Health Guide

නොමේරූ ළදරු උපත් සිදුවීම කෙරෙහි බලපාන හේතු සාධක

නොමේරූ ළදරු උපතක් ලෙස සැලකෙන වයස් ප්‍රමාණයන් පිළිබඳව සඳහන් කරන විට සාමාන්‍යයෙන් නොමේරූ ළදරු උපතක් ලෙස හැදින්වෙන්නේ සති 20 – 22 සිට සති 30 – 34 දක්වා කාලය තුළ දී සිදුවන දරු උපත් ය. නොමේරූ ළදරු උපත් පිළිබඳව නිර්වචන ඉදිරිපත් කිරීමේ දී එය රටක සමාජමය ව්‍යුහය සහ ඔවුන් සතු සම්පත් ප්‍රමාණය මත එකිනෙකට වෙනස් අන්දමින් නිර්වචනය කෙරෙයි. එනම් ඇතැම් රටක නොමේරූ ළදරු උපත් ලෙස සැලකෙන්නේ සති 24 පසු කාලයේ සිදුවන උපත් විය හැකි අතර සමහර රටවල එය සති 22 පසු ලෙස නිර්වචනය විය හැකිය. මෙහිදී මෙම සති ගණන තීරණය කරනුයේ යම් දරුවෙකු මෙලොවට බිහි වූ පසු එම ජනිතයා ජීවත් කරවීමට ඇති හැකියාව අනුවයි. සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් ලෝකයේ 5% පමණ සාමාන්‍යයෙන් නොමේරූ ළදරු උපත් සිදුවන අතර එම අගයන් විවිධ සමාජ තත්ත්වයන් සහ රෝගී තත්ත්වයන් මත වෙනස්විය හැකියි. එමෙන්ම මේ වන විට නොමේරූ ළදරු උපත් පිළිබඳව ඉදිරිපත්වී ඇති මතයන්ට අනුව සති 34 – 36 පමණ වන විට එතරම් නොමේරූ ස්වභාවයක් නොමැති බවටත් මතයක් පවතියි. එහෙත් සම්පූර්ණ පරිණත ගර්භණී තත්ත්වයක් ලෙස සලකනුයේ සති 38 සම්පූර්ණයෙන් සම්පූර්ණ වූ පසුවයි. වර්තමානය වන විට ඇති දියුණු වෛද්‍ය පහසුකම් මත ඉතාමත් සුළු මුදලකට එන්නත් ලබා දී කුස තුළ වැඩෙන දරුවාගේ පෙනහලු පරිණත කර ගත හැකිය.

නොමේරූ ළදරු උපතක් සහ ගබ්සාවත් අතර හදුනාගත හැකි ප්‍රධාන වෙනස්කම වන්නේ බිහිවන ජීවියාගේ ජීවත්වීමට ඇති හැකියාවයි. ගබ්සාවක දී බිහිවන දරුවාට එනම් සති 10 /12/ 16/ 18 හෝ සති 20 වැනි අඩු කාලයක දී ස්වාභාවිකව ම හෝ ගබ්සා වන ජීවියාට ජීවත්වීමේ හැකියාවක් නොමැත.

ප්‍රධාන වශයෙන් නොමේරූ ළදරු උපතක් සිදුවන මුලික හේතු දෙකක් හදුනාගත හැකිය. එනම්, ඉන් පළමු සාධකයක වන්නේ, ස්වාභාවිකව ම යම් කාන්තාවකගේ ගර්භණී තත්ත්වය නියමිත කාලය පූර්ණයවීමට ප්‍රථම අවසන්වී ස්වාභාවික ලෙස දරුවා නියමිත කාලයට කලින් බිහිවීමයි. එමෙන්ම දෙවන සාධකය වන්නේ වෛද්‍ය විශේෂඥවරු විසින් හදුනාගන්නා ලද ගර්භණී මවගේ හෝ දරුවාගේ යම් සංකූලතාවක් මත අඩු සති ප්‍රමාණයකින් දරුවාව ප්‍රසුත කරවීමයි. මෙම දෙවන සාධකය පිළිබඳ නිදර්ශනයක් ඇසුරින් දක්වන්නේ නම්, කුස තුළ සිටින දරුවාගේ වර්ධනයේ ඉතා අඩුවීම, ආහාර හෝ ඔක්සිජන් ගමන් කිරීම අඩුවීම, දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හෝ වැදෑමහ ඉතාමත් විශාල ලෙස වෙන්වීම වැනි අවස්ථාවන් මෙන්ම මවගේ රුධිර පීඩනය පාලනයක් නොමැතිකමින් ඉහළ යාම නැතහොත් මවගේ දියවැඩියා තත්ත්වය හේතුවෙන් දරුවාට යම් සංකූලතාවක් ඇතිවීමෙහි නැඹුරුවක් ඇතිවීම වැනි තත්ත්වයන් පදනම් කරගනිමින් ද මෙලෙස දරුවන් නියමිත සති ගණන පූර්ණයවීමට ප්‍රථම නොමේරූ දරුවන් ලෙස ප්‍රසුත කරවීමට වෛද්‍යවරුන් විසින් කටයුතු කරනු ලැබේ.

නොමේරූ ළදරු උපතක් ඇතිවීමෙහිලා බලපානු ලබන බහුල ම හේතුවක් වන්නේ ගැබ් ගෙලෙහි ඇති කොටකමයි. සාමාන්‍යයෙන් ගැබ් ගෙලෙහෙි සෙන්ටිමීටර් 2.5 – 3ක පමණ අවම දිගක් බලාපොරොත්තුවන අතර එම ප්‍රමාණයට වඩා දිග අඩුවෙන් ගැබ්ගෙල ඇතිවිට එය නොමේරූ ළදරුවන් මෙලොවට ජනිතවීමට මූලික හේතුවක් විය හැකිය. මෙයට පිළිතුරක් ලෙස සඳහන් කළ හැක්කේ ගැබ්ගෙල පිළිබඳව අවධානයෙන් නිරීක්ෂණය කිරීමයි. සාමාන්‍යයෙන් මාස 4ට පසුව සිදුකරන ස්කෑන් පරීක්ෂණයේ දී ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා විසින් ගැබ් ගෙලෙහි දිග මැනීමක් සිදුකරනු ලබයි. මෙහිදී එහි මැහුමක් දැමීම හරහා මෙම තත්ත්වය අවම කර ගත හැකි වූවත් ගැබ් ගෙල කොටවීම යනු ඊට වඩා සංකීර්ණ තත්ත්වයකි. එනම් ඇතැම් විට ස්කෑන් පරීක්ෂණය කරන අවස්ථාවේ දී ගැබ් ගෙල දිගට පෙන්නුම් කර පසුව සංකෝචනය වී ගැබ් ගෙල කෙටි විය හැකිය. එසේත් නැතහොත් ගැබ්ගෙල දිගට තිබි ගැබ් ගෙලෙන් ඉහළ කොටසට පුනීලයක් මෙන් දරුවා වටා ඇති තරලය කෝණාකාරව පැමිණිය හැකිය. ඒ ආදී වශයෙන් ගැබ් ගෙල කොටවීමට අමතර මේ ආශ්‍රිතව තවත් කරුණු රාශියක් හදුනාගත හැකිය. තව ද ඇතැම් බෙහෙත් වර්ග (Nifedipine) මගින් මෙම ගැබ්ගෙල කොටවීම නිසා ඇතිවන තත්ත්වයන් අඩුකර ගත හැකිය. මෙම ඖෂධ මගින් සංකෝචනයවීම් අවම කරගත හැකි අතර ගැබ් ගෙල කොටවීම සඳහා ඇති හොඳම විසඳුම නම් Cervical stitch මැහුම යෙදීමයි.

නොමේරූ ළඳරු උපත් ඇතිවීමෙහිලා බලපානු ලබන අනෙක් හේතු සාධකය වන්නේ යෝනි මාර්ගයේ පවතින විසබීජ ස්වභාවය නිසා පවතින ආසාදන තත්ත්වයන් ය. මෙම ආසාදන බාහිරින් ඇතිවන ආසාදන නොව ඇතුළත ම ඇති බැක්ටීරියා සංයුතිය වෙනස්වීම හේතුවෙන් ඇතිවන ආසාදනයි. මෙහිදී බහුලව දක්නට ලැබෙන බැක්ටිරියාව වන්නේ Group B Streptococcus බැක්ටිරියාවයි. මෙම බැක්ටිරියා ආසාදනයක දී ඊට සුළු ප්‍රතිජීවක ඖෂධයක් භාවිත කර (පෙනිසිලීන් වැනි) එම තත්ත්වය අවම කර ගත හැකිය.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් නම්, යමෙක් අධික අවදානම් තත්ත්වයේ එනම් නිතර නිතර තම ගර්භණී තත්ත්වය නොමේරූ ලෙස නැතිවී යන්නේ නම් Group B Test නම් පරීක්ෂණය සිදුකර ගැනීම සඳහා අද වන විට පහසුකම් සැකසී ඇති අතර එයට වැය වනුයේ ඉතා සුළු මුදලකි. එහිදී යෝනි මාර්ගයේ සහ ගුද මාර්ගය වටා ප්‍රදේශවල ඇති බැක්ටිරියා පරීක්ෂා කිරීම සිදු කෙරෙයි.
මෙම තත්ත්වයන් ඇතිවීම කෙරෙහි බලපාන තවත් හේතුවක් ලෙස ගර්භාෂයේ තිබෙන විවිධ සංකූලතා එනම් ගර්භාෂය ඇදවී තිබීම, උත්පත්තියේ සිට ම ගර්භාෂය වෙනස් ආකාරයකට පිහිටා තිබීම, ගර්භාෂයේ මැද බිත්තියක් පිහිටා තිබීම වැනි තත්ත්වයන් ය. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් ද මාස 6 – 7 පමණ වන විට කුස තුළ වැඩෙන ජනිතයන් මෙලොවට බිහිවීමක් සිදුවිය හැකිය.

ඉහත දැක්වූ ප්‍රධාන හේතු කාරණා කිහිපයට අමතරව නොමේරූ ළදරු උපතක් සිදුවීම කෙරෙහි බලපෑමක් ඇතිකරවන තවත් දුර්ලභ හේතු කිහිපයක් හඳුනාගත හැකිය. වැදෑමහ වෙන්වීම ද එවැනි කලාතුරකින් දක්නට ලැබෙන හේතු සාධකයකි.
සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් ලෝකයේ 5%ක් පමණ සාමාන්‍යයෙන් නොමේරූ ළදරු උපත් සිදුවන අතර එම අගයන් විවිධ සමාජ තත්ත්වයන් සහ රෝගී තත්ත්වයන් මත වෙනස් විය හැකියි.

කුස තුළ සිටින දරුවා නොමේරූ ළදරුවෙකු සේ බිහිවන විට වෛද්‍ය විශේෂඥවරුන්ට ඇතිවන ගැටලු කිහිපයකි. දරුවාගේ පරිණත බව අඩුවීම එනම් දරුවාගේ බර හා සති ගණන අඩුවීම යන තත්ත්වයන් හේතුවෙන් දරුවාව නොමේරූ ළදරු ඒකකවලට යොමුකර ශ්වසනය සම්බන්ධයෙන් සහ දරුවාගේ අනෙකුත් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිකාර කිරීමට සිදුවේ.

මෙහිදී දරුවාගේ පරිණතභාවය ඇති කිරීමට Steroids/ Dexamenthasone යන එන්නත ගර්භණී මව වෙත ලබාදීමට සිදුවන අතර ඒ හරහා අපේක්ෂා කරනුයේ මිලිග්‍රෑම් 24ක් පමණ මෙම එන්නත සති 26 – 28 ට පසු දරු ප්‍රසුති අවස්ථාවල මවට එන්නත් කිරීමයි. ඊට කලින් මෙම එන්නත මවට එන්නත් කළ ද එය දරුවාගේ පෙනහලු පරිණතවීම කෙරෙහි එතරම් උපකාරී නොවනු ඇත.

එමෙන්ම නොමේරූ ළදරු උපතක දී දරුවාගේ ස්නායු පද්ධතියෙහි ඇතිවිය හැකි දුර්වලතා අවම කර ගැනීම සඳහා ගර්භණී තත්ත්වයේ සිටින කාන්තාවට මැග්නීසියම් නම් වූ රසායනික ද්‍රව්‍ය ඖෂධයක් ලෙස එන්නත් කිරීම සිදුකරන අතර මෙය විශේෂයෙන් ම මෙය සති 26 සිට සති 32 දක්වා වූ සීමාව තළ නොමේරූ ළදරුවෙකු බිහිවන්නේ නම් සිදුකරනු ලබයි. ඒ හරහා දරුවාගේ ස්නායු පද්ධතිය ආරක්ෂා කර ගැනීම අපේක්ෂා කෙරෙයි.

නොමේරූ ළදරුවන් බිහි වූ විට ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර හරහා දරුවන් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් තිබේ. එහෙත් එලෙස ආරක්ෂා කරන සෑම නොමේරූ ළදරුවෙකු ම ජීවත් නොවන අතර ජීවත්වීමට ඇති හැකියාව දරුවාගේ බර හා සති ගණන මත තීරනය වේ. එමෙන්ම මව දියවැඩියාව වැනි රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් ඇතැම් විට දරුවා එම නියමිත සති ගණනට සරිලන පරිදි පරිණතවීම සිදුවී නොමැති විය හැකිය. එමෙන්ම ලංකාව වැනි රටක සති 24ක පමණ නොමේරූ ළදරුවෙකු ජීවත් කිරීමට හැකි අවකාශය පවතින්නේ 30%ක් පමණි. එවැනි දරුවන් ජීවත් කළත් ඔවුන් විවිධ සංකූලතාවන්ට භාජනය විය හැකිය. දැනට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පහසුකම් අනුව සති 34 පසු දරුවෙකු බිහිවන්නේ නම්, එම දරුවාට අනෙකුත් සංකුලතාවන් නොමැති නම් බොහෝ විට එම දරුවා පරිණතවීම අඩුවීම නිසා මියයාමට ඇති හැකියාව ඉතා අවම මට්ටමක පවතී. එහෙත් සති 28න් පමණ බිහිවන දරුවන්ගෙන් 30% පමණ පරිණත බව අඩුවීම නිසා මියයාමට වැඩි අවස්ථාවක් ඇත.

නොමේරූ දරුවන් ලෙස බිහිවී ජීවත් වන දරුවන් ද ඔවුන්ගේ සති ගණන මත විවිධ සංකූලතාවන්ට මුහුණ දිය හැකියි. එනම් දරුවාගේ මනස වැඩිම සම්බන්ධ විවිධ ගැටලු ඇතිවිය හැකිය. එමෙන්ම පෙනහලු ආශ්‍රිතව ද විවිධ ප්‍රශ්න ඇතිවිය හැකි අතර අනෙකුත් අවයවවල ද වර්ධනයවීමෙහි සහ ක්‍රියාකාරිත්වයේ විවිධ ගැටලු ඇතිවිය හැකිය. නිදසුන් ලෙස ඇස්වල පෙනීමෙහි දෝෂ ඇතිවිය හැකිය. එම නිසා නොමේරූ දරුවෙකු ජීවත් කරවීම පිළිබඳව අවධානය යොමු කිරීමේ දී කවර තත්ත්වයක් යටතේ ජීවත් කරන්නේ ද යන්න පිළිබඳ සැලකිලිමත්වීම ඉතා වැදගත් ය. එම නිසා නාරි සහ ප්‍රසවවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු වශයෙන් හැකිතාක් දරුවෙකු පරිණත නොවී මෙලොවට බිහිවීම වළක්වාගැනීමට කටයුතු කෙරෙන අතර (එම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය අඩාලවී නොමැති නම්) අවම වශයෙන් තවත් සති දෙක තුනක් හෝ දරුවාව කුස ඇතුළේ තබාගැනීමට කටයුතු කරනු ලැබේ. ඒ සඳහා විවිධ ඖෂධ වර්ග ලබාදීම මෙන්ම මැහුමක් දැමිම හරහා දරුවා එළියට ඒම වළක්වාගැනීම වැනි විවිධ ක්‍රම භාවිත කරනු ලබන අතර හැකිතාක් දරුවාගේ නොමේරූ බව අවම කර ජනිතයාව මෙලොවට බිහිවීම අවම කර ගැනීමට කටයුතු කරනු ලබයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නලින්ද රොඩ්‍රිගෝ

සටහන – පියුමිලා අරවින්දි