Health Guide

ගර්භණී අවධියේ ඇතිවන පියයුරු පිළිකා

පියයුරු පිළිකා යනු ලංකාවේ බහුලව දක්නට ලැබෙන පිළිකා විශේෂයකි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති සටහනට අනුව සාමාන්‍යයෙන් වසරක් තුළ පියයුරු පිළිකා 3500ක් පමණ ශ්‍රී ලංකාව තුළ වාර්තා වන බව දක්වා ඇති අතර එය තරමක් කල් ගත වූ යාවත්කාලීන නොවූ දත්ත බැවින් සාමාන්‍යයෙන් මා දකින ආකාරයට වර්තමානයේ දී අප රටේ වසරක් තුළ පියයුරු පිළිකා රෝගීන් 5000කට නොඅඩු ප්‍රමාණයක් නව රෝගීන් ලෙස හඳුනාගනු ඇතැයි අනුමාන කළ හැකිය.

අද වන විට කල් ගතවූ පියයුරු පිළිකාවලට වඩා කල් ගතවීමට පෙර පියයුරු පිළිකා හඳුනාගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබීම මෙම පියයුරු පිළිකා ආශ්‍රිතව අපට දක්නට ඇති යහපත් තත්ත්වයකි. මෙලෙස පූර්ව අවස්ථාවේ දී ම මෙම රෝගය හඳුනාගැනීම මගින් රෝග සුව කිරීමට වැඩි හැකියාවක් ඇති අතර, මෙහි පවතින යහපත් තත්ත්වය එයයි.

මීට වසර දහයකට පෙර දක්නට ලැබුණේ පියයුරු පිළිකාව බහුල වශයෙන් තරුණ කාන්තාවන් හට වැලඳෙන රෝගී තත්ත්වයක් ලෙසිනි. එහෙත් අද වන විට වයස අවුරුදු 55 ඉක්මවූ වැඩිහිටි ප්‍රජාව අතර ද පියයුරු පිළිකා වැලඳීමේ අවදානමක් හඳුනාගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකාව පිළිබඳ දත්ත යුරෝපීය පියයුරු පිළිකා පිළිබඳ දත්තයන්ට සමානරූපී බවක් පෙන්නුම් කරයි. එනම් මුල් කාලීනව ආසියාතික රටවල තරුණ පිරිසත්, යුරෝපීය රටවල වැඩිහිටි ප්‍රජාවත් අතර මෙම පියයුරු පිළිකා වැලඳීමේ අවදානමක් දක්නට ලැබුණ ද වර්තමානයේ දී එම තත්ත්වය වෙනස් වෙමින් ලංකාවේ තරුණ පිරිසට සාපේක්ෂව අවුරුදු 55 ඉක්ම වූ වැඩිහිටි ප්‍රජාව අතර මෙම රෝගී තත්ත්වය වැලඳීමේ අවදානමක් දක්නට ලැබේ. එහෙත් අප රට තුළ තවමත් අවුරුදු 35 – 34 අතර වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් අතර ද මෙම රෝගය වැලඳීමේ අවදානමක් පවතී.

සාමාන්‍යයෙන් සමාජයේ පවතින මතය වන්නේ පියයුරු පිළිකාව දරුවන් සිටින සහ ගර්භණී කාන්තාවන්ට වැලඳීමේ සම්භාවිතාව අඩු බවයි. දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් සිටින කාන්තාවන්ට සාපේක්ෂව මෙම පියයුරු පිළිකාව වැලඳීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බැවින් එම මතය යම් නිරවද්‍යතාවක් ඇතත් එය පූර්ණ වශයෙන් ම නිවැරදි මතයක් නොවන්නේ ගර්භණී අවස්ථාවේ ද පියයුරු පිළිකාව වැලඳිය හැකි බැවිනි.

“ගර්භණී කාන්තාවකට ඇතිවන පියයුරු පිළිකාව සහ සාමාන්‍ය කාන්තාවකට ඇතිවන පියයුරු පිළිකාව අතර යම් වෙනසක් ඇත්දැයි” මෙහිදී ඔබට ගැටලුවක් මතුවිය හැකිය. ඇත්තෙන් ම එවැනි වෙනසක් දක්නට නොලැබුණ ද ගර්භණී අවධියේ ඇතිවන පියයුරු පිළිකාව නරක අතට හැසිරිය හැකි අවාසිදායක හේතු කිහිපයක් ම අපට මෙහිදී හඳුනාගත හැකිය.

හඳුනාගැනීමට කල් ගතවීම

සාමාන්‍යයෙන් අප පියයුරු පිළිකා හඳුනාගන්නේ ගැටිත්තක් ලෙසිනි. එමෙන්ම පියුරු පිළිකාවල දී මුල් කාලයේ දී වේදනාවක් ඇති නොවන අතර අවසාන අවස්ථාවේ දී පියයුරු පිළිකාව හම පසාරු කරගෙන පැමිණේ නම් හෝ උරස් කුහරයට කිඳා බසින්නේ නම් පමණක් මේ වේදනාවක් ඇති වේ. බොහෝ කාන්තාවන් අතර පවතින මිථ්‍යා මතයක් වන්නේ වේදනාවක් නොවේ නම් එය පිළිකාවක් නොවන බවයි. එය සාවද්‍ය මතයකි. සෑම ගැටිත්තක් සඳහා ම ඔබ වෛද්‍යවරයා වෙත යොමුවී ඒ පිළිබඳ සැක හැර දැනගත යුතුමයි. මුල් කාලයේ දී වේදනාවෙන් තොරව පවතින මෙම ගැටිත්ත හඳුනාගැනීම කාන්තාවන් විසින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය ම ක්‍රියාවකි.
ගර්භණී අවධියේ දී කලලය වර්ධනයවීමත් සමග ම කාන්තාවගේ පියයුරු ද දරුවාට කිරි ලබාදීම වෙනුවෙන් වර්ධනය වේ. එබැවින් සාමාන්‍ය කාන්තාවකට සාපේක්ෂව මෙම පියයුරු වර්ධනය හේතුවෙන් ගර්භණී කාන්තාවකට මෙම ගැටිත්ත පහසුවෙන් හඳුනාගැනීමට නොහැකි විය හැකිය.

එමෙන්ම ගර්භණී සමයේ දී මවක් වැඩි වශයෙන් අවධානය දක්වන්නේ තම කුසේ වැඩෙන කළලය පිළිබඳව පමණි. පියයුරු පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකෙරේ. මෙම හේතු නිසා ගර්භණී කාන්තාවකගේ පියයුරු පිළිකාවක් හඳුනාගැනීම සාමාන්‍ය කාන්තාවකට සාපේක්ෂව කල් ගතවිය හැකි අතර මෙම තත්ත්වය ගර්භණී අවධියේ දී පියයුරු පිළිකාවක් වැලඳීමේ ඇති අවාසිදායක තත්ත්වයක් ලෙස ද හඳුනාගත හැකිය.

ප්‍රතිකාර කිරීමේ දී ඇති වන ගැටලු

ගර්භණී අවධියේ දී කල්ගතවීමෙන් පසු හෝ හඳුනාගත් පියයුරු පිළිකාව සඳහා ප්‍රතිකාර කිරීමේ දී ද විවිධ ගැටලුදායක තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ.

සාමාන්‍යයෙන් කල්ගත නොවූ පියයුරු පිළිකාවක දී සැත්කම් මාර්ගයෙන් එය ඉවත් කිරීම ප්‍රතිකර්මයක් ලෙස සිදු කරනු ලැබේ. මෙවැනි කාන්තාවකට අපට සැත්කමක් හරහා එම ගැටිත්ත ඉවත් කළ හැකිය. මුල් අවස්ථාවේ දී හඳුනාගන්නා පියයුරු පිළිකාවට සිදුකළ හැකි සැත්කම් වර්ග දෙකක් තිබේ. එනම් අත යට ඇති කුද්දැටිවලට ද ප්‍රතිකාරයන් කරමින් අපට එම ගැටිත්ත ඉවත් කළ හැකිය. නැතහොත් සම්පූර්ණ පියයුරුව ඉවත් කළ හැකිය. මෙම සැත්කම් දෙකෙන් ම බොහෝවිට එක හා සමාන ප්‍රතිඵල ලැබේ. එහෙත් කොටසක් පමණක් ඉවත් කළ හොත් ඉතිරි පියයුරුවට අනිවාර්යෙන් ම විකිරණ (Radiotherapy) ප්‍රතිකාරය සිදු කළ යුතුය. මෙහිදී ඇතිවන ගැටලුව නම් ගර්භාෂයේ කලලය වර්ධනය වන ගර්භණී කාලය තුළ මෙම විකිරණ ප්‍රතිකාර කිරීමට නොහැකිවීමයි. එබැවින් ගර්භණී අවධියේ දී ඇතිවන පියයුරු පිළිකාවක දී සැත්කමක් හරහා කොටසක් ඉවත් කළහොත් ඒ සඳහා Radiotherapy ප්‍රතිකාර කිරීම දරුවා ප්‍රසූත වන තුරු තාවකාලිකව කල් දැමීමට සිදු වේ. එහෙත් Radiotherapy ප්‍රතිකාර සිදු කිරීම ප්‍රමාදවීම අවාසිදායක තත්ත්වයකි.

මෙවැනි අවස්ථාවක දී සම්පූර්ණ පියයුරුව ඉවත් කිරීමට හැකියාවක් ඇතත් එහි දී මව්කිරි ලබාදීමට ගැටලුවක් වේද (බොහෝ විට එක් පියයුරුවක් මවුකිරි දීමට ප්‍රමාණවත් වේ.) සහ එම විකෘතිතා මගහරවා ගැනීමට හැකියාව ලැබේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එහිදී ප්ලාස්ටික් සැත්කමක් ආධාරයෙන් පියයුරුව නැවත සැකසීම ආදිය ද දරුවා බිහි කරන තුරු කල් දමා පසුකාලීනව කිරීමට සිදු වේ.
පිළිකා රෝගයේ දී අප සිදුකරනු ලබන තවත් ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ කිමෝ තෙරපි (Chemotherapy) ප්‍රතිකාරයයි. ගර්භණී අවධියේ දී කලලය වර්ධනය වන මුල් අවධියේ දී (මුල් සති 14) කලලයේ යම් යම් අවයව වර්ධනය වන බැවින් එම කාලය තුළ අපට මෙම ප්‍රතිකාරය සිදු කළ නොහැකිය. එවැනි අවස්ථාවක දී කලලය සම්පූර්ණයෙන් ම වැඩී අවසන් වන තුරු ම Chemotherapy ප්‍රතිකාරය කල් යැවීමට සිදු වේ.

ඒ අනුව ගර්භණී අවස්ථාවේ දී ඇතිවන පියයුරු පිළිකාවක දී අපට සිදු කළ හැක්කේ සැත්කමක් මාර්ගයෙන් ප්‍රතිකර්ම සිදු කිරීම පමණක් වන අතර අනෙකුත් ප්‍රතිකාර සිදු කිරීම තාවකාලිකව කල් දැමීමට සිදු වේ. මෙය අවාසිදායක තත්ත්වයකි. එවැනි අවස්ථාව Amoxicillin ඖෂධය අපට භාවිත කළ හැකි වුව ද එහිදී ද කලලයට යම්කිසි ආකාරයක බලපෑමක් සිදුවීමට අවකාශය පවතී. එමෙන්ම ඇතැම් පිළිකාවල දී මෙම ඇමොක්සිලීන් (Amoxicillin) ඖෂධය ලබාදීමෙන් ප්‍රතිඵලයක් නොලැබිය හැකිය.

ගර්භණී අවධියේ දී පියයුරු පිළිකාවක් සෑදුණු විට ඉහත සදහන් කළ සාධක එනම් හඳුනාගැනීමට කල්ගතවීම, සැත්කමක් පමණක් ප්‍රතිකාර ලෙස සිදු කළ හැකිවීම, සැත්කමක් සිදු කළ ද එහි ඉතිරි ප්‍රතිකාර හා ඖෂධයන් ලබාදීමට නොහැකිවීම යන කරුණු සියල්ල ම රෝගයට අනිසි ලෙස බලපානු ලබන අතර එවැනි කාරණා මත පියයුරු පිළිකාවක් ගර්භණී අවස්ථාවේ දී වැලඳීම අවාසිදායක විය හැකිය.

පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ නෙඕමාල් පෙරේරා

සටහන – පියුමිලා අරවින්දි