Health

මව්කිරි දීම කෙතරම් වැදගත්ද?

ශ්‍රී ලංකාව මව්කිරි ලබාදීම ප්‍රවර්ධනය සඳහා “හරිත වර්ණ” කේතය ලබාගනිමින් ලෝකයේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවා. මව්කිරි ලබාදීම සහ එම ක්‍රමවේදයන් ප්‍රවර්ධනය සඳහා ගන්නා ලද සාර්ථක පියවර අගය කරමින් “ලෝක මව්කිරි ලබාදීමේ ප්‍රවණතා ඇගැයීමේ වැඩසටහන” මගින් මෙම හරිත කේතය ලබා දී තිබෙනවා. මෙම වැඩසටහන මගින් සිදුකළ ඇගැයීමට අනුව ලකුණු 100න් 91ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව මෙහි ප්‍රථම ස්ථානය දිනා ඇති බව සෞඛ්‍යය අමාත්‍යංශය වාර්තා කරනු ලැබුවා. මව්කිරි දීමෙන් බිළිඳාට වගේම මවටත් ඇතිවන මනෝ විද්‍යාත්මක සහ ජෛව විද්‍යාත්මක වාසිසහගත තත්වයන් රැසක් තිබෙනවා. මේ පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නොමේරූ ළදරු ඒකකයට අනුබද්ධ මව්කිරි කළමනාකරණ ඒකකයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මේධා වීරසේකර මහත්මිය පැහැදිලි කළ ආකාරයයි මේ.

මව්කිරි දීම දරුවාට බලපාන්නේ කොහොමද?

එය දරුවාට විතරක් නෙමෙයි මව සහ දරුවා යන දෙදෙනාට ම ආකාර දෙකකින් බලපාන කාරණයක්. මනෝ විද්‍යාත්මක වශයෙන් වගේම කායික විද්‍යාත්මක වශයෙනුත් මව් කිරිදීම මවටත් දරුවාටත් බලපානවා.

මනෝ විද්‍යාත්මක පැත්ත ගැන පැහැදිලි කළොත්?

ඔව්. මව්කිරි දීම මගින් මවත් දරුවාත් අතර සමීප ආදර සබඳතාවක් ගොඩනැගෙනවා. මෙය මවගේ හිතේ ගැඹුරු තෘප්තිමත් හැඟීමක් ඇති කරන්න හේතු වෙනවා. ප්‍රසූතිය අවසන් වුණාට පස්සේ මව සහ දරුවා අතර කිට්ටු ස්පර්ශයක් ඇතිවීම මේ සම්බන්ධතාව ගොඩනැගෙන්න හේතුවක්. මේ ක්‍රියාවලියට කියන්නේ උද්වේගකාරී බැඳීම කියලා. දරුවාගේ මානසික සංවර්ධනයට මව්කිරි දීම ඉතා ම වැදගත්. කිරිදෙන මව්වරුන් ඉතා ම ආදරබර ලෙස දරුවාට ප්‍රතිචාර දක්වනවා. දරුවාගේ අවධානය යොමුකර ගැනීම ගැනත්, රාත්‍රී කාලයේ මව්කිරි දීම ගැනත් ඔවුන්ගේ පැමිණිලි අඩුයි. දරුවා හොඳින් කිරි උරාබීම නිසා මවට තෘප්තිමත් හැඟීමක් ඇති වෙනවා. ඒ, ඔවුන් දෙදෙනා ම මානසික වශයෙන් සහනදායී තත්ත්වයට පත් වෙන නිසයි. ඒ වගේම පසු කාලීනව දරුවන් අතහැර දැමීම හෝ දරුවාට අනිසි ලෙස සැලකීම වගේ කරුණු මේ මව්වරුන්ගෙන් දක්නට ලැබෙන්නේ ඉතා ම අඩුවෙන්.

කායික විද්‍යාත්මක පැත්තෙන් මව්කිරි දීම වැදගත් වෙන්නේ කොහොමද?

මව්කිරි කියන්නේ පහසුවෙන් දිරවන, පෝෂණ ගුණයෙන් පරිපූර්ණ ආහාරයක්. දරුවාගේ පැත්තෙන් කතා කළොත්, මව්කිරි බීමෙන් ආසාදනවලින් වගේම ආසාත්මිකතාවලින් (Allergy) දරුවා ආරක්ෂා වෙනවා. මුඛය සහ හනුවල ක්‍රියාකාරීත්වයත් මාංශ පේෂීවල ක්‍රියාකාරීත්වයත් දියුණු වෙනවා. ස්වසන පද්ධතියේ, උගුර සහ කන්වල ආසාදන අඩු වෙනවා. ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. ආහාර මාර්ගයේ නිසි ක්‍රියාකාරීත්වය නිසා පාචනය වගේ රෝගවලින් සහ මලබද්ධයෙන් ආරක්ෂා වෙනවා. රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වගේ බෝ නොවන රෝගවලින් දරුවා ආරක්ෂා වෙනවා. දරුවාගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය, ඇස් පෙනීම, මතක ශක්තිය ආදිය වර්ධනය වෙන්නත් මව්කිරි හේතු වෙනවා.

මවගේ පැත්තෙන් කතා කළොත්, මව්කිරි දීම නිසා මවගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කරනවා. කිරි දෙන මවකගේ පියයුරු පිළිකා සහ ඩිම්බ කෝෂ පිළිකා සඳහා වන අවදානමත් අඩුයි. බර වැඩිවීම, අධික ස්ථුලතාව ආදියත් අඩුයි.

මව්කිරි දීම කොච්චර කාලයක් කළ යුතුද?

දරු උපත සිදු වෙලා පැය භාගයක කාලයක් තුළ දී දරුවාට මව්කිරි දීම ආරම්භ කරන්න ඕනෙ. උපතේ සිට දරුවාගේ වයස මාස හය සම්පූර්ණ වනතුරු ආහාර ලෙස ලබා දිය යුතු වෙන්නේ මව්කිරි විතරයි. අමතර ආහාර දීම ආරම්භ කළ යුත්තේ මාස හය සම්පූර්ණ වුණාට පස්සේ. අමතර ආහාර දෙනවා කියලා මව්කිරි දීම නතර කළ යුතු නැහැ. දරුවාගේ වයස අවුරුදු දෙක ඉක්මවන තෙක් අමතර ආහාර සමග මව්කිරි දීම ඉතා ම සුදුසුයි.

මව්කිරිවල සංයුතිය කාලය අනුව වෙනස් වෙන්නේ කොහොමද?

මවක් දරුවෙක් ප්‍රසූත කිරීමෙන් පසුව පළමුවන දින කීපය තුළ ශ්‍රාවය වන මව්කිරි හඳුන්වන්නේ “කොලස්ට්‍රම්” කියලා. මේවා සාමාන්‍ය මව්කිරිවලට වඩා ඝනයි. කහ පැහැති හෝ පැහැදිලි දියරයක්. දවස් කීපයක් ගියාට පස්සේ ශ්‍රාවය වෙන කිරිවලට කියනවා “මේරූ මව්කිරි” කියලා. මේ වෙද්දි කිරි ප්‍රමාණය වැඩි නිසා පියයුරු පිරුණු ස්වභාවයකින් යුතු වෙනවා. ඒ වගේම තද සහ බර ගතියක් දැනෙනවා.

ඒ වගේම කිරි දෙන අවස්ථාවේ පළමුව ශ්‍රාවය වන කිරි “පෙර කිරි” කියලා හඳුන්වනවා. පසුව ශ්‍රාවය වන කිරි “පසු කිරි” කියලා කියනවා. පසු කිරිවල මේද වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා පෙර කිරිවලට වඩා සුදු පාටයි. පෙර කිරි පසු කිරිවලට වඩා නිල් පැහැයක් ගන්නවා.

පෙර කිරි සහ පසු කිරි දරුවාට වැදගත් වෙන්නේ කොහොමද?

මව්කිරිවලින් දරුවාට ලැබෙන ශක්ති ප්‍රමාණයෙන් වැඩි කොටසක් ලැබෙන්නේ පසු කිරිවල තිබෙන මේද මගින්. ඒ නිසා දරුවා අවශ්‍ය සම්පූර්ණ කිරි ප්‍රමාණය උරා බීමට පෙර, කාලය සීමා කර පියයුරෙන් දරුවා ඉවත් කිරීම සුදුසු නැහැ. ඉන් සිදු වෙන්නේ දරුවාට අවශ්‍ය වන මේද කොටස් නොලැබී යාමයි. පෙර කිරිවලින් තමයි ප්‍රෝටීන්, ලක්ටෝස් සහ අනිකුත් පෝෂක දරුවාට ලබාදෙන්නේ. පෙර කිරි වැඩි පරිමාවක් ලබා දීමෙන් දරුවාට අවශ්‍ය සම්පූර්ණ ජල ප්‍රමාණයම ලැබෙනවා. කාලගුණික තත්ත්වය කොච්චර උණුසුම් වුණත් දරුවාට අමතර ජලය හෝ දියර වර්ග ලබාදීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා වෙනත් දියර හෝ ජලය දීමෙන් වැළකී දරුවාට මාස 6ක් ගත වනතුරු මව්කිරි පමණක් ලබාදෙන්න කියලා තමයි අපි නිර්දේශ කරන්නේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය මේධා වීරසේකර
(නොමේරූ ළදරු ඒකකයට අනුබද්ධ මව්කිරි කළමනාකරණ ඒකකය – ශ්‍රී ජයවර්ධනපුර රෝහල)

සටහන – දුලංජලී මුතුවාඩිගේ