Health Guide

ගර්භණී සමයේ දී රුධිර වහනයවීම කෙරෙහි හේතුවන කරුණු මොනවාද?

ගර්භණී තත්ත්වයේ දී සිදුවන රුධිර වහනය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ගර්භණී අවධියේ විවිධ අවස්ථාවන් තුළ දී විවිධ හේතූන් මත මෙම රුධිර වහනය සිදුවිය හැකිබව හඳුනාගත හැකිය. ඒ අනුව අපට මූලික වශයෙන් මෙම අවධීන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එනම්,

■ පළමු සති 14 කාල සීමාව
■ සති 14-28 කාල සීමාව
■ සති 30 සිට කුස තුළ වැඩෙන දරුවා මෙලොවට බිහිවන තෙක් ඇති කාල සීමාව
■ දරුවා බිහිවීමෙන් පසු සති 6ක කාල පරාසය

පළමු සති 14 කාල සීමාව

මෙම කාලය තුළ ඇතිවන රුධිර වහනය සඳහා බහුලව ම හේතුව ගබ්සාවක ලක්ෂණ විය හැකියි. කුස තුළ සිටින දරුවා වැඩෙන විට වැදෑමහ ද සෙමින් වර්ධනය වන අතර මෙය පූර්ණය වනුයේ සති 14 දී ය. මේ කාලයේ දී වැදෑමහේ පටක හරහා රුධිර වහනයවීමක් සිදුවිය හැකි අතර ඇතැම් විට රුධිර වහනය සමග උදරයේ වේදනාවක් ද ඇතිවිය හැකියි. ගර්භණී සමයේ පළමු සති 14 තුළ මෙවැනි ලක්ෂණයන් ඉස්මතුවීම අප ගබ්සාවීමේ අවස්ථාවක් ලෙස හඳුන්වනු ලබයි. මෙවැනි මොහොතක දී අපට Progesterone නම් හෝර්මෝනය පෙත්තක් ලෙස යෝනි මාර්ගයට ඇතුළත් කිරීමෙන් හෝ පානය කිරීමට ලබාදීමෙන් මෙන්ම එන්නතක් ලෙස ලබාදීමෙන් ද රුධිර වහනය අවම කරගත හැකිය. ගබ්සා පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමේ දී එහි විවිධ අවස්ථාවන් කිහිපයක් ම හඳුනාගත හැකියි. එනම් ඉතාමත් සුළු වශයෙන් සිදුවන රුධිර වහනයවීම වැනි තත්ත්වයක් ඇතිවිය හැකි අතර එහිදී ගබ්සාවීමක් නොවී වහනය වූ රුධිරය ශරීරයට ම අවශෝෂණය කරගැනීමක් සිදු වේ. මෙහිදී වහනය වන රුධිරය අලුත් රුධිරය හෝ වැදෑමහේ පටක පසුපසින් එක් වූ පරණ රුධිරය විය හැකියි. මෙවැනි අවස්ථාවක දී බොහෝ විට කාන්තාවන් බියට පත්වන අතර එලෙස අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමට වඩා ස්කෑන් පරීක්ෂණයක් වෙත යොමු වී වෛද්‍ය උපදෙස් මත Progesterone වැනි ඖෂධයක් ලබාගැනීමට කටයුතු කිරීම මගින් ගබ්සාවීම්වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් අවම කර ගැනීමට හැකි වනු ඇත. විශේෂයෙන් ම බහු කලල අවස්ථා, සහ වැදෑමහ හෝ වැඩෙන ජනිතයා ගර්භාෂයේ පහළින් පිහිටන අවස්ථාවල දී රුධිර වහනය වැඩි වශයෙන් ඇතිවිය හැකිය.

මීට අමතරව මෙම කාල පරාසය තුළ රුධිර වහනයවීම කෙරෙහි තුඩු දෙන තවත් සාධක කිහිපයක් ද හඳුනාගත හැකිය. එනම් ගැබ්ගෙලෙහි තිබෙන මස් වැදලි, ගැබ් ගෙලෙහි පවතින තාවකාලික ගැටලු වන ආසාදන වැනි තත්ත්වයන් නිසා ද රුධිර වහනයක් ඇතිවිය හැකි අතර ඊට අමතරව ලිංගික සංසර්ගය කිරීමේ දී ගැබ් ගෙලෙහි හෝර්මෝන වෙනස්වීම නිසා ඇතිවන තද රතු පැහැ ගැනීම (Cervicitis) නිසා ද ගැබ් ගෙල ඝට්ටනයවීමේ දී රුධිර වහනයක් ඇතිවිය හැකිය.

සති 14-28/30 කාල සීමාව

මෙම කාලය තුළ රුධිර වහනයවීම ගබ්සාවක ලක්ෂණයකට වඩා වැදෑමහ වෙන්වීමේ ලක්ෂණයක් විය හැකිය. අපේ ශරීරයේ තිබෙන වෙනත් අවයවයන් මෙන්ම වැදෑමහ නමැති අවයවය ද විශාල සංචිතයක් සහිතව සකස්වී ඇත. එබැවින් වැදෑමහේ 1/3 හෝ 1/4 එකක් වැනි ප්‍රමාණයක් වෙන්වූවත් කුස තුළ සිටින ජනිතයා මිය යාමක් සිදු නොවේ. නිදසුනක් ලෙස අපගේ වකුගඩු ද්විත්වයෙන් එක් වකුගඩුවකට හානියක් සිදු වුව ද අපට එක් වකුගඩුවකින් ජීවත් විය හැකි මෙන් කුස තුළ වැඩෙන ජනිතයාට ද ඉන් එතරම් බලපෑමක් සිදු නොවනු ඇත. එහෙත් වැදෑමහේ වෙන්වීම ඉතාමත් වැඩි නම් එය එවැනි අවස්ථාවක දී කස තුළ වැඩෙන දරුවා මිය යාමට තරම් හේතුවක් විය හැකිය. මෙය වෛද්‍ය විද්‍යාව තුළ Placental Abruption ලෙස හැඳිනවෙන අතර මෙම වැදෑමහ වෙන්වීම සෙවීම සඳහා අද වන විට රුධිර පරීක්ෂණයක් හඳුන්වාදී ඇත. එම පරීක්ෂණයේ දී නිරීක්ෂණය කරනු ලබන්නේ මවගේ රුධිරයේ තිබෙන කළලයේ රතු රුධිර සෛල සංඛ්‍යාවයි. එවිට කොපමණ රුධිර ප්‍රමාණයක් වහනයවී ඇත්ද, ඒ වැදෑමහෙන් පැමිණි දරුවාගේ රුධිරය ද යන්න නිශ්චිතව ම හඳුනාගැනීමට හැකිවනු ඇත. එමෙන්ම වැදෑමහේ පහත පිහිටීම නැතහොත් පර්යන්තයෙන් සිදුවන රුධිර වහනය වැනි තත්තවයන් ද අපට බහුලව දකින්ට හැකිය. විශේෂයෙන් ම කුස තුළ වැඩෙන දරුවා පිහිටා ඇත්තේ තරමක් පහතින් නම් යම් රුධිර වහනයක් ඇතිවිය හැකියි. (සාමාන්‍යයෙන් වැදෑමහ පිහිටා ඇත්තේ ගර්භාෂයේ ඉහළින් ය. එසේ වුව ද වැදෑමහ ගර්භාෂයේ පහතින් පිහිටා තිබේ නම් ගර්භාෂයේ යට කොටස ඇදෙන විට සති 14-28 පමණ වන විට ගර්භාෂය විශාලවීමේ දී, වැදෑමහ තරමක් වෙන්වී රුධිරය වහනය විය හැකිය.) ඊට අමතරව අප ඉහත සඳහන් කළ අනෙකුත් අවශේෂ හේතු සාදක එනම්, කුඩා මස් වැදැල්ලක් තිබීම, ආසාදනයක් තිබීම වැනි හේතු ද රුධිර වහනයවීම සඳහා හේතුවිය හැකිය. මෙහිදී වැදෑමහ වෙන්වීම නිසා රුධිරය ඉතාමත් විශාල ප්‍රමාණයක් වහනය වුවහොත් එවන් අවස්ථාවක දී කුස තුළ වැඩෙන දරුවා කෙතරම් දුරට පරිණතවී ඇත්ද යන්න සලකා බලනු ලැබේ. එහදී සති 28/34/36 ආදී වශයෙන් වූ කඩයිම් පිළිබඳ අවධානය යොමු කරමින් රුධිර වහනය ඉතා අධික නම් සති 34න් පසු දරුවා බිහිකිරීම නිවැරදි වෛද්‍ය ප්‍රතිකාරය වේ. වෙැනි අවස්ථාවක දී ඇතැම් විට දරුවා බිහිකිරීමට පෙර දරුවාගේ පෙනහලු පරිණත කිරීම සඳහා එන්නත් ලබාදෙනු ලබන අතර නොමේරූ ළදරු ඒකකයක් සහිත ස්ථානයක දී දරුවා බිහිකළ යුතු වේ.

සති 30 සිට කුස තුළ වැඩෙන දරුවා මෙලොවට බිහිවන තෙක් ඇති කාල සීමාව

මෙහිදී විශේෂයෙන් ම සති 38-40 වන විට රුධිරය වහනයවීමෙහිලා හේතු කාරක වන මූලික සාධකයක් වන්නේ කුස තුළ වැඩෙන දරුවා මෙලොවට බිහිවීමේ ලක්ෂණ විය හැකියි. මෙහිදී විශාල රුධිර වහනයක් සිදු නොවන අතර රුධිරය සමග ඉටි වැනි ශ්‍රාවයක් මිශ්‍රවී තිබෙනු දැකිය හැකි වේ. ඇතැම් විට කොන්දේ වේදනාව, නැවත නැවත ඇතිවන උදරයේ වේදනාව වැනි ආබාධයන් ද මෙහිදී ඇතිවිය හැකිය. මෙහිදී ඉතා සුළු වශයෙන් රුධිරය වහනය වන අතර ඇතැම් කාන්තාවන්ට ජනිතයා බිහිකරන අවස්ථාවේ දී සාමාන්‍ය ප්‍රමාණයට වඩා රුධිරය වහනයවීමක් ඇතැම්විට දැකිය හැකිය. මෙහි ඇති අධික අවදානම නම්, ඇතැම් විට වැදෑමහ පහළ පිහිටා තිබේ නම් හෝ වැදෑමහ වෙන්වී තිබේ නම් කුස තුළ සිටින දරුවා මෙලොවට බිහිවන විට සාමාන්‍ය දරු ප්‍රසූතියක් ලෙස එය සිදුකිරීමෙන් දරුවාගේ ජීවිතයට හානියක් සිදුවීමට ඉඩ ඇති අතර මවගේ අධික රුධිර වහනය හේතූවෙන් එමගින් මාතෘ මරණ සිදුවීම දක්වා බලපෑමක් ඇතිවිය හැකිය. එබැවින් මෙවැනි අවස්ථාවක රුධිර වහනයවීම අප ඉතා අධික අවදානමක් ඇති අවස්ථාවක් ලෙස සලකනු ලබන අතර එවැනි අවස්ථාවක දී වෛද්‍යවරු කිහිපදෙනෙකු එකතුවී තීරණ ගැනීම මෙන්ම ළමා රෝග විශේෂඥයන් සම්බන්ධවීම ඉතා වැදගත් වේ.
තව ද කුස තුළ වැඩෙන දරුවා සාමාන්‍ය දරු ප්‍රසූතියක් මගින් මෙලොවට බිහිකිරීමේ දී ද රුධිර වහනය සිදුවිය හැකි අතර මෙයට බහුල ම හේතූන් වන්නේ වැදෑමහ තරමක් කලින් වෙන්වීම හා දරුවා එන මාර්ගයේ යම් සීරීම් ඇතිවීම හෝ තෙරපීම් ඇතිවීම විය හැකියි.
දරුවා බිහිවීමෙන් පසු සති 6ක කාල පරාසය

කුස තුළ සිටින දරුවා මෙලොවට බිහිවූ පසුවත් රුධිරය වහනය විය හැකි අතර විශේෂයෙන් ම පළමු සතිය ඇතුළත දී වැදෑමහේ කොටස් ගර්භාෂයේ ඇතුළත තිබීම හේතුවිය හැකි අතර විශේෂයෙන් ම සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකළ මවකට මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය. එමෙන්ම සාමාන්‍යයෙන් දරුවා මෙලොවට බිහි වූ පසු ගර්භාෂය හොඳින් සංකෝචනය විය යුතු අතර එසේ නොවන අවස්ථාවක දී විවිධ ඖෂධ ලබාදීම මගින් එම තත්ත්වය අවම කර ගත හැකිය. එහි ද ඇතැම් අවස්ථාවල දී රුධිර වහනය ඉතා අධික විය හැකි අතර එවිට එය සාමාන්‍ය ඖෂධ හරහා පාලනය කළ නොහැකි බැවින් එම රෝගියාව නොපමාව ශල්‍යකර්මයකට භාජනය කිරීම සහ එමගින් වැදෑමහේ පටක තිබේ නම් ඒවා ඉවත් කිරීම මෙන්ම අවශ්‍ය නම් ගර්භාෂය ද ඉවත් කිරීම සිදුකර රෝගියාව යළි යථා තත්ත්වයට ගැනීමට කටයුතු කළ යුතුය.

රුධිර වහනය සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසු දින 42ක් වැනි කාලයක් පැවතිය හැකි අතර තරමක් ප්‍රමාදවී එනම් මාස 1 1/2 – 2 පමණ පසු රුධිර වහනය සිදුවන්නේ නම් එහිදී එය මැද බිත්තියක් තිබීම, වැදෑමහේ පටක රැඳී තිබීම වැනි ගර්භාෂයේ පවතින විවිධ අසාමාන්‍යතා හේතු විය හැකි අතර එසේ ඇත්නම් ස්කෑන් පරීක්ෂණයක් හරහා තහවුරු කරගනිමින් ගර්භාෂයෙන් ඒවා ඉවත් කිරීම ඉතා ම වැදගත් වේ. එහෙත් යම්කිසි කාන්තාවක් මව්කිරි ලබාදෙන්නේ නම් එමෙන්ම කිරි දීමේ විවිධ අපහසුතා ඇත්නම් හෝ දරුවා ප්‍රසූත කර ගතව ඇත්තේ තවමත් මසක් වැනි කාලයක් නම් රුධිර වහනය වැඩි බවට අප එකවර තීරණයකට නොඑළඹී හැකිතාක් ඖෂධ භාවිතයෙන් සතියක දෙකක කාල සීමාවක් ගත කළ හැකිය. ඒ කාලය අතරවාරයේ දී සැත්කමක් සිදුකිරීමට අවශ්‍ය ද යන්න රෝගියාට ද පසක් කර ගත හැකිය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නලින්ද රොඩ්‍රිගෝ

සටහන – පියුමිලා අරවින්දි