Health Guide

අවසන් මාස 3 දී කුස තුළ සිටින දරුවාගේ නිරෝගීකම මනින ක්‍රම

ප්‍රසවවේදයේ දී ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස අවසන් මාස තුන තුළ දී කුස තුළ වැඩෙන දරුවාගේ නිරෝගිකම අධ්‍යනය කිරීම හැඳින්විය හැකිය. නව ජනිතයෙක් බිහි වන විට කායික මෙන් ම මානසික වශයෙන් ද සෞඛ්‍ය සම්පන්න දරුවෙකු ලෙස මෙලොවට බිහිවීම ඉතා වැදගත් වේ. දරුවා කුස තුළ සිටින අවසන් මාස තුනක කාලය තුළ දී දරුවාගේ නිරෝගී බව පිළිබඳ නිර්ණය කළ හැකි මිනුම් ක්‍රම කිහිපයක් ම තිබේ.

කුස තුළ සිටින දරුවාගේ චලනය අධ්‍යයනය කිරීම. (Movements)

මෙහිදී සිදු වන්නේ සති 26න් පසුව (ගර්භණී තත්ත්වය පරිණත වන විට, මෙය ඉතා වැදගත් වේ.) දළ වශයෙන් පැය 12ක කාලයක් තුළ අවම වශයෙන් 10 වරක් හෝ දරුවා චලනය වේ යැයි බලාපොරොත්තු වනු ඇත. මෙහිදී අතින් පොඩ්ඩක් තට්ටු කිරීම, ඇඟිල්ලක් සෙලවීම, දරුවාගේ තොල් හෝ මුහුණ සෙලවීම වැනි සු`ඵ චලනයන් අප චලනයවීම් ලෙස නොසලකන අතර චලනයවීම් ලෙස සැලකෙනුයේ දරුවාගේ මු`ඵ අත ම හෝ කකුල ම සෙලවීම, දරුවා රෝල්වීම හෝ දරුවාගේ මු`ඵ කඳ ම ඉහළට පහළට යාම වැනි විශාල චලනයන් වේ. එමෙන්ම මෙම චලනයන් අතර යම්කිසි පරතරයක් ද තිබිය යුතුය. එනම්, යම්කිසි කුස තුළ වැඩෙන මාස 8 දී එක වේලාවක දිගට ම චලනය වේ නම් එය අප සලකනුයේ එක් චලනයක් ලෙසයි. එසේ නැතහොත් දරුවාගේ චලනයවීම් අතර විනාඩි කිහිපයක හෝ යම් කාල පරතරයක් පවතී නම්, අප එය චලන කිහිපයක් ලෙස වාර්තා කරනු ලබයි. එබැවින්, මෙය ඉතා සරල කරුණක් වුව ද ගර්භණී තත්ත්වයේ අවසානය දක්වා ම වැදගත් වන කරුණකි.

ගර්භණී තරල ප්‍රමාණය (Amniotic fluid)

මේ පිළිබඳව අප මීට ඉහත දී ද නිරෝගා තුළින් දැනුවත් කර තිබේ. ගර්භණී තරල ප්‍රමාණය ගර්භණී තත්ත්වයේ සති ගාණත් සමඟ වෙනස්වීම පිළිබඳ මනා අවබෝධයක් මවට සහ පියාට තිබිය යුතුය. සති 34 වන විට ගර්භණි තරලයේ උච්චතම අවස්ථාවට පැමිණ ඉන්පසු සෙමින් අඩුවීමත් සිදුවිය හැකි අතර සති 34 වන තෙක් ක්‍රමක්‍රමයෙන් ගර්භණී තරලයේ වැඩිවීමක් ද දක්නට හැකිය. ගර්භණී තරලය අඩුවීම කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය බාලවීමේ පළමු ලක්ෂණය විය හැකිය. එමෙන්ම දියවැඩියාව ගර්භාෂයේ ගෙඩි ඇතිවීම වැනි රෝග අවස්ථාවල දී මෙන් ම බහු කළල අවස්ථාවල දී ද ගර්භ තරලය වැඩිවීමක් දැකිය හැකිය. ගර්භණී තරලය ඉතාමත් වැඩි අවස්ථා අපට නිරෝගී ගර්භණී තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.

කුස තුළ වැඩෙන දරුවාගේ ශ්වසනය (Breathing)

ශ්වසනය සාමාන්‍යයෙන් සති 26-28 වන විට ආරම්භ වන අතර ගර්භණී තත්ත්වයේ තෙවන අධියර (Third trimester) වන විට Scan පරීක්ෂණය හරහා දැකිය හැකිය. යම් කිසි කළලයක දරුවෙකු හොඳින් ශ්වසනය කරනවා නම් එය ඉතාමත් හොඳ ලක්ෂණයක්. දරුවා හුස්ම ගනුයේ දරුවා වටා ඇති තරලයයි. දරුවාගේ පෙනහලු පරිණතවීම සඳහා මෙය වැදගත් වේ.

දරුවාගේ තානය (tone)

දරුවෙකු අධික තානයෙන් යුක්තවී සිටී නම් අප එය යහපත් ලක්ෂණයක් ලෙස සලකනු නොලැබේ. එය දරුවාගේ විවිධ ස්නායුගත රෝග ලක්ෂණයන් විය හැකි අතර මෙය scan පරීක්ෂණයක් හරහා හඳුනාගැනීම ද තරමක් අසීරු ය. දරුවාගේ තානය සාමාන්‍ය scan පරීක්ෂණයකින් බලා දරුවාට යම් ලකුණු මට්ටමක් ලබාදෙනු ලැබේ.

දරුවාගේ හෘද ස්පන්ධනය (Heart rate)

CTG පරීක්ෂණය යනු දරුවාගේ හෘද ස්පන්දනය පිළිබඳ ලබාගන්නා වාර්තාවකි. එම දත්ත පටියක් මඟින් ලබාගත හැකි අතර එහි දරුවාගේ හෘද ස්පන්දනය වෙනස් වන අවස්ථාවන් සඳහන් වේ. සාමාන්‍යයෙන් දරුවෙකුගේ හෘද ස්පන්දනයේ වෙනස්වීමක් අප බලාපොරොත්තු වන අතර ස්පන්දනය එකම රටාවකට පිහිටීම සෞඛ්‍යසම්පන්න යහපත් ලක්ෂණයක් විය නොහැකිය.

මෙම කරුණු එකතු වූ විට අපට Bio physical profile (BPT) ලෙස වාර්තාව ලබාදිය හැකි අතර මෙහිදී යම්කිසි ලකුණු ප්‍රමාණයක් ද ලබා දිය හැකිය. එහිදී 10⁄10 ලැබේ නම් හොඳ ම තත්ත්වයක් වුව ද, සාමාන්‍යයෙන් හෘද ස්පන්දනය වාර්තාවන් ලබාගැනීම බාහිර රෝගී ලක්ෂණ වැඩ අපහසු නිසා අප එය අතහැර දරුවාගේ චලනය, තානය, දරුවා වටා ඇති තරලය සහ හුස්ම ගැනීම යන සාධකවලට 8⁄8ක් වැනි ලකුණු ප්‍රමාණයක් බලාපොරොත්තු වේ.

මෙම ඉහත කරුණු කිහිපය ගර්භණී සමයේ අවසන් මාස තුන තුළ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිගමනයක් ලබාගැනීම කෙරෙහි ඉතා වැදගත් වේ.

තව ද, විශේෂ අවස්ථාවල දී මෙම ඉහත පර්යේෂණවලට ඔබ්බෙන් තවත් විශේෂ පරීක්ෂණ කිහිපයක් දරුවාගේ නිරෝගීකම මැනීම සඳහා සිදුකිරීමට සිදුවේ. මෙයට හොඳ ම උදාහරණයක් ලෙස Doppler scan පරීක්ෂණය හැඳින්විය හැකිය. එමඟින් දරුවාගේ විවිධ අවයව, විශේෂයෙන් ම පෙකණිවැලේ රුධිරය යාම වැනි තත්ත්ව, දරුවාගේ මොළයට රුධිරය සපයන ප්‍රධාන රුධිර වාහිනිය, අක්මාවේ රුධිරය යාම මෙන් ම අනෙකුත් අවයවවල රුධිරය යාම වැනි තත්ත්වයන් නිරීක්ෂණය කරයි. මෙහිදී රුධිරය යාමත් සමඟ දරුවාට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලැබෙන්නේ ද සහ දරුවාගේ රුධිරය යාම සිදුවනවා ද, යන්න පිළිබඳව අධ්‍යනය කරන අතර එය දරුවාගේ වර්ධනයට මෙන් ම මොළයේ ක්‍රියාකාරීත්වයට ද ඉතා වැදගත් වේ. මෙම Doppler scan පරීක්ෂණය මඟින් ඇතැම් විට දරුවාගේ පෙකණිවැලට ඔක්සිජන් සැපයෙන ආකාරය වෙනස් වන විට එය අධික අවධානමක් ලෙස සලකා ජනිතයාව මෙලොවට බිහි කිරීමෙන් සිදු කරන්නට වනු ඇත.

ඊට අමතරව දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂනයට විශේෂිත scan පරීක්ෂණ කිහිපයක් ද හඳුනාගත හැකිය. මෙමඟින් යම් යම් අවයවවල තිබෙන කායික වෙනස්කම් හා ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් නිරීක්ෂණය කිරීමට හැකි අතර විශේෂයෙන් ම දරුවා වටා ඇති අසූචි හුස්මගැනීමත් සිදුවී තිබේද යන්න හඳුනාගත හැකි අතර දරුවාගේ මොළයේ MRI වැනි පරීක්ෂණ සිදු කිරීමට ඇති හැකියාවක් ද නූතනය වන විට නවීන වෛද්‍ය විද්‍යාව සතුව පවති.

සෑම දරුවෙකු ම යම්කිසි අවස්ථාවක දී කුස තුළ දී දරුවාගේ හෘද ස්පන්දනය නැතිවීමට හැකියාවක් ඇත. විශේෂයෙන් ම සති 38-39 දක්වා පරිණතවී දරුවා වැඩි දියුණු වන විට දරුවා මෙලොවට බිහිවී නොමැති නම්, කලාතුරකින් 1000:1 දරුවෙකු පමණ කිසිදු හේතුවක් නොපෙන්වා කුස තුළ දී හෘද ස්පන්දනය නතර විය හැකිය. එබැවින් දරුවාගේ සෑම තත්ත්වයන් පිළිබඳව ම යම් තරමකට හෝ නිරීක්ෂණය කිරීමට සහ වාර්තා කර ගැනීමට හැකි නම් එවැනි තත්ත්වයන් අපට අවම කර ගත හැකිය. කුස තුළ වැඩෙන දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය වාර්තා කරන විට එහි විශාල වගකිමක් මවට ද දැරීමට සිදුවේ. විශේෂයෙන් ම, මෙම සාධක අතරින් ඉතාමත් වැදගත් සාධකයක් වන්නේ, කුස තුළ වැඩෙන දරුවාගේ චලනය වාර්තා කිරීමයි. ඒ සඳහා අවශ්‍ය නම් මවට එම වාර ගණන හිතින් ගණන් කිරීමට හැකි අතර විශේෂ අවස්ථාවක දී නම් චලනය ලකුණු කරන වාර්තාවක් වන එය වාර්තා කළ යුතුය. එලෙස චලන වාර ගණන සටහන් කිරීමේ දී චලනයවීම අඩුවනවා නම් වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු වේ. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට එම කරුණු පිළිබඳ අවදානය යොමු කරමින් කුස තුළ වැඩෙන දරුවාගේ නිරෝගී බව රැකගත හැකි අතර දරුවා කුස තුළ දී මියයාම, බිහිකිරීමේ දී මිය යාම, මෙලොවට බිහිවී පැය 24ක් තුළ දී මිය යාම වැනි තත්ත්වයන් අවම කර ගැනීමට නවීන වෛද්‍ය විද්‍යාව හරහා හැකියාව ලැබී ඇත.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නලින්ද රොඩ්්‍රගෝ

සටහන – පියුමිලා අරවින්දි