Health Guide

යොවුන් වියේ දරුවන්ගේ තරහා යාම පිළිබඳවත් සිතන්න

තරහා යනු හැඟීම් මුදාහරින මාධ්‍යයකි. තරහව යනු පොදුවේ ඕනෑ ම පුද්ගලයකුට ඇතිවිය හැකි හැඟීමකි. තරහව තමන්ගේ යහපතට හේතු වෙනවා මෙන් ම අයහපතටත් හේතු වේ. තරහ ඇති විට කතා කරන ආකාරය හැසිරෙන ආකාරය අනුව ලැබෙන ප‍්‍රතිඵලය වෙනස් විය හැකියි. අනෙක් තැනැත්තාගේ සිත රිදවීම, ශාරීරික හානි, දේපළ හානි ඇතැම් විට ජීවිත හානි පවා ඇතිවිය හැකියි. ඇත්තට ම යොවුන් වියේ දරුවන්ට තරහා යන එක වැරැද්දක්ද? ඒ නිසා ම මේ පිළිබඳව විශේෂ අවධානයක් මෙවර ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අප සිතුවා.

සාමාන්‍යයෙන් 12 සිට 20ක් තෙක් යොවුන් වියේ පසුවන දරුවන් තමාගේ අභිමතයට හා ස්වාධීනත්වය පිළිබඳව වඩ වඩාත් සිතයි. යොවුන් දරුවන් හිතුමතයට කටයුතු කිරීමේ දී ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන්ගෙන් මුදාගැනීමට දෙමාපියන් ඉදිරිපත් වේ. නමුත් දරුවන් සිතන්නේ තමන්ව අනවශ්‍ය ලෙස පාලනයට නතු කරන බවකි. ඉතින් ගැටුම ඇතිවන්නේ එතැන් සිට ය. නව යොවුන් වියේ දරුවන් කෝපයෙන් කටයුතු කරන අවස්ථාවල දී දෙමාපියන් ද කෝප වෙනවා වෙනුවට දරුවාගේ තරහා නැතිව ගිය පසු ඔහුට හෝ ඇයට ආදරයෙන් කතාබහ කොට ගැටලුව විසඳාගැනීම වඩා වැදගත් ය.

යොවුන් වියේ දරුවන්ට ඇති වන තරහවන් විවිධාකාර ය. එනිසා දරුවාට තරහා යන්නේ කවර අවස්ථාවක දී ද, කා සමග ද, කවර හේතුවකට ද යන්න අවබෝධ කරගැනීම ඉතා වැදගත් ය. තරහා යන අවස්ථා අනුව කොටස් දෙකක් යටතේ තරහව දැක්විය හැකිය.

x එක් අවස්ථාවක එකම පුද්ගලයකු සමග තරහා යාම.
x සුළු දෙයටත් ඕනෑ ම දෙයකට ඕනෑ ම අවස්ථාවක තරහ
යාම.

එක් අවස්ථාවක පමණක් තරහ යන දරුවෝ

එක් අවස්ථාවක පමණක් තරහ යන දරුවන්ට කේන්තියාමට පහත හේතූන් බලපෑ හැකිය.

1) දරුවන් හා මව අතර ඇති අදහස් ඝට්ටනය.
2) රැකබලා ගන්නන් සමග ගනුදෙනු කිරීමේ දී ඇතිවන
ගැටලුව.
3) ගෙදර ගැටලුකාරී තත්ත්වයන්.

”අනේ මන්දා ඩොක්ටර් මේ ළමයට මාව වහ කදුරු වගේ, තරහ යන්නෙ ම මාත් එක්ක…”

මව්වරුන්ට මෙවැනි මැසිවිලි නගන්නට සිදුවන්නෙ දරුවන් සමග සමීපව ම බොහෝ කටයුතු මව්වරුන් සිදු කරන නිසාවෙන් ය.මේ නිසා දරුවන් හා මව්වරුන් අදහස් අතර ඝට්ටනයට වැඩි ඉඩක් ඇත. ඒ දරුවා සමග ඔබ ගනුදෙනු කිරීමේ වරදක් නිසා ය. ඔබ නිතර ම දරුවෙකුට හැමදේට ම එපා කියන විට දරුවන් ඉල්ලන හැමදේම ප‍්‍රතික්ෂේප කරන විට දරුවාට දුක තරහට පෙරළීම සාමාන්‍ය තත්ත්වයකි.

”අනේ මන්දා අනේ මේ ළමයට කොයි වෙලේ බැලුවත් මොනවත් ම කියන්න බැහැනේ…”

”අම්මා ඉතින් කරන හැමදේට ම අත දානවනේ…”

”එහෙම නොකර කොහොමද ඔයා තාම පොඩි ළමයෙක්.”

”දැන් මම පොඩි ළමයෙක් නෙමේ මට දැන් වසය 16යි, මට කිසිම දෙයක් තනියම කරන්න බැහැ කියලද හිතන්නේ?”

නව යොවුන් වියේ දරුවන් සිටින නිවසක මෙවැනි සංවාද සුලභ ය. දෙමාපියන් දරුවන් කොයිතරම් වයසින් මුහුකුරා ශරීරයෙන් වැඩුණත් ”අනේ තාම පොඩියි” යන කෝණයෙන් බැලීම කොයිතරම් සාධාරණ ද කියා විමසීම ඉතා වැදගත් ය. නව යොවුන් වියේ දරුවන් කායිකව මෙන්ම මානසිකව ද වෙනස්වීමකට භාජනය වන මේ කාලවකවානුව තුළ ඔවුන් සිතුම් පැතුම් ගැන දෙමාපියන්ට අවබෝධයක් තිබිය යුතුය.

නව යොවුන් වියට පත්වන විට දරුවන්ගේ මානසිකත්වය වෙනස් වේ. බොහෝ විට තමන්ව පාලනය කිරීමට එරෙහිව ඔවුන් නැගී සිටියි. එනිසා දරුවන් සමග කටයුතු කිරීමේ දී පසුගිය ලිපියේ සදහන් මව්වරුන් හතරදෙනාගෙන් ඔබ කවරකට අයත්දැයි බලන්න. සෑම දෙයකටම ඉඩදෙන මවක් නම් දරුවන් යොවුන් වියට පත්වන විට ද මේ ඉඩදීම බලාපොරොත්තු වෙයි. දරුවා ඉල්ලන ඉල්ලන හැමදේම නව යොවුන් වියට පත්වන විට සපුරාලීම අපහසු ය. ඔවුන්ට විවිධ විලාසිතා කිරීමට, විවිධ ඇදුම් පැලඳුම්, මිල අධික දුරකතන, පරිගණක ආදි දෑ ඉල්ලා සිටින විට මෙවැනි මව්වරුන් පත් වන්නේ දැඩි අපහසුතාවකට ය.

”අපේ ළමයට ඉල්ලන දේ නොදුන්නොත් ඉවරයි. පොඩි කාලෙත් එහෙමයි. දැන් ඉල්ලනෙ ලොකු ලොකු දේවල් කොහොමද දෙන්නෙ? දෙන්න බැහැ කිව්ව ගමන් එයාට තරහ යනවා. තරහා ගිහින් රණ්ඩු කරනවා.”

මෙවැනි තත්ත්වයක දී සම්පූර්ණ වරද ඇත්තේ දෙමාපියන්ට ය. දරුවා ඉල්ලන දෙය ලබාදිය යුතුයි යැයි දරුවන් සිතන නිසාවෙන් ඒවා නොලැබුණ විට ඔවුන්ට තරහා ඇති වේ. දරුවන්ට සෑමවිට ම බලය පතුරුවන තත්ත්වය ද භයානක ය. මන්ද කුඩා අවදියේ දෙමාපියන්ට බියට දරුවන් කටයුතු කළ ද යෞවනත්වයට පත්වන විට ඒ බිය පහව යන නිසා දෙමාපියන්ගේ ආධිපත්‍යයට දරුවන් හැසිරවිය නොහැකිය.

එසේ ම පවුල් සංස්ථාව සලකා බැලීමේ දී දරුවාට ඉහළින් සිටින වැඩිහිටියන්, රැකබලාගන්නන් එකිනෙකාට වෙනස් ආකාරයට කටයුතු කරන විට, එනම් මව දමන නීති රීති කඩන්නට තාත්තා අනුබල දෙයි නම් මවගේ නීති රීතිවලින් නව යොවුන් දරුවාට පලක් නැත. මව ඔහේ කියපුදෙන් යැයි සිතීම හා මව එපාවීම දරුවාට මව හා තරහා ඇති වන්නට හේතු වේ. එනිසා පවුලක සියලුදෙනා දරුවාට එකම ආකාරයකට සැලකිය අතර වැඩිහිටියකු දමන නීතී රීතී කැඞීමට තවත් වැඩිහිටියකු අනුබල නොදිය යුතුය.

ඇතැම් නිවෙස්වල පවුල් ආරවුල් දරුවාගේ මනසට සිදු කරන්නේ සුළු පටු හානියක් නොවේ. බොහෝවිට දෙමාපියන්ගේ ප‍්‍රශ්න දරුවන්ට කිවයුතු නැත යන මතය අනුව සිතීමට අපේ සමාජය පුරුදුව ඇත. එහෙත් නව යොවුන් දරුවන්ට මෙවැනි ගැටලු සැඟවීම ලෙහෙසි නොවේ. ඔවුන්ට දෙමාපියන්ගේ හැසිරීමෙන්, කතා බහෙන් යමක් තේරුම්ගැනීමේ හැකියාවක් ඇත. බොහෝවිට අද සමාජයේ බහුල වශයෙන් අනියම් සබඳතා දක්නට ලැබීම ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

”වෙන්වෙලා කොහොමද? දරුවා නිසා මරාගෙන හරි එකට ඉන්න ඕනි.”

මෙන්න මේ රාමුව තුළ දෙමාපියන් සිතීම ඉතාමත් වැරදි ය. දරුවන් වෙනුවෙන් යැයි පවසමින් ඔවුන් වෙන් නොවී අඬදබර, බහින්බස්වීම් සමග අසමගියෙන් අසතුටින් එකම නිවසක ජීවත් වෙයි. මෙවැනි වාතාවරණයක දී දෙමාපියන් වෙන් වෙනවාටත් වඩා දරුවා මානසික වශයෙන් පීඩනයට ලක් වේ. එයින් සැමියා, බිරිද, මෙන් ම දරුවා ද අගතියට පත් වෙයි. එකට සිටින්නේ දරුවා වෙනුවෙන් නම් දරුවාට දෙමාපියන්ගේ ගැටලු නොපෙනෙන්නට නොදැනෙන්නට දෙදෙනා ම කටයුතු කළ යුතුය. එහෙත් ලංකාව තුළ මව හා පියා අතර ගැටුම් දරුවන් ඉදිරියේ ම සිදු වේ. එහි එකම කාරණාව දරුවා මෙවැනි ගැටුම් ඇතිවීමට හේතු කාරණාව නොදැන සිටීම පමණි.

බොහෝවිට දරුවන් මෙවැනි තත්ත්වයන් නිසා සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත් වේ. එහෙයින් දරුවන්ට දෙමාපියන් සමග තරහවක් උපදී. දරුවාට පවුලේ තත්ත්වය සැගවීම තුළින් දරුවාට දෙමාපියන් සමග කලකිරීමක් හා තරහවක් ඉපදේ. එනිසා තත්ත්වය දරුවාට පහදා දී දෙමාපියන් වෙන්වීම වඩාත් සුදුසු ය. වෙන්වීමක් ගැන දෙමාපියන් සිතනවා නම් එය කල්තියා දරුවාව දැනුවත් කර දරුවාගේ මානසිකත්වය සෑදිය යුතුය. නැති නම් සියල්ල සමතයකට පත් කරගත යුතුය.

බොහෝ විට පාසලේ දී විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් තෝරා බේරාගැනීමක් සිදු නොවේ. මේ නිසා දක්‍ෂ දරුවන් අතර සිටින මෙවැනි දරුවන්ට ගුරුවරුන්ගේ සැලකිල්ල හා අවධානය අඩු වේ. මේ නිසා පන්තියේ කොන්වීමක් ද සිදුවන නිසා දුක හා තරහව දරුවාට ඇති වේ. අපේක්ෂාභංගත්වය, තමන් ම තමන්ව අඩු තක්සේරු කර සිතීම නිසා ඔවුන් තුළ තරහව ඇති වේ.

සුළු දෙයටත් ඕනෑ ම දෙයකට ඕනෑ ම අවස්ථාවක තරහා යාම

සෑම විටම තරහ යන දරුවන්ට ඇත්තේ බැරෑරුම් තත්ත්වයකි. මෙවැනි දරුවන් නව යොවුන් වියේ විශාදයට ගොදුරු වී සිටිනවා විය හැකිය. යොවුන් වියේ දරුවන්ට දුක තරහව වෙන්කර ප‍්‍රකාශ කළ නොහැකිය. වැඩිහිටියන්ට මෙන් යොවුන් වියේ දරුවන් මෙම තත්ත්වය තව කෙනෙකුට පහදා වෛද්‍ය ප‍්‍රතිකාර වෙත යොමු නොවන නිසා තත්ත්වය තවදුරටත් බරපතළ වේ.

x ඇගපත අමාරුව.
x නිතරම නිදාගැනීම හෝ නින්ද නොයාම.
x කෑම අරුචිය හෝ කෑම අධික රුචිය.
x තමන් අවට සිටින පුද්ගලයන් නුරුස්සීම
x ඉක්මනින් කෝපයට පත්වීම.
x ශරීරයේ එක් එක් දිනවලට වෙනස් රෝග ඇතැයි පැවසීම. (බඩ රිදෙනවා, කකුල් රිදෙනවා, ඔළුව රිදෙනවා)
වැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කළ හැකියි.

විශාදය නිසා ලෝකයේ නව යොවුන් දරුවන් සිය දිවි නසාගැනීම වැඩි බව පර්යේෂණ මගින් තහවුරු කොටගෙන ඇත. එනිසා රෝග ලක්‍ෂණ පහළ වූ සැණින් දරුවන් වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුය. නව යොවුන් වියේ දරුවන්ට විශාදය ඇති වූ විට පාලනය කිරීම අපහසු ය.

අධික‍්‍රියාශීලි ඌන අවදානම් තත්ත්වයන් නිසා දරුවන් තුළ අධික තරහාව ඇති විය හැකිය. මෙවැනි දරුවන් යමක් කිරීමට පෙර සිතා බැලීමක් නොකරයි. සුළු දෙයකට පවා තරහා යයි. මෙවැනි තත්ත්වයන් ඇති වන්නේ කුඩා කල සිට ම ය. නමුත් හදුනාගැනීම තරමක් අපහසු වන්නේ ප‍්‍රාථමික අංශවල දී ඉගෙනුම හොදින් කරන නිසා. මෙවැනි දරුවන්ට එක ලෙස අවධානය යොමුකිරීම අපහසු ය. නමුත් බුද්ධිය තිබෙන නිසා ඉගෙනුම් කටයුතු කරනවා. නමුත් හය වසර පමණ වන විට අවධානය අඩු නිසා අධ්‍යාපන කටයුතු අඩාලවීමක් සිදු වේ.

මත්ද්‍රව්‍යවලට යොමුවීමෙන් ද යොවුන් වියේ දරුවන් තුළ ඇති වන මානසික ව්‍යාකූලතාව හේතුකොටගෙන ඔවුන්ට අසාමාන්‍ය ලෙස තරහා ඇති වේ. මත්ද්‍රව්‍ය විවිධාකාර මුහුණුවරවලින් නව යොවුන් වියේ දරුවන් වෙත එනවා. සාමාන්‍යයෙන් මෙම වයසේ දරුවන් තුළ කුතුහලය වැඩි නිසා වැරදි දෙයක් වුණත් අත්හදා බලන්න දෙවරක් හිතන්නේ නැහැ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවකුගේ ශාරීරිකව ලොකු වෙනසක් දකින්න නැති වුණත් ඔවුන් මානසිකව විශාල විපර්යාසයකට ලක්වෙනවා. දෙමාපිය නීති කඩන ළමුන් වීරයන් ලෙස දකින්න අනික් දරුවන් පුරුදු වෙලා ඉන්න නිසා දරුවෝ නීති කඩන්න කැමතියි. දරුවන් කුඩා අවදියේ සිටම මත්ද්‍රව්‍යවල ආදීනව උදාහරණ සහිතව පෙන්වමින් මත්ද්‍රව්‍ය නුසුදුසු දෑ බව සිත්වලට කාවැද්දිය යුතුයි.

එක් අවස්ථාවක එකම පුද්ගලයකු සමග තරහා යන දරුවන් පහසුවෙන් වෙනස් කළ හැකිය. ඒ සදහා ඔබට පහත දේවල් අනුගමනය කළ හැකිය.

x කාල සටහනක පුරුදු කරන්න. නියමිත කාල සටහනකට දරුවකු කුඩා කල සිට ම හැඩ ගැස්සවුයේ නැත්නම් ඔවුන්ගේ ජීවිතයේ කාලය ඔහේ ගලාගෙන යනු ඇත. කාලසටහනක් කියු පමණින් ඔබ ”පාඩම් කරන්න” කාල සටහනක් යැයි වරදවා සිතන්න එපා. දවස ආරම්භයේ සිට දවස අවසානය දක්වා ම මෙම කාල සටහනට ඇතුළත් විය යුතුයි. උදෑසන අවදිවීම, මුහුණකට සෝදා පිරිසිදුවීම, උදේ ආහාරය ගැනීම, පාසල් යාම, පාසල් නිමවී නිවසට ආපසු පිරිසිදුවීම, විනෝදාංශය සදහා, කියවීම සදහා, සෙල්ලම් කිරීම, පරිසරය හා බැෙදන්නට විදින්නට කාලයක්, පාඩම් කරන්නට, රූපවාහිනිය නැරඹීමට කාලයක් ආදී ලෙස දිනකට සිදු කරන සෑම කාර්යයකට ම කාලය වෙන්කර අනුගමනය කරන්නට සලස්වන්න. මෙය ඇරඹිය යුත්තේ ළමා කාලයේ දී ම ය. වෙලාවට වැඩ කරන්නට පුරුදු වූ විට යොවුන් වියේ දී කිසිවෙකුගේ බලපෑමකින් තොරව තම කටයුතු කරන බැවින් දෙමාපියන් සමග ඝට්ටනයක් ඇති නොවේ.

x නිවාඩු දවස නිදහසේ ගත කරන්නට ඉඩහරින්න.

x නිවසේ එකම රීති පද්ධතියක් ක‍්‍රියාත්මක කරන්න.

x දරුවා අගය කරන්න. දරුවාට 10 පාරක් පොත ගන්න කියා 11 වතාවට පොත ගත්තා නම් බණිනවා වෙනුවට දරුවාට ප‍්‍රශංසා කරන්න.

x අම්මා හා දරුවන් අතර සතුටු වන්නට කාලයක් වෙන් කරන්න. එකට ඉඳගෙන චිත‍්‍රපටයක් බලන්න, සාකච්ඡුා සතුටු සාමීචියේ යෙදෙන්න. චෙස් හෝ දාං වැනි ක‍්‍රීඩාවක් කරන්න.

සුළු දෙයටත් ඕනෑ ම දෙයකට ඕනෑ ම අවස්ථාවක තරහ යන දරුවන් පිළිබද විශේෂ අවධානයක් යොමු කළ යුතු නිසා වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න.

මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
(ළමා සහ යොවුන් විය පිළිබඳ විශේෂඥ – රාගම ශික්ෂණ රෝහල, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය)

සටහන – දිශාන්ති වෙදගේ