Health Guide

මේ ක්ෂය රෝගය තුරන් කිරීමට කාලයයි

ලෝක ක්ෂය රෝග දිනය මාර්තු මස 24 වැනි දිනට යෙදී ඇත. 1882 වර්ෂයේ ක්ෂය රෝග බැක්ටීරියාව විද්‍යාඥ රොබට් කොක් (Robert Koch) විසින් මුල් වරට හඳුනාගැනීම නිමිති කරගනිමින් සෑම වරසක් පාසා ම ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබයි. ඒ අනුව මෙවර යෙදී ඇත්තේ 138 වන ලෝක ක්ෂය රෝග දිනයයි. ප්‍රජාව දැනුවත් කිරීම තුළින් ක්ෂය රෝගය හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරවීම මෙහි ප්‍රධාන අරමුණයි. ලෝකයේ වැඩි ම මරණ ප්‍රමාණයක් ඇති කරන හේතුකාරක දහය අතුරින් එක් හේතුවක් ලෙස ක්ෂය රෝගය හඳුනාගෙන තිබේ. එමෙන් ම ලෝකයේ වැඩි ම මරණ ප්‍රමාණයක් ඇති කරන බෝවන රෝග අතුරින් ක්ෂය රෝගය පළමු තැන ගනී.

ක්ෂය රෝගය යනු මයිකොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් (Mycobacterium tuberculosis) නමැති බැක්ටීරියාව මගින් වැලඳෙන, බෝවන රෝග කාණ්ඩයට අයත් රෝගයකි. බහුල වශයෙන් මෙම රෝගය බෝවීම සිදුවන්නේ බිඳිති ආකාරයෙනි. එනම් ක්ෂය රෝගය වැලඳුණු සක්‍රිය ක්ෂය රෝගියෙකු, කහින විට දී, කිවිසුම් හරින විට දී හෝ හඬනගා සිනාසෙන විට දී වැනි අවස්ථාවන්හි දී ක්ෂය රෝග බැක්ටීරියාව කෙළත් සමග බිඳිති ආකාරයට වාතයට එකතු වේ. නිරෝගී පුද්ගලයෙකු ආශ්වාස කිරීමේ දී මෙම බැක්ටීරියාව එම පුද්ගලයාට ශරීරගතවීම සිදුවේ. හොඳින් හිරුඑළිය පවතින, වාතාශ්‍රය තිබෙන පරිසරයක මෙම බැක්ටිරියාවට වැඩි කලක් ජීවත්වීමට නොහැකි අතර අඳුරු පරිසරයක් තුළ බොහෝ කාලයක් ජීවත්වීමේ හැකියාව පවතී.

මෙම රෝගය ස්වසන මාර්ගය ඇසුරින් පමණක් බෝවීම සිදුවේ. අප එදිනෙදා දෛනික කටයුතුවල නිරතවීමේ දී, පොදු ස්ථානයන්හි ගැවසෙන විට දී හෝ මොනයම් අවස්ථාවක දී හෝ අප ශරීරය තුළ මෙම බැක්ටීරියාව ආශ්වාසය මගින් ශරීරගතවී තිබෙන්නට පුළුවන. නමුත් බැක්ටීරියාව ශරීරගතවී ක්ෂය රෝග ආසාදිතයෙකු වූ පමණින් මෙම රෝගය වැලඳීම සිදු නොවේ. මේ ආකාරයට ක්ෂය රෝග ආසාදිතයන් හට තම ජීවිත කාලය තුළ රෝගය වැලඳීමේ අවදානම 10%ක්ව පවතී. එය අප ශරීරය තුළ පවතින ප්‍රතිශක්තිය මත තීරණය වේ. අප ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවීමක් සිදු වුවහොත් මෙම බැක්ටීරියාව සක්‍රියවීමේ හැකියාව පවතී. එතෙක් විශාල කාල පරාසයක් පෙනහලු තුළ මෙම බැක්ටීරියාව නිදන්ගතව තිබීමට පුළුවන. HIV ඒඞ්ස් රෝගය, දියවැඩියාව, පෝෂණ ඌනතා හෝ කිසියම් රෝගාබාධ සඳහා දීර්ඝකාලීන ඖෂධ වර්ග භාවිතය වැනි අවස්ථා ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවීමට බලපාන හේතු සාධක වශයෙන් පෙන්වාදිය හැකිය. මෙවැනි රෝගීන් හට ක්ෂය රෝග බැක්ටීරියාව ශරීරගතවීමෙන්, රෝගය වැලදීමට ඇති ප්‍රවණතාව 30%ත් 50%ත් අතර ඉහළ අගයක් ගනී. ක්ෂය රෝගය බහුලව තිබිය හැකි එවැනි පිරිස් අධි අවදානම් කාණ්ඩ යටතට ගැනේ. සෙමවල විෂබීජ සහිත පෙනහලු ක්ෂය රෝගීන් සමීපව ඇසුරු කරන පුද්ගලයන්, HIV ආසාදිතයන්, බන්ධනාගාරගතව සිර මැදිරි තුළ සිටින පිරිස්, සෞඛ්‍ය සේවකයන්, නාගරික පරිසරය තුළ ජනාකීර්ණ ප්‍රදේශවල ජීවත්වන පිරිස් මෙලෙස අධි අවදානම් කාණ්ඩයට අයත් පිරිස් ලෙස හඳුනාගැනේ.

මෙම රෝගය ප්‍රධාන වශයෙන් පෙනහලු තුළ හටගන්නා අතර හිසකෙස් සහ නියපොතු හැරෙන්නට ශරීරයේ ඕනෑ ම අවයවයක රෝගය හටගැනීමේ හැකියාව පවතී. රෝගියෙකුගෙන් තවත් අයෙකුට බෝවීම සිදුවන්නේ ද මෙම පෙනහලු තුළ හටගන්නා ක්ෂය රෝගයයි. නියමිත ඖෂධ නිසි පරිදි මාස හයක පමණ කාලයක් නොකඩවා ලබාගැනීමෙන් රෝගියෙකුට නිට්ටාවට ම ක්ෂය රෝගයෙන් මිදීමේ හැකියාව ඇත. වර්තමානය වනවිට ඉතාමත් සරල ප්‍රතිකාර ක්‍රම තුළින් රෝගියෙකුට ප්‍රතිකාර මග නොහැර ලබාගැනීමේ පහසුව උදෙසා සංයුක්ත පෙති ආකාරයෙන් එක් බෙහෙත් පෙත්තක බෙහෙත් වර්ග හතරක් පමණ සංයුක්ත කර සකසා තිබේ. එමනිසා සාමාන්‍ය බරක් සහිත පුද්ගලයෙකු දිනකට බෙහෙත් පෙති 3ක් පමණ ලබාගැනීම ප්‍රමාණවත්.

ශ්‍රී ලංකාව තුළ ක්ෂය රෝග තත්ත්වය ගැන සලකා බැලීමේ දී පසුගිය වසර දහයක පහළොවක කාල පරාසය තුළ වර්තාගතව ඇත්තේ රෝගීන් 8000ත්, 9000ත් අතර ප්‍රමාණයකි. 2019 වසරේ එය 8470ක් වූ අතර 2018 වසරේ 8856ක රෝගීන් ප්‍රමාණයක් වර්තාගතවී ඇත. ක්ෂය රෝගීන්, නව ක්ෂය රෝගීන් සහ නැවත ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් වශයෙන් කොටස් දෙකකට වර්ග කෙරේ. මේ අතුරින් බහුතරව නව ක්ෂය රෝගීන් වේ. එය සමස්තයක් වශයෙන් ගත්විට 85%ක පමණ ප්‍රතිශතයකි. එම රෝගීන් අතර ද වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පෙනහලුගත ක්ෂය රෝගීන් ය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙන්වාදෙන දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ වසරකට ක්ෂය රෝගීන් 13,000ක (දහතුන් දහසක්) පමණ ප්‍රමාණයක් වර්තා වේ. ඒ අනුව වසරකට අප රට තුළ සිටින ක්ෂය රෝගීන් 4000ක පමණ ප්‍රමාණයක් මහහැරෙනු ඇත. ළමා ක්ෂය රෝගීන් පිළිබඳ සලකා බැලීමේ දී වසරකට රෝගීන් 300 නොඉක්මවන සංඛ්‍යාවක් හඳුනාගැනෙන අතර එය සමස්ත ක්ෂය රෝගීන් සමග සන්සන්දනය කිරීමේ දී 3.5%ත්, 4%ත් අතර ප්‍රතිශතයකි. එයිනුත් 1%ක පමණ ප්‍රතිශතයක් මගහැරී ඇත.

සති දෙකකට වඩා කල්පවතින කැස්ස ක්ෂය රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස හඳුනාගැනේ. එයට අමතරව කැස්සත් සමග මඳ උණ ගතිය, කෑම අරුචිය, ශරීරය කෘශවීම, රාත්‍රී කාලයේ අධික ලෙස දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ ද පහලවීමට පුළුවන. එවැනි රෝග ලක්ෂණ පහල නොවී ශ්වසන පද්ධතියට අදාළ රෝග ලක්ෂණ ද ක්ෂය රෝගියෙකුට ඇතිවිය හැකිය. අධික මහන්සිය, පපුවේ හටගන්නා වේදනාව, කෙළ සමග රුධිරය පිටවීම වැනි රෝග ලක්ෂණ ඒ අතර පෙන්වාදිය හැකිය. මීට අමතරව අප මුලින් හැඳින් වූ අවදානම් කාණ්ඩයේ රෝගීන් පිළිබඳව පරීක්ෂා කිරීමේ දී සති දෙකකට වඩා අඩු කාලයක් කැස්ස පැවතීම ද ක්ෂය රෝගයේ ලක්ෂණයක් විය හැකිය. මෙය වැඩිහිටි ක්ෂය රෝගයේ ලක්ෂණයයි. ළමා ක්ෂය රෝගීන් තුළ වැඩිහිටි ක්ෂය රෝගීන් තුළ හඳුනාගැනෙන රෝග ලක්ෂණ දක්නට නොලැබේ. වයසට අදාළ වර්ධනය නොමැතිවීම, දිගුකාලීන පවතින සෙම අමාරුව වැනි රෝග ලක්ෂණ ළමා ක්ෂය රෝගය ලෙස සැක කළ හැකිය. එය වෛද්‍යවරුන් විසින් තීරණය කර හඳුනාගැනීම සිදුකරයි.

සාමාන්‍යයෙන් අප රටේ ඩෙංගු රෝගය නිසා සිදුවන මරණ ප්‍රමාණයටත් වඩා වැඩි මරණ අනුපාතිකයක් ක්‍ෂය රෝගය හේතුවෙන් වසරක් තුළ වාර්තා වන අතර එය ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ නම් 6.8% – 7% වැනි අගයකි. මෙම මරණවලට ප්‍රධානතම හේතුව වන්නේ ප්‍රමාදවී ප්‍රතිකාර සඳහා යොමුවීම සහ වෙනත් රෝග සමගම ක්‍ෂය රෝගය එකට මතුවීමයි. මෙහිදී ප්‍රමාදවී පැමිණීම යන්නෙන් අදහස් කරනුයේ නිසි ප්‍රතිකාරයන්ට යොමු නොවීම නැතහොත් වෙනත් විවිධ ඖෂධයන් ලබාගැනීම එනම් කැස්ස සඳහා සිරප් වර්ග සහ විවිධ ප්‍රතිජීවක ඖෂධ වැනි දෑ ලබාගනිමින් අවසානයේ පෙනහලු දෙකට ම හානි වූ පසු රෝහල්ගතවීමයි. එවැනි අවස්ථාවක දී වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ ගත්ත ද ඇතැම් විට රෝගීන් සුව කිරීම අසීරු විය හැකියි. මෙවැනි තත්ත්වයන් ඇතිවීමෙහිලා රෝගීයාගේ නොසැලකිලිමත්භාවය මෙන්ම ඇතැම් විට රෝගීයා යොමුවූ වෛද්‍යවරයා රෝගය නිවැරදිව නිශ්චය කිරීමට නොහැකිවීම වැනි ගැටලු හේතු විය හැකිය. එමෙන්ම ක්‍ෂය රෝගය හේතුවෙන් ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තාවීම කෙරෙහි බලපාන අනෙක් සාධකය ලෙස ඉහත අප සඳහන් කරන ලද වෙනත් රෝග සමග ම ක්‍ෂය රෝගය වැලඳීම යන කරුණ පිළිබඳ තවදුරටත් විග්‍රහ කළහොත්, දියවැඩියාව රෝගය සහිත යම් පුද්ගලයෙකුට කැස්ස පවතින්නේ නම් එය ක්‍ෂය රෝගය විය හැකි අතර දියවැඩියාව සහ ක්‍ෂය රෝගය, වකුගඩු රෝග සහ ක්‍ෂය රෝගය එක්ව පැමිණියහොත් එම රෝගයන් පාලනය කිරීමෙහි එනම් සායනික ප්‍රතිකාර ලබාදීමෙහි යම් අපහසුතාවක් පැනනැගිය හැකිය. එවැනි රෝග පසුබිමක් සහිත පුද්ගලයන් කල්තියා රෝග ප්‍රතිකාරයන්ට යොමුවීමෙන් මෙම තත්ත්වයන්හි යම් පාලනයක් ලබාගැනීමට හැකි වනු ඇත. එබැවින් සමාජය තුළ ක්‍ෂය රෝගය පිළිබඳ හොඳ අවබෝධයක් ගොඩනැගී පවතින්නේ නම් සහ අනෙක් අයට සහයෝගය දී කටයුතු කරන්නේ නම් මෙලෙස ක්‍ෂය රෝගය නිසා සිදුවිය හැකි මරණ බොහෝදුරට අවම කර ගත හැකිය.

HIV රෝගය සහ ක්‍ෂය රෝගය බද්ධ රෝග ලෙස හැඳින්විය හැකිය. මන්දයත් HIV රෝගීන්ගේ ප්‍රතිශක්තිය අඩුවීම හේතුවෙන් ක්‍ෂය රෝගය ක්‍ෂය රෝගය වැලඳිය හැකි අතර ක්‍ෂය රෝග රෝගීන්ට ද HIV රෝගය වැලඳීමෙහි අවදානමක් පවතියි. එබැවින් අපි සෑම ක්‍ෂය රෝග රෝගියෙකු ම HIV රෝගය පිළිබඳ පර්යේෂණ සඳහාත් සෑම HIV රෝගියෙකු ම ක්‍ෂය රෝගය පිළිබඳ පර්යේෂණ සඳහාත් යොමුකරයි. සාමාන්‍යයෙන් අප රට තුළ මෙවැනි රෝගීන් වාර්තාවන්නේ 30 -34 වැනි ප්‍රමාණයක් පමණක් වන අතර එය ඉතා හොඳ ප්‍රවණතාවයකි.

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් පැතිකඩක් වන්නේ බහු ඖෂධ ප්‍රතිරෝධ ක්‍ෂය රෝගයයි. අනෙක් රටවලට සාපේක්ෂව මෙම තත්ත්වය අප රට තුළ ප්‍රධාන ගැටලුවක් ලෙස නොසැලකේ. ලංකාව ක්‍ෂය රෝගය පිළිබඳ මධ්‍යම බරක් සහිත රටකි. ඉන්දියාව වැනි රටවල් තුළ මෙම තත්ත්වය වෙනස් ය. එනම් එම රට තුළ ක්‍ෂය රෝගීන් විශාල පිරිසක් වාර්තා වේ. එහෙත් අප රට තුළ සිදුවන විවිධ සංචාරක සහ සංක්‍රමණ කටයුතු හේතුවෙන් ක්‍ෂය රෝගය ව්‍යාප්තවීමෙහිලා අප රට ද යම් අවදානමක පසුවේ. මන්දයත් බංග්ලාදේශය, ඉන්දියාව, චීනය වැනි රටවල ක්‍ෂය රෝග රෝගීන් ඉතා බහුල ය. ලංකාව තුළ බහු ඖෂධ ප්‍රතිරෝග ක්‍ෂය රෝග රෝගීන් සාමාන්‍යයෙන් 25ක් පමණ වාර්තාවන අතර නැවත ප්‍රතිකාර ලබාගන්නා පිරිස මෙන්ම අලුතින් ම සොයාගන්නා බහු ඖෂධ ප්‍රතිරෝග ක්‍ෂය රෝගීන් ද සිටින අතර එහි යම් අවදානමක් පවතියි. එනම් බහු ඖෂධ ප්‍රතිරෝග ක්‍ෂය රෝගය වැලඳෙන්නේ ඖෂධ නිසි පරිදි ලබා නොගැනීම නිසා බව සාමාන්‍ය මතයයි. එහෙත් වර්තමානයේ දී පළමුවර ඖෂධ ලබාදීමේ දී ම එම විසබීජය බහු ඖෂධ ක්‍ෂය රෝගය බව සොයාගැනෙන අතර එහි ඇති අවදානම වන්නේ, එහිදී එවැනි රෝගියෙකු හරහා තවත් අයෙකුට සම්ප්‍රේෂණය වන්නේ ද බහු ඖෂධ ක්‍ෂය රෝගය බැවිනි. එමනිසා එවැනි රෝගීන් හැකිතාක් කලින් හදුනාගැනීම සිදුකිරීමට කටයුතු කෙරෙයි.

ක්‍ෂය රෝගය පැතිරීම පිළිබඳව සඳහන් කිරීමේ දී සමස්ත ක්‍ෂය රෝග රෝගීන්ගෙන් 40%ක් ම වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි. ඉන් 25%ක් ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙහි ද වැඩිම ක්‍ෂය රෝග රොගීන් ප්‍රමාණයක් වාර්තාවන්නේ කොළඹ මහා නගර සීමාව තුළ ය. ඒ සඳහා හේතු සාදක ගණනාවක් බලපාන අතර පෙර ලිපිය හරහා සඳහන් කළ පරිදිම චර්යාත්මක පුරුදු, එනම් මත්ද්‍රව්‍ය සහ මත්කුඩුවලට ඇබ්බැහි වූ සැලකිය යුතු පිරිසක් මෙම ප්‍රදේශවල ජීවත්වීම, ස්ථිර පදිංචිකරුවන් නොවන සංක්‍රමණික පිරිස් වැඩි වශයෙන් මෙම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වීම වැනි හේතූන් දැක්විය හැකිය.

එමෙන්ම 2025 වන විට ක්‍ෂය රෝගය මෙරටින් තුරන් කිරිමේ අරමුණු සාක්ෂාත් කරගැනීමේ ඉලක්කයක් සහ බලාපොරොත්තුවක් අප සතු වේ. දැනට ක්‍ෂය රෝග රෝගීන් 100 000 : 39 වැනි රෝගීන් ප්‍රමාණයක් අප රට තුළ වාර්තා වන අතර මෙම ප්‍රමාණය 2025 වන විට රෝගීන් ප්‍රමාණය 100 000 : 10 දක්වා අඩු කරගැනීම මෙහිදී තුරන් කිරීම යන්නෙන් අදහස් කෙරෙයි. එයට ප්‍රධාන ඉලක්ක දෙකකි. එනම් 2015 වාර්තා වූ රොගී සංඛ්‍යාවෙන් 90%ක රෝගී ප්‍රමාණයක් අඩු කිරීම සහ 2015 වාර්තා වූ මරණ ප්‍රමාණයෙන් 95%ක මරණ අඩු කිරීමයි. මෙය සංඛ්‍යාත්මක අගයන් හරහා දක්වන්නේ නම් 2015 වසරේ දී ක්‍ෂය රෝග රෝගීන් 13 652 ක් ඇස්තමේන්තු කර ඇති අතර එය 1365 දක්වා අඩු කළ යුතු අතර දැනට 8000 – 9000ත් පමණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ. එමෙන්ම මරණ සංඛ්‍යාව 2015 වසරේ දී 578ක් වාර්තා වී ඇති අතර එය 32 දක්වා අවම කළ යුතුය. එනම් 2025 වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ක්‍ෂය රෝග රෝගීන් සංඛ්‍යාව 1500ට වඩා අඩු කිරීමටත් මරණ සංඛ්‍යාව 50ට වඩා අඩු කිරීමටත් අපේක්ෂා කෙරෙන අතර එය ඉතා අසීරු කටයුත්තක් වන බැවින් ඒ සඳහා ඔබ සැමගේ ම සහයෝගය අත්‍යවශ්‍ය වනු ඇත. මෙහිදී විශාල වශයෙන් බලාපොරොත්තු වන්නේ රෝගීන් සොයාගැනීම හැකිතාක් ඉහළ දැමීමයි. එනම් රෝගීන් සොයාගත් විට රෝගය වෙනත් පුද්ගලයන්ට සම්ප්‍රේෂණයවීම වැළකෙන අතර එහිදී අවසානයේ රෝගය සම්ප්‍රේෂණය අවම වන අවස්ථාවක් උදාවනු ඇත. එබැවින් වර්තමානයේ දී රොහල් වෙත පැමිණෙන රෝගීන් අතුරින් ක්‍ෂය රෝගය ලෙස සැක සහිත රෝගීන් සෙම් පටල පරීක්ෂාවට සහ එක්ස්-රේ පරීක්ෂාව යන පරීක්ෂණ ද්විත්වය හරහා ම පරීක්ෂාවට ලක් කිරීම සිදුකරනු ලැබේ. එමෙන්ම මෙම ක්‍ෂය රෝගය හදුනාගැනිමේ සේවාව සඳහා දිස්ත්‍රික්ක ළය චික්ත්සාගාර 26ට අමතරව දිවයින පුරා සෙම පටල පරීක්ෂණ මධ්‍යස්ථාන 164ක් පිහිටවා ඇති අතර සියලු ම රෝහල්වල එනම්, ශික්ෂණ රොහල්වල සිට දිස්ත්‍රික් රෝහල් මට්ටම දක්වා ඇති රෝහල්වල ධඡෘ හරහා එම රෝගීන් අදාළ වෛද්‍යවරුන් වෙත සහ පරීක්ෂණ වෙත යොමුකිරීම සිදුකරනු ලැබේ. මෙම ක්‍රියාදාමය හරහා රෝගී වැඩි පිරිසක් සොයාගැනීමට හැකියාව ලැබී ඇත. ළය චිකිත්සාගාර වෙත යාමට පවතින දුර සහ ආර්ථික අපහසුතා වැනි කාරණා හේතුකොටගෙන ඇතැම් විට රෝගීන් මගහැරෙන අතර මෙලෙස ආසන්නතම රෝහල් තළ ක්‍ෂය රෝග පරීක්ෂාව සඳහා පහසුකම් පිහිටවීම තුළින් එවැනි තත්ත්වයක් උද්ගතවීම අවම කර ගත හැකිය. ඊට අමතරව රෝග ලක්ෂණ රහිත අවදානම් කාණ්ඩයේ සිටින පිරිස් පරීක්ෂාවට ලක් කිරීම සඳහා ද විවිධ වැඩසහන් දියත්කරනු ලැබේ. ඒ අනුව දිවයින පුරා පිහිටා ඇති සියලු ම බන්ධනාගාර ආශ්‍රිතව මෙම පරීක්ෂණ සිදුකිරීම දැනට මෙම වැඩසටහන යටතේ සිදුකරනු ලැබේ. තව ද හදුනාගන්නා රෝගීන්ගේ නිවැසියන් ද පරීක්ෂාවට ලක් කිරීම මෙහිදී සිදුකරනු ලබයි. මෙම දේවල්වලට අමතරව ලංකාවට මාස 6ට වඩා වීසා ඉල්ලුම් කරන සියලුදෙනා head screening එකක් සිදුකළ යුතුය. මන්දයත් වර්තමානය වන විට ඉන්දියාව, චීනය, පිලිපීනය සහ බංග්ලාදේශය වැනි රටවලින් විදෙස් ශ්‍රමිකයන් විශාල වශයෙන් අප රටට සංක්‍රමණය වන අතර ඒවා ක්‍ෂය රෝගය ඉතා බහුල රටවල් සේ සැලකේ. එවිට එම සංක්‍රමණිකයන් හරහා මෙය අප රට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් මෙම මාස 6ට වඩා වීසා ඉල්ලුම් කරන සියලුදෙනා head screening එකක් ලබාගැනීම අනිවාර්ය කිරීම මගින් එවැනි තත්ත්වයන් යම් මට්ටමක් දක්වා අවම කර ගත හැකිය.

තව ද කාලයක් පුරාවට අප සිදුකළ සෙම පටල පරීක්ෂාවට අමතරව ඊට වඩා වේගවත්ව ප්‍රත්ඵල ලබාගත හැකි පරීක්ෂාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද අනුමත රෝග නිර්ණය කිරීමේ පරීක්ෂාවක් වන ඨැබැංචැරඑ පරීක්ෂාව සෙම පටල පරීක්ෂාවට වඩා ඉතා සංවේදී පරීක්ෂාවක් වන අතර මෙම රෝගය ඉතා නිවැරදිව සහ පහසුවෙන් ඒ ඔස්සේ නිර්ණය කිරීමට හැකිය. මේ වන විට ගෝලීය අරමුදල් සහ රජයේ අරමුදල් දායකත්වයෙන් එම පරීක්ෂණ කට්ටල ලබාගෙන එය ලංකාව පුරා මධ්‍යස්ථාන 30ක ස්ථාපිත කර ඇත. එමෙන්ම ඩිජිටල් එක්ස්-රේ පරීක්ෂාව හරහා ද සාමාන්‍ය එක්ස්-රේ පරීක්ෂාවකට වඩා පහසුකම් සහිතව රෝගය හදුනාගැනීමට හැකියාව ඇති අතර එම පසුකම් ද බොහෝ මධ්‍යස්ථාන ආශ්‍රිතව පිහිටවා ඇත. මෙම වසරේ සිට ආසාදිතයන් හදුනාගෙන ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කෙරෙන අතර අවදානම් සහිත පුද්ගලයන් මෙන්ම ආසාදිතයන්ගේ නිවැසියන් හා ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයන් ආදී වශයෙන් පරීක්ෂාවට ලක්කරමින් ආසාදිතයන් ලෙස හඳුනාගැනෙන්නේ නම් මතු දිනක ඔවුන්ට ක්‍ෂය රෝගය වැලඳීම වළක්වනු පිණිස ඒ සඳහා නිවාරණ ඖෂධ ලබාදීම සිදුකරනු ලබයි. ඊට අමතරව සායනික කාණ්ඩ නිදසුන් ලෙස වකුගඩු රෝගීන්, වැනි කාණ්ඩ මෙන්ම අවයව බද්ධ කරන පුද්ගලයන් ද මෙලෙස පරීක්ෂාවට ලක්කිරීම සිදුකරනු ලබයි. තව ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් දී ඇති පරිදි ම ඉදිරීයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත පිරිස් ද මෙම පර්යේෂණ සඳහා යොමු කිරීම සිදු කෙරෙයි.

මෙම රෝගය අප රටෙන් තුරන් කිරීමේ කාර්යභාරය සඳහා මෙරට සෞඛ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ මෙන්ම සමස්ත ප්‍රජාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වන අතර නිරෝගිමත් හෙටක් වෙනුවෙන් ඔබ සැමගේ දායකත්වය අපේක්ෂා කෙරේ. “මෙය ක්‍ෂය රෝගය තුරන් කිරීමට කාලයයි”.

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිෂායා කාදර්
(ක්ෂය රෝග සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන)

සංවාදය – ඉසුරු සුධාරක දිසානායක
සටහන – හේමන්ත කුමාර ජයසිංහ / පියුමිලා අරවින්දි