Health Guide

ගර්භණී සමයේ ඇතිවන සුලබ ගැටලු ගැන දැනුවත් වෙමු

ගර්භණී සමයේ ඇතිවන වමනය, ඔක්කාරය සහ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම පිළිබද සවිස්තරාත්මකව පසුගිය කලාපයෙන් අප ඔබව දැනුවත් කළෙමු. මෙවර කලාපයෙන් ගර්භණී සමයේ මුල් මාස තුන තුළ ඇතිවිය හැකි තවත් සුලබ ගැටලු කිහිපයක් පිළිබදව අප ඔබව දැනුවත් කරන්නට සූදානම්.

යෝනි මාර්ගයෙන් දියරමය ස‍්‍රාවයක් පිටවීම

බොහෝ ගර්භණී මව්වරුන්ට ගර්භණී සමයේ යෝනි මාර්ගයෙන් සුදු පැහැති ස‍්‍රාවයක් පිටවීම දැකිය හැකිය. එය සාමාන්‍ය තත්ත්වයක් වුවත් කහ හෝ කොළ පැහැති හා කසන සුඵ ස‍්‍රාවයක් පිටවේ නම් අවධානය යොමු කළ යුතුය. ඔබේ වෛද්‍යවරයා දැනුවත් කර ඒ සදහා ප‍්‍රතිකාර ලබාගන්න. ගර්භණී සමයේ අවසාන කාලයේ දරු ගැබ ආරක්ෂා කරන පටල (Water Bag) බිඳීයාම නිසා යෝනි මාර්ගයෙන් දියරමය ස‍්‍රාවයක් එක දිගටම වහනය විය හැකියි. කළලයට අවදානම් තත්ත්වයක් ඇති විය හැකි නිසා එවැනි අවස්ථාවක වහාම රෝහල් ගත විය යුතුය.

නිතර මුත‍්‍රා පිටවීම සහ මුත‍්‍රා දැවිල්ල

පළමු මාස තුන තුළ මෙය නිරන්තරයෙන් සිදු වේ. වැඩෙන කළලය මුත‍්‍රා බටය තෙරපිීමකට ලක් වන නිසා මෙසේ සිදු වේ. අවසාන සති කිහිපය තුළ ද මෙම තත්ත්වය අත්විදින්නට සිදු වනු ඇත. රාත‍්‍රී නින්දට බාධාවක් වේ නම් පමණක් රාති‍්‍රයට වැඩිපුර ජලය පානය නොකරන්න. ඇතැම් මව්වරුන්ට ගර්භණී සමයේ මුල් කාලය තුළ මුත‍්‍රා දැවිල්ල හෝ මුත‍්‍රා කරන අවස්ථාවක වේදනාවක් ඇති විය හැකිය. බොහෝවිට මෙය සිදු වන්නේ ගර්භණී සමයේ සිදු වන හෝමෝන වෙනස්කම් හේතුවෙන් ය.

මුත‍්‍රා කරන අවස්ථාවේ දැවිල්ලක් හෝ වේදනාවක් සමග

x නිතර නිතර මුත‍්‍රා පහ කිරීමට අවශ්‍යතාවක් ඇතිවීම
x උණ
x ශරීරයට අපහසු බව හෝ කොන්දේ පැත්තක ඇති වන
වේදනාව
x යටිබඩ වේදනාව
x වමනය
x කෑම අරුචිය

යන රෝග ලක්ෂණ ද නිතර නිතර ඇති වේ නම් එය යම් රෝග තත්ත්වයක් හැකිය. මෙම ලක්ෂණ මුත‍්‍රා ආසාදනයක ලක්ෂණ විය හැකි නිසා ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීම වැදගත් ය. ඔබව පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය නම් පමණක් වෛද්‍යවරයා විසින් ප‍්‍රතිජීවක ඖෂධ නිර්දේශ කරනු ඇත.

බඩේ වේදනාව

ගර්භණී සමය තුළ උදරයේ වේදනාවක් ඇතිවීම සුළු කොට සිතිය නොහැකිය. ඔබේ නාභිය ආසන්නයේ තද වේදනාවක් ඇතිවීම සහ ඒ සමගම වමනය ඇතිවීම, නාභියට ඉහළ දකුණු ප‍්‍රදේශයේ තදබල වේදනාවක් ඇතිවීම වැනි තත්ත්වයන්වල දී ඉතාමත් ඉක්මනින් වෛද්‍යවරයා වෙත යොමු විය යුතුය. එසේ ම ගර්භණී සමයේ මුල් මාස තුන තුළ ඇති වන යටිබඩෙහි වේදනාවත් අවදානම් සහගත තත්ත්වයකි.

ගර්භණී මවකට බඩේ වේදනාව පහත කාරණා නිසා ඇති විය හැකිය.

x Preeclampsia හෙවත් ගර්භණී සමයේ අධික ඇති වන රුධිර පීඩනය නිසා ඇති වන සංකූලතාව නිසා.
x ගර්භාෂයෙන් පිටත දරු ගැබ පිහිටා තිබීම නිසා.
x ගබ්සාවක්වීමේ පූර්ව ලක්ෂණයක් නිසා.
x ගර්භාෂය තුළ ත්‍සඉරදසා වැනි තත්ත්වයක් නිසා

බෝවන රෝගවලට ගොදුරුවීම

Influenza රෝගී තත්ත්වය ගර්භණී මව්වරුන්ට මරු කැඳවන රෝගී තත්ත්වයකි. පැය 24කට වඩා අඛණ්ඩව උණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. මෙම තත්ත්වය ඔබටත් ඔබේ කිරිකැටියාටත් අවදානම් බව මතකයේ තබාගන්න. ඔබට ගර්භණී සමයේ උණ තත්ත්වයක් ඇතිවුවහොත් එය ඉතා ම ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර වෙත යොමුවන්න.

ජර්මන් සරම්ප, පැපොල වැනි බෝවන වෛරස් රෝගයන් ද කළලයට හානි ඇති කළ හැකි රෝගී තත්ත්වයන් ය. ජර්මන් සරම්ප හෙවත් රුබෙල්ලා රෝගය ගැබිනි, සමයේ මුල් කාලයේ වැලඳීමෙන් කළලයට බරපතළ බලපෑමක් ඇති කරයි. බොහෝවිට රෝගය වැලඳීමෙන් ගබ්සාවීමක් සිදු වේ. එසේ නොවුණොත් කළලයේ ඇස්, කන්, හෘදය, ස්නායු පද්ධතියට හානි ඇතිවීමෙන් අඩුපාඩු සහිත දරුවන් බිහි විය හැකිය. මෙම රෝගය මවට වැලඳී විට ඇති වන්නේ උණ, ඇගපත වේදනාව වැනි රෝග ලක්ෂණයන් ඇති වේ. සමෙහි පලු ඇතිවීම සමහර අවස්ථාවල දැකිය හැකිය. මෙම රෝග තත්ත්වය වෙනත් වෛරස උණ රෝගයන්ගෙන් වෙන් කර හඳුනාගැනීම තරමක් අපහසු වේ. මේ සඳහා විශේෂ රුධිර පරීක්ෂාවකින් තහවුරු කරගත යුතුය. මෙම රෝගය වැළැක්වීම සඳහා එන්නත් ඇත. එනිසා ගැබ් ගැනීමට මාස තුනකට පෙර මෙම එන්නත ලබාගත යුතුය. ජාතික ප‍්‍රතිශක්තීකරණ වැඩසහන යටතේ මෙම එන්නත සෑම ගැහැනු දරුවෙකුට ම ලබාදීමට කටයුතු කර ඇත. මෙම එන්නත් නිසි වයසේ දී ලබාගැනීමෙන් රුබෙල්ලා වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා විය හැකිය.

වැරසෙලා සොස්ටර් වෛරසය මගින් බෝවන පැපොල රෝගය ද, ගර්භණී මවකට වැලදීමට ඉඩ කඩ ඇත. සමෙහි ඇතිවන කුඩා බිබිලි සහ උණ, හිසරදය යන රෝග ලක්ෂණ මෙහි දී දැකිය හැකිය. මෙම රෝගය ගර්භණී සමයේ මුල් සති 20 ඇතුළත මවට මෙම රෝගය වැලඳුණ හොත් කළලයට හානිවීමේ හැකියාව ඉතාමත් අඩු ය. මෙහි දී කළලයේ ස්නායු පද්ධතියට ද හානි විය හැකි නමුත්, එම අවදානම ඉතා අඩු ය. නමුත් මවට දරු ප‍්‍රසූතියට ආසන්නව ම හෝ දරු ප‍්‍රසූතියෙන් දින කීපයක් ඇතුළත මෙම රෝගය වැලඳීමෙන් දරුවාට ඇති වන හානිය වැඩි ය. එයට හේතුව මෙම රෝගයට එරෙහි ප‍්‍රතිශක්තිය දරුවා සතු නොවීම ය. මෙවැනි අවස්ථාවක මවට සහ දරුවාට ප‍්‍රතිකාර කිරීම අවශ්‍ය වේ. පැපොල රෝගය සොයාගැනීමට රුධිර පරීක්ෂණ වර්ග ඇත.

ගැස්ට‍්‍රයිටීස් තත්ත්වය

ගැබිනි මව්වරුන්ට සුලබව ඇති වන තවත් තත්ත්වයක් ය. මෙය ද සාමාන්‍ය තත්ත්වයක් ලෙස හදුන්වාදිය හැකිය. ඔබේ ආමාෂය හිස්ව තිබෙන්නට තිබෙන්නට ගැස්ට‍්‍රයිටීස් තත්ත්වය ඔබට පීඩාවට ලක්කරයි. ඔබට කෑම අරුචියි නම් ආහාර වරින් වර කුඩා ප‍්‍රමාණයන්ගෙන් ලබාගන්න. කාබනේට් අඩංගු බීම වර්ග, ඇතැම් කිරි නිෂ්පාදන මෙන්ම පිෂ්ටය අධික ආහාර, තෙල්, මිරිස් වැඩිපුර යෙදූ ආහාර හැකිතාක් අවම කරන්න. එසේ ම බෝතල් සහ බට භාවිත කරමින් පානය කිරීමේ දී උදරයට වාතය ඇතුළු වන ප‍්‍රමාණය වැඩි ය. එනිසා පානයන් වර්ග පානය කිරීමට කෝප්පයක් භාවිතයට ගන්න.

මලබද්ධය

මලබද්ධය ද ගර්භණී සමයේ ඇතිවන සාමාන්‍ය තත්ත්වයක් ය. ඔබට ඇත්තේ නිසි ආහාර රටාවකට හුරුවීම ය. වැඩිපුර තන්තු සහිත ආහාර වර්ග ඔබේ ආහාර වේලට එක් කර ගැනීමෙන් මෙම තත්ත්වය මගහරවාගත හැකිය.

ඇස් පෙනීමේ වෙනසක් ඇතිවීම

ඔබගේ ඇස් පෙනීමේ වෙනසක් එනම් බොඳ වී යාමක් හෝ වරින් වර එළියක් පෙනී නොපෙනීයාමේ තත්ත්වයක් වැනි අසාමාන්‍යතාවක් ඇතිවුවහොත් එය preeclampsia යනුවෙන් හඳුන්වන ගර්භණී සමයේ ඇති වන අධික රුධිර පීඩනයේ ලක්ෂණයක් විය හැකියි. එමෙන් ම තදබල හිසරදයක් පවතී නම් එයත් preeclampsia නමැති රෝගී තත්ත්වයේ ලක්ෂණයක් විය හැකියි. එම නිසා එවැනි රෝගී තත්ත්වයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් ය.

ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නලින්ද රොඩ්‍රිගෝ

සටහන – දිශාන්ති වෙදගේ