Health Guide

ගර්භණී සමයේ ඇතිවන අධි රුධිර පීඩනය පිළිබඳව ඔබ දැනුවත්ද?

ගර්භණී සමයේ ඇතිවන අධි රුධිර පීඩනය අපේ රටේ ගර්භණී මව්වරුන්ට ඇතිවන දැවැන්ත වෛද්‍ය ප‍්‍රශ්නයක් ලෙස හැඳින්විය හැකිය. එසේ හැඳින්වීමට හේතුව වන්නේ, අතීතයේ දී අපේ රටේ මාතෘ මරණ සිදුවීමෙහිලා මූලිකව ම හේතු වුවේ අධික ලෙස රුධිර වහනයවීම වූවත්, වර්තමානය වන විට අධි රුධිර පීඩන සංකූලතාව හේතුවෙන් මාතෘ මරණ බහුල වශයෙන් සිදුවීමයි. මෙලෙස අධි රුධිර පීඩනය ඇතිවීමෙහිලා බලපාන සාධක කිහිපයකි. නූතන සමාජයේ වෙනස්කම් සහ ජීවන රටාව තුළ ඇති වී තිබෙන වෙනස්කම් නිසා රුධිර පීඩනය අද සමාජය තුළ බහුලව දකින්නට ලැබෙන තත්ත්වයක් බවට පත් වී තිබේ. එමෙන් ම දියවැඩියා රෝගය හේතුවෙන් ද අධි රුධිර පීඩනය ඇති වන අතර කාන්තාවන් තරමක් වයස ඉක්මවා විවාහවීම නිසා ද මෙවැනි රුධිර පීඩන තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාවක් පවතී. වර්තමානයේ දී සති 11 -14 තළ සිදුකෙරෙන ස්කෑන් (Scan) පරීක්ෂණ මගින් ගර්භාෂයේ රුධිර ගමනාගමනය නිරීක්ෂණය කර අධි රුධිර පීඩනය ඇතිවීමේ අවධානමක් සහිත මව්වරුන් සඳහා අවශ්‍ය පූර්ව ප‍්‍රතිකර්මයන් මූලික අවධිය තුළ ම සිදුකිරීමට කටයුතු කිරීම මගින් අධි රුධිර පීඩන තත්ත්වයන් වළක්වාගැනීමටත්, පාලනය කිරීමටත් අවස්ථාව ලැබී තිබේ.

ගර්භණී කාන්තාවන් සඳහා බලපානු ලබන රුධිර පීඩනයෙහි මූලික වශයෙන් අවස්ථා කිහිපයක් හදුනාගත හැකිය.

x ගර්භණී තත්ත්වයේ දී ම මතුවන රුධිර පීඩනය නොහොත් Pregnancy Induced Hypertension (PIH) – (මෙය සාමාන්‍යයෙනන් සති 26න් පමණ පසු මතු වේ.).

x රුධිර පීඩනය පෙර සිටම තිබුණු කාන්තාවන් ගර්භණී තත්ත්වයට පත්වීම. (මෙහි දී ඔවුන්ට පෙර සිටම තිබූ රුධිර පීඩනයට අමතරව ගර්භණී තත්ත්වයේ ඇතිවන රුධිර පීඩනය ද ඇති වී තත්ත්වය තවදුරටත් සංකීර්ණ විය හැකිය.).

රුධිර පීඩනය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් සංඛ්‍යාත්මක මිනුම්වලට අනුව විශේෂයෙන් ම පළමු සති 12 තුළ ගර්භණී මවකගේ රුධිර පීඩනයෙහි රසදිය මිලිමීටර 10 පමණ අඩුවීමක් බලාපොරොත්තු වේ. ගර්භණී තත්ත්වයට පත් නොවුණු පුද්ගලයෙකුට සාපේක්ෂව ගර්භණී මවකගේ රුධිර පීඩනයෙහි සුළු වැඩිවීමක් වුව ද රුධිර පීඩනය ලෙස සලකනු ලබයි. ඒ අනුව ගර්භණී මවකගේ රුධිර පීඩනය රසදිය මිලිමීටර 140 – 90 යන අගය පරාසය ගර්භණී අවධියේ දී අධි රුධිර පීඩනය ලෙස සැලකේ.

මෙම තත්ත්වය සඳහා විවිධ සරල ප‍්‍රතිකාර ක‍්‍රම තිබේ. එනම් Aldomat සහ Nifedipine වැනි ඖෂධ මෙහ දී නිර්දේශ කර ලබාදිය හැකිය. ඊට අමතරව අධික අවදානමක් සහිත ගර්භණී මවකට ආහාර වේලකින් පසු ඇස්පී‍්‍රන් පෙති මි.ලි. 60 – 100 අතර ප‍්‍රමාණයක් (සාමාන්‍යයෙන් මි.ලි. 75 පමණ) ලබාදීම ද සිදුකළ හැකිය.

ගර්භණී සමයේ ඇතිවන රුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතා

x කළලයේ ජනිතයාගේ වර්ධනය පිළිබඳ මෙවැනි තත්ත්වයක් හමුවේ විවිධ ගැටලු ඇතිවිය හැකිය. විශේෂයෙන් ම දරුවාගේ බර අඩු වී දිගින් වැඩි සහ අඩු බර සහිත දරුවෙකු බිහිවිය හැකිය.

x එමෙන් ම අධි රුධිර පිඩන තත්ත්වය නිසා ම ගර්භණී තත්ත්වය මැදින් නවතා දමා දරුවා නිසි කාලයට පෙර ප‍්‍රසූත කිරීමට කටයුතු කිරීමට ද ඇතැම් අවස්ථාවල දී සිදු වේ. එවිට දරුවා අඩු කාලයකින් ඉපදීම නිසා ඇතිවන සංකූලතාවලට ද මුහුණදීමට සිදු වේ.

x ඉතාමත් කලාතුරකින් වැදෑමහ වෙන්වීමේ තත්ත්වයක් ඇතිවිය හැකි අතර එවැනි අවස්ථාවක දී දරුවාගේ බර අඩුවීමට මෙන් ම දරුවා මිය යාමට හැකිය.

x අධික රුධිර පීඩනය නිසා මවට ඇතිවන සංකූලතා පිළිබඳව සාකච්ඡා කිරීමේ දී මවගේ සාමාන්‍ය සෞඛ්‍ය අක්මාවේ ක‍්‍රියාකාරීත්වය ස්නායු ආශි‍්‍රත ගැටලූ ඇතිවීමෙහිලා අධික රුධිර පීඩනය හේතු වේ. මෙහිදී අධි රුධිර පීඩනය සමග ම ඇතිවන අක්මාවේ ගැටලු හේතුවෙන් මව Hellp Syndrome වැනි සංකූලතා තත්ත්වයකට පත් ව මියයාමට වුව ද හැකිය. තව ද වකුගඩුවල ක‍්‍රියාකාරීත්වයට බාධා ඇති වී වකුගඩු දුර්වලවීම නිසා කාන්තාව ඉදිමීම වැනි තත්ත්වයන් ද ඇතිවිය හැකිය. එමෙන් ම අධි රුධිර පීඩනය නිසා රුධිර වාහිනි ආශි‍්‍රතව ඇතිවන ගැටලු නිසා හෘදය වස්තුවහි දුර්වලතා ද ඇතිවිය හැකිය.

x රුධිර පීඩනය ඉතා ඉහළ යාම නිසා ඇතිවන අපස්මාරය වැනි තත්ත්වයක් ඇතිවිය හැකි අතර එය අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි භයානක ම තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. එහි දී කාන්තාවගේ අක්මාව, වකුගඩු, මොළය හා හෘදය වැනි ඉන්ද්‍රියන් රැසකට ම එකවර විශාල බලපෑමක් ඇතිකරයි. ඉහත සඳහන් කළ පරිදි ම සති 11 – 14 අතර සිදුකරන ස්කෑන් පරීක්ෂණය හරහා අධි රුධිර පීඩනයක් ඇතිවීමේ අවධානමක් පවතින කාන්තාවන් හඳුනාගෙන ඇස්ප‍්‍රීන් පෙති භාවිතයට යොමුකිරීම වැනි සරල ප‍්‍රතිකර්මයන්ට යොමුවීම ඉතාමත් කාලෝචිත වන්නේ ඒ මඟින් තත්ත්වය තරමක් දුරට පාලනය කර ගැනීමට හැකිවන බැවිනි. සාමාන්‍යයෙන් ගර්භණි මුල් අවධිය තුළ මසකට වරක් සහ පසු කාලයේ දී සතියකට වරක් ගර්භණි කාන්තාවකගේ රුධිර පීඩනය මනිනු ලැබේ.

අපේ රට තුළ සාමාන්‍යයෙන් ගර්භණී කාන්තාවකගේ රුධිර පීඩනය ප‍්‍රසූත අවස්ථාවක දී සැලකිය යුතු ප‍්‍රමාණයකින් ඉහළ යාමක් දැකගත හැකිය. යුරෝපීය රටවල නම් මෙවැනි තත්ත්වයක් දැකගැනීමට හැකිවන්නේ දරු ප‍්‍රසූතියෙන් පසුවයි. එම නිසා කාන්තාව දරුවා බිහිකළ පසුවත් සති 6ක් පමණ ගත වන තුරු රුධිර පිඩනය මැනීම සිදුකිරීම වැදගත් ය. විශේෂයෙන් ම රුධිර පීඩනය ඇතිවීමේ ප‍්‍රවණතාවක් ඇති කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප‍්‍රසුතියෙන් පසුව ද අවධානය යොමු කිරීම වැදගත් ය.

පළමු ගර්භණී අවස්ථාව තුළ රුධිර පීඩනය ඇතිවූවා නම් දෙවන සහ ඉන් පසුව එළඹෙන ගර්භණී අවස්ථාවන්වල දී නැවතත් අධි රුධිර පීඩනය ඇතිවීම කෙරෙහි පවතින්නේ අඩු සම්භාවිතාවකි. එහෙත් ගර්භණී අවධියට පෙර සිට ම අධි රුධිර පීඩනය තත්ත්වයක සිටි කාන්තාවක් ගර්භණී තත්ත්වයට පත්වුවහොත් දිගින් දිගට ම ඇගේ රුධිර පීඩනය උච්චත්වයට පත්වීම කෙරෙහි වැඩි අවදානමක් පවතියි.

රුධිර පීඩනය පිළිබඳ විවිධ මතයන් පවතී. එහි දී අක්මාවෙ ගැටලු සමග රුධිර පීඩනය ඇතිවන බවට ද යම් මතයක් ඇතත්, ඉන් පළමුව සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත නිගමනයකට සහ අවබෝධයකට පැමිණ නොමැත. අදාළ වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් නිසි ප‍්‍රතිකර්මයන්ට යොමුවීම හරහා ගර්භණී අවධිය තුළ ඇතිවන අධි රුධිර පීඩනය සහ ඒ ආශි‍්‍රතව ඇති විය හැකි අනෙකුත් සංකූලතා පාලනය කර ගැනීමට හැකි වනු ඇත.

ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නලින්ද රොඩ්‍රිගෝ

සටහන – පියුමිලා අරවින්දි