Health Guide

කලලයේ වර්ධනය හෝ බර අඩුවීම (IUGR – Intrauterine Growth Restriction)

අප රට තුළ සෑම වර්ෂයක ම පාහේ දළ උපත් බර වැඩිවීමක් දක්නට ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සාමාජයේ දළ උපත් බර කි.ග්‍රෑ. 2.9 පමණ වේ. මීට පෙර වර්ෂ 10-15 අතර කාලය තුළ දක්නට ලැබුණු 2.5 අගයක් ගත් දළ උපත් බරට සාපේක්ෂව මෙය ඉතා සාර්ථක පියවරකි. කුස තුළ සිටින දරුවාගේ වර්ධනය අඩුවීම හරහා විවිධ ගැටලු රැසක් උද්ගත විය හැකිය. එම ගැටලු අතුරින් මෙහි උච්චතම අවස්ථාව වන්නේ කුස තුළ සිටින දරුවා කුස තුළ දී ම මියයාමයි. කුස තුළ දී ම දරුවන් මිය යන ප්‍රතිශතය ගත් විට, එහි වැඩි කොටසක් කෙරෙහි හේතුවී ඇත්තේ කුස තුළ වැඩෙන කලලයේ බර වැඩිවීමෙහි අඩුපාඩු වෛද්‍යවරුන්ට සොයාගැනීමට නොහැකිවීම බවට අද වන විට සලකනු ලැබේ. එබැවින් වර්ධනය මැනීම සඳහා සිදුකෙරෙන ස්කෑන් පරීක්ෂණවල දී බර ගැන යම්කිසි හැඟීමක් තබාගනිමින් කුස තුළ වැඩෙන ජනිතයාගේ වර්ධනය අඩුවන අවස්ථා ඉතා ඉක්මනින් සොයාබැලීම සහ ඉතා උග්‍ර ලෙස වර්ධනය අඩුවීම පිළිබඳ ඉක්මනින් අවබෝධ කරගැනීම යන කාරණු පිළිබඳ අවධානය යොමු කිරීම කුස තුළදීම දරුවා මිය යාමේ තත්ත්වයන් මගහරවාගැනීමට ඉවහල්වනු ඇත.

කලලයේ පළමු සති 14 තුළ කුස තුළ සිටින දරුවාගේ සෛල වර්ධනය හරහා දරුවා වර්ධනය වේ. ඉන් අනතුරුව කලලය වර්ධනය වනුයේ කලලයේ සෛලවල පරිමාව වැඩිවී සෛල අතර ඇති ද්‍රව්‍යවල පරිමාව වැඩිවීම ඔස්සේ ය. මෙහි දී මවගේ පෝෂණය ඉතා වැදගත් වේ. එමෙන් ම මෙහි දී මවගේ පෝෂණය දරුවාට ලබාදෙන අවයවය වන්නේ වැදෑමහ වන බැවින් එම අවයවයෙහි ඇති දුර්වලතා ද දරුවාගේ පෝෂණය පිළිබඳ ඍජුව ම බලපානු ඇත.

තව ද විවිධ මාතෘ හේතූන් ද දරුවාගේ වර්ධන ගැටලු ඇතිවීම කෙරෙහි හේතු කාරක විය හැකිය. එනම් අධි රුධිර පිඩනය වැනි තත්ත්වයක් මවට ඇති විට ද වැදෑමහ ආශ්‍රිත සංකූලතා ඇති විය හැකිය. එමෙන් ම මවට යම් ශ්වසන රෝගයක් ඇති විට මවගේ පෙනහලු තුළට ද නිසිාකාරව ඔක්සිජන් ගමන් නොගැනීම නිසා දරුවාට ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය ද අඩු විය හැකිය. මවට දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ඇත්නම් එවැනි තත්ත්වවල දී වැදෑමහහි ක්‍රියාකාරීත්වය නිසියාකාරව සිදුනොවිය හැකි අතර ඒ හේතුවෙන් ද කුස තුළ සිටින ජනිතයාගේ බර සහ වර්ධනය අඩුවිය හැකිය.

වර්ධනය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී අපට මැනිය හැකි වර්ධන සාධකයක් ලෙස බර හැඳින්විය හැකියි. එම සාධකයට අමතරව පරිණතභාවය ද කලලයේ වර්ධනය පිළිබඳ වැදගත් සාධකයකි. මෙම පරිණතභාවය සඳහා කලලයේ සති ගණන වැඩිවීම සහ විවිධ අවයවයන්ගේ පරිණතවීමේ වේගය ද වැදගත් වන අතර දියවැඩියාව වැනි රෝගී තත්ත්වයක් යටතේ කලලයේ පෙනහලු පරිණතවීමේ යම් ප්‍රමාදයක් ඇතිවිය හැකියි. එබැවින් කලලයේ අවයවවල පරිණතවීමත් වර්ධනයෙහි ම කොටසක් ලෙස දැක්විය හැකියි.

වර්ධනයේ ඇති තවත් අංශයක් වන්නේ කායික ක්‍රියාකාරීත්වයේ වර්ධනයයි. මෙහි දී අවධානය දක්වන සාධක වන්නේ කලලය වටා ඇති තරලයේ පරිමාව, දරුවාගේ හුස්මගැනීමේ ස්වභාවය, දරුවා දඟලන ප්‍රමාණය, එමෙන් ම දරුවා පිහිටන ඉරියව්, එනම් දරුවා ගොඩක් ඇකිලුණු දරුවෙක් ද දරදඬු දරුවෙක්ද යන්න යි. එමෙන් ම අවසාන සාධකය වන්නේ දරුවාගේ හෘද ස්පන්දනය මැනීමයි (CTB). මෙම සාදක හරහා දරුවාගේ ක්‍රියාකාරීත්වය සහ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ යම් අදහසක් ලබාගත හැකිය.

වර්ධනයේ දී සැමවිට ම බර පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ ද ඒ හා සමානව ම අවධානය ලබාදිය යුතු තවත් සාධකයක් වන්නේ කලලය වටා ඇති තරලයෙහි ප්‍රමාණයයි. ඉහත සඳහන් කළ දරුවාගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ කරුණු අතරින් ද වඩාත් වැදගත් සාධකය වන්නේ මෙයයි. දරුවාගේ වකුගඩුවලට ගමන්ගන්නා රුධිරයෙහි ඇති අඩුපාකම් මෙම තරලය අඩුවීම සඳහා බහුල වශයෙන් බලපානු ලබන හේතුවක් විය හැකිය. දරුවා අපහසුවෙන් කුස තුළ ජීවත්වන්නේ නම් එය වැදෑමහේ, දරුවාගේ හෝ මවගේ ගැටලුවක් විය හැකියි. එහි දී රුධිරයේ වැඩි ප්‍රමාණයක් දරුවාගේ මොළයට සහ හෘදය වස්තුවේ මාංශපේශීවලට යවා අඩු ප්‍රමාණයක් වකුගඩුවලට යැවීමක් සිදුකෙරෙයි. මන්දයත් දරුවාගේ වකුගඩුවන්නේ මවගේ වකුගඩු සහ මවගේ වැදෑමහයි. එවිට අපවිත්‍ර පහ කිරීමක් සිදුවන්නේ මෙම ආම්ලික තරලයටයි. විශේෂයෙන් ම සති 20 පමණ පසු වූ විට ආම්ලික තරලයේ බහුල ම කොටස වන්නේ මෙයයි. අඩුවෙන් මුත්‍රා ද්‍රව්‍ය නිෂ්පාදනය කරන නිසා මෙය බර අඩුවීම පිළිබඳ පෙර නිමිත්තක් ලෙස හදුනාගත හැකි වේ. එවැනි අවස්ථාවල දී වෛද්‍ය විශේෂඥවරු ලෙස වඩාත් සැලකිලිමත් විය යුතුය. මෙහි දී විශේෂ කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමුකරනු ලබයි. පළමු කරුණ වන්නේ කායික වර්ධනයයි. එනම්, දරුවාගේ ඔළුවේ වට ප්‍රමාණය හා විශ්කම්භය මෙන් ම බඩෙ වට ප්‍රමාණය, කකුලේ කලවා අස්ථියේ දිග යනාදියට අමතරව ආම්ලික තරලයේ ප්‍රමාණය පිළිබඳවත් යම්කිසි අවබෝධයක් ලබාගත යුතුයි. මෙවැනි දරුවන්ගේ වර්ධනය අප ප්‍රස්ථාර ගත කළ විට එහි රටා දෙකක් හදුනාගත හැකිය. එහි එක් රටාවක් වන්නේ ආරම්භයේ සිට ම බර අඩුවීමයි. මෙහි දී දරුවාගේ ඔළුව, කද මෙන් ම කකුල් ද හොඳින් නොවැඬේ. මෙම තත්ත්වය අප Symmetrical IUGR ලෙස හදුන්වනු ලබයි. දෙවැනි රටාව තුළ දී දරුවාගේ ඔළුව සහ කකුල ආදිය හොඳින් වැඩෙන නමුත් දරුවාගේ බඩ සැමවිට ම සිහින්ව ඇති බවක් හදුනාගත හැකිය. මෙයට හේතුව වන්නේ දරුවා අපහසුතාවයෙන් සිටින විට දරුවාගේ එදිනෙදා කටයුතු සඳහා අක්මාවේ ඇති මේදය වැඩි වැඩියෙන් එළියට ගැනීම හේතුවෙනි. එවිට දරුවාගේ කදේ අප ලබාගන්නා මිනුම අඩු වේ. අප මෙම තත්ත්වය Asymmetrical IUGR ලෙස හදුන්වනු ලබයි. මෙම අඩු වර්ධනය යන්න කලලයේ සති ගණන අනුව ද සලකාබැලීය යුතුය. සති ගණන අඩුවන විට කලලයේ පෙනහලු මෙන් ම අනෙක් අවයවයන් ද එතරම් පරිණත නොවනු ඇත. මෙවැනි දරුවෙකු කුස තුළ තබාගෙන සිටින විට මිය යා හැකි අතර සති 32/34 පසුකර දිගට ම කුස තුළ තබාගෙන සිටීමෙන් දරුවාගේ බරෙහි සහ කදේ විශ්කම්භයෙහි අඩුවීමක් සිදුවිය හැකි අතර කලලය වටා ඇති තරලය ද අඩු විය හැකිය. එමෙන් ම අඩු පරිණත දරුවෙකු මෙලොවට බිහි කළ විට ද අඩු පරිණතභාවය නිසා දරුවාට ගැටලු රැසකට මුහුණදීමට සිදු වේ. එබැවින් මෙවැනි අවස්ථාවක දී ගැටලු සමතුලනය කරමින් නිවැරදි තීරණවලට යොමුවීම ඉතා වැදගත් ය. මෙවැනි වර්ධනය අඩු දරුවන් මෙලොවට බිහිකරන විට ඇතැම් විට ප්‍රධාන වෛද්‍යවරයාට අමතරව තවත් නාරිවේද විශේෂඥයෙකුගේ සහය ලබාගැනීමට සිදුවනු ඇත. වර්ධනයෙන් අඩු දරුවෙකු බිහිකර එම දරුවා වැඩිවියට පත් වූ පසුව ද ඔවුන් තුළ නිසි ප්‍රතිශක්තිකරණයන් ඇති නොවන බවත් එබැවින් නිරන්තරයෙන් ශ්වසන රෝගවලට භාජනයවිය හැකි බවත්, මානසික වර්ධනයෙහි ද යම්කිසි ප්‍රමාණයක දුර්වලතා ඇතිවිය හැකි බවත් මේ වන විට ලොව තුළ ප්‍රකට වෛද්‍ය මතයකි. එබැවින් අඩුබර ඇති දරුවන් ලබාගැනීම අවම කිරීමෙ අරමුණින් මුල සිට ම ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම වෛද්‍ය උපදෙස් හරහා ලබාදෙනු ඇත. ඒ අනුව ස්කෑන් පරීක්ෂණ සිදුකළ විට එම පරීක්ෂණ මගින් ලබාගන්නා අගයන් ප්‍රස්ථාරයක ලකුණු කිරීමත්, එම ප්‍රස්ථාරය හරහා දරුවාගේ දත්තයන් වෙනස්වන ආකාරය නිරීක්ෂණය කිරීමත් ඉතා වැදගත් වේ.

මෙහි දී මවට සිදුකළ හැකි දේවල් ද කිහිපයකි. විවේකීව සිටීම, ප්‍රෝටින් සහිත ආහාර ලබාගැනීම සහ මානසික ආතතිය අඩුකර ගැනීම දෑ ඒ අතුරින් වැදගත් වේ. විශේෂයෙන් ම වැදෑමහ තුළ යම් ගැටලුවක් ඇත්නම් මේ ඔස්සේ එය අවම කර ගත හැකිය. මෙහි දී විවේකය ඉතා වැදගත් සාධකයක් වන අතර දහවල් ආහාරය ලබාගැනීමෙන් පසු පැයක් හෝ දෙකක් විවේකීව නිදාගත හැකි නම් එය ඉතාමත් වැදගත් ය. යම් රාජකාරියක නියුතු කාන්තාවක් නම් අවම වශයෙන් පහසු ආසනයක් මත හිඳගෙන දවල් ආහාරයෙන් පසු විනාඩි 30ක් හෝ ඇස් දෙක පියාගෙන සිටීමට හැකි නම් එය ද ඉතා යහපත් ය. එමෙන් ම රාත්‍රියේ දී තමන් නිදාගැනීමට යන වේලාව පැයකින හෝ පැය භාගයකින් ඉක්මන් කළ හැකි නම් එය ද වැදගත් ය. මෙහි දී නිදාගැනීම ම අදහස් නොවන අතර ඇදේ සිට විවේකීව පොතක් කියවීම හෝ රූපවාහිනිය නැරඹීම වුව ප්‍රමාණවත් ය. එමෙන් ම විවේක ගැනීම යන්නෙන් ව්‍යායාම නැවැත්වීම අදහස් නොවන අතර ව්‍යායාම ද පුරුදු පරිදි සිදුකළ හැකිය. නැතහොත් පූර්ණ වශයෙන් විවේකීව සිටියහොත් ස්ථූලතාවයට පත්විය හැකි අතර දරුවාට වැදෑමහ හරහා ආහාර හොඳින් ගමන් කිරීමට නම් හොඳ ක්‍රියාකාරීබවක් තිබීම ද අත්‍යවශ්‍ය ය.

එමෙන් ම ප්‍රෝටින් ආහාර විශාල ප්‍රමාණයක් ලබාගැනීම ද මෙහි දී වැදගත් ය. ගර්භණී සමයේ දී බොහෝ කාන්තාවන් මුත්‍රා පහ කිරීම සඳහා පාන්දර කාලයේ දී අවදි වන අතර අප යෝජනා කරන්නේ එවැනි අවස්ථාවල දී ද තැම්බූ බිත්තරයක්, මාළු කෑල්ලක් හෝ යෝගට් වැනි ප්‍රෝටින් සහිත ආහාරයක් ලබාගැනීමට හැකි නම් එය වඩාත් සුදුසු බවයි. තමන්ට ආහාරයක් ගැනීමට හැකි සෑම අවස්ථාවක දී ම හැකිතාක් ප්‍රෝටින් සහිත ආහාරය් ලබාගැනීමට මෙවැනි තත්ත්වයක සිටින මවක් කටයුතු කරන්නේ නම් එය දරුවාගේ පෝෂණය කෙරෙහි ඉවහල්වනු ඇත. මෙම ක්‍රමවේද හරහා යම්තාක් මට්ටමකට වර්ධනය පිළිබඳ ඇතිවිය හැකි සංකූලතා අවම කර ගත හැකිය. එමෙන් ම මෙහි දී දරුවාගේ පෙනහලු පරිණතවීම වෙනුවෙන් ලබාදෙන Dexamethasone injection (Steroid injection) එන්නත ලබාගැනීම තවත් වැදගත්ම පියවරකි. මෙමගින් අඩු බර සහ අඩු සති ගණන සමග ඇතිවන පෙනහලුවල ක්‍රියාකාරීත්වයේ අඩුබව සෑහෙන්න දුරකට අඩුකර ගත හැකිය.

අඩුබර නැතිකර ගැනීම නම් ප්‍රතිපත්තිය මෙම දශක ද්විත්ත්වය තුළ ප්‍රසව වේදය ආශ්‍රිත වැදගත් ප්‍රතිපත්තියක් ලෙස සැලකෙන අතර අඩුබර සහිත දරුවන් නිසි කාලය තුළ මෙලොවට බිහි කිරීම සහ අඩුබර නිසා ඇතිවන මරණ අවම කර ගැනීම යන කාරණා පිළිබඳ වෛද්‍යවරුනගේ වැඩි අවධානය යොමුව ඇත.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නලින්ද රොඩ්‍ර් ගෝ

සටහන – පියුමිලා අරවින්දි