන සුලභ අවස්ථා සලකමු. එයින් ප්‍රධාන ම එක ලෙස වාඩිවී සිට නැගිටීමේ අවස්ථා දැක්විය හැකිය. මෙහිදී වාඩිවී සිටි ඉරියව්වේ වැරදි කොන්දට පමණක් නොව බෙල්ලට ද බලපෑ හැකිය. බෙල්ලේ මාංශපේශීවල ඇදීයාමක් හෝ නුහුරට භාවිත කිරීම නිසා උරහිස් දෙපසට ද වේදනාව පැතිර යා හැකිය. එවිට සමහරු බෙල්ල උළුක්කුවී ඇතැයි පැමිණිලි කරනු ඇත. නමුත් සිදුව ඇත්තේ පුටුවේ වාඩිවී සිටින විට එක දිගට බෙල්ල එක ම ඉරියව්වක තබාගැනීම නිසා මතුවන ස්නායු ගත ආතති තත්ත්වය මෙන්ම මස් පිඩුවලට ඇතිකරගන්නා නුහුරු පීඩනයයි.

බොහෝ අය පුටුව මේසයට බොහෝ දුරින් තබාගෙන වාඩිවී මේසයට ආයාසයෙන් නැඹුරු වෙන අතර ඒ ආකාරයෙන් බොහේ වෙලාවක් සිටීම කොන්ද උඩ කොටසේ වේදනාවට බලපෑ හැකිය. මෙවැන්නන් බොහෝ විට පුටුව මේසයෙන් ඈතට ගෙන වාඩිවීමට හුරුවන්නේ ඉදිරියට නෙරා ආ උදරය නිසා විය හැකිය. එහිදී ඉදිරියට නෙරා ආ උදරය නිසා කොන්දට ඇතිවන ආතතිය හේතුවෙන් බොහෝදෙනෙකු කොන්ද කැක්කුම ගැන පැමිණිලි කරයි. පරිගණක ආශ්‍රිත රැකියාවන්හි නිරත වන බොහෝදෙනෙකුට සුලභව ඇතිවන කොන්ද කැක්කුම උරහිස් වේදනා සහ අතේ මැණික්කටුවේ වේදනාවන්ට බහුලව ම බලපානු ලබන්නේ එකම ඉරියව්වක වැරදි ආකාරයට ශරීරය මෙහෙයවමින් තමන් විසින් ම මාංශ පේෂීවලට සහ ස්නායුවලට ආතතියක් ඇතිකර ගැනීම ය. සමහරුන්ට කොන්ද කැක්කුම ඇතිවීමට බලපාන ලොකු ම හේතුව ඔවුන් විසින් පලඳින පාවහන් ය. මිල පහසුව හෝ වෙනයම් ලාභයන් සලකා ඇතමුන් නිසි ප්‍රමිතියෙන් තොර පාවහන් පලඳිනු ලබන අතර ඒවා ද නිරන්තරයෙන් කොන්ද කැක්කුම් ප්‍රශ්න ඇතිකරන්නට සමත් ය. ඉතා ම උල් සිහින් අඩි සහිත සපත්තු පලඳින කාන්තාවන් බොහෝදෙනෙකුට කොන්ද කැක්කුම් ඇතිවීම සුලභ බව ප්‍රසිද්ධ කාරණයකි. එයට හේතුව කකුලේ ඇගිලිවලින් පමණක් ඇවිදිමින් ශරීරයේ සමබරතාව රැකගන්නට කොන්දෙන් සහයක් පැතීම ය. සැබවින් ම එවන් අඩි සහිත පාවහන්වල ප්‍රමිතියෙන් තොර බවක් පැවතියහොත් එය කොන්දට වඩාත් අහිතකර බවක් ඇතිකරවිය හැකිය. කොන්ද කැක්කුම් සුලභ කරන තවත් හේතුවකි නිදාගන්නා ඉරියව්ව. නිදාගන්නට භාවිත කරන ඇද මෙට්ටය නිසාද කොන්ද කැක්කුම් ඇතිවන නමුත් බිම පැදුරුවල නිදන අයට වුවත් නිදාගෙන නැගිටින විට කොන්ද කැක්කුම ඇතිවන්නේ ඇයිදැයි විමසන විට බොහෝදෙනෙකු කොන්දට ආයාසයක් ඇතිවන පරිදි වකුටුවී නිසා ගැනීම එයට බලපාන බව පෙනී ගොස් ඇත. මෙවැනි වේදනා කැක්කුම් කළමනාකරණ කළ හැක්කේ කොන්ද කැක්කුමට හේතු වන ඒ අදාළ ඉරියව් නිවැරදි කර ගනීමෙන් මිස වේදනා නාශක භාවිතයෙන් නොවේ. ඇවිදීම, වාඩිවීම නිදාගැනීම මෙන්ම ඉරියව්වල වරදින් වේදනා කැක්කුම් ඇතිකරගන්නා තවත් කාරණයකි නිසි උපදේශකත්වයකින් තොරව හිතුමතයේ ව්‍යායාම කිරීම සහ ව්‍යායාම උපකරණ භාවිතය. ඇතමුන් ව්‍යායාම කරනුයේ තමන්ට සිතෙන සිතෙන පරිදි ය. එවිට ද ශරීරයේ අභ්‍යන්තර අවයව සහ මාංශ පේෂී මෙන්ම පටක ස්නායු ආදිය පීඩාවට පත්වවී වේදනා කැක්කුම් ඇතිකරවිය හැකිය. වේදනා නාශක යනු එවන් අවස්ථාවල ඔබට ඇති පිළියම නොවේ. වේදනාව තාවකාලිකව කළමනාකරණය කරනු මිස එය අදාළ වේදනාව ඇතිකරන හේතුවට පිළියමක් නොවන බව මතක තබාගන්න ආලේපන වර්ග තැවරුම ද තාවකාලික පැලැස්තර එළීමකි. එහෙයින් වේදනා කැක්කුම් ඇතිවූ විට ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂාවකට ලක්වී කළ යුත්තේ කුමක්දැයි තීරණය කරන්න. ඇතැම් විට පාදයේ කෙණ්ඩාවල ඇතිවන වේදනාවන්ට හේතුව දියවැඩියා රෝගය ද විය හැකියි. එසේනම් වේදනා කැක්කුමක් මතුවූ විට වේදනා නාශකයේ සහ බාම්වල පිහිට පතා රොගයක් ද නැද්ද යන්න හඳුනාගැනීමට ප්‍රමාද නොවන්න.

වෛද්‍ය මහින්ද හේමප්‍රිය
(උතුරු කොළඹ ශික්ෂණ රෝහල)

සටහන – යසස්වීනී ජයතිලක