Health Guide

පියයුරු පිළිකාව පිළිබඳ පූර්ව වශයෙන් හඳුනාගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන පිළිකා විශේෂයක් ලෙස මෙන්ම කාන්තා, පිරිමි දෙපාර්ශ්වයට ම වැලඳෙන පිළිකා රෝග අතර බහුලව ම හඳුනාගැනීමට ලැබෙන පිළිකා විශේෂය ලෙස ද පියයුරු පිළිකාව පිළිබඳ හැඳින්විය හැකිය. එය පිළිබඳ ප්‍රමාණාත්මක දත්තයන් ඔස්සේ පැහැදිලි කරන්නේ නම්, අප රට තුළ වසරකට පියයුරු පිළිකා රෝගීන් 3,500ක් වැනි පිරිසක් හඳුනාගනිමින් නිසි ප්‍රතිකාර සිදු කිරීම ඒ හරහා සුවපත් කළ හැකි අතර එලෙස පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු සුවවූ විශාල පිරිසක්ද සිටිති. එබැවින් මෙවර කලාපය ඔස්සේ අපි පියයුරු පිළිකාවක් පූර්ව වශයෙන් හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ සමඟ සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන්නෙමු.

ඉතා දුර්ලභ ගණයේ පිළිකා රෝගයක් නම්, ඒ පිළිබඳ බොහෝදෙනකු අතර තැකීමක් හෝ අවබෝධයක් නොවිය හැකියි. එහෙත් පියයුරු පිළිකාව අප රට තුළ බහුලව හඳුනාගැනීමට ලැබෙන පිළිකා විශේෂය බැවින් කාන්තා ඔබ ඒ පිළිබඳ නිරන්තර අවධානය දැක්වීම සහ ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිලිමත්වීම ඉතා අවශ්‍ය වේ. එමෙන්ම මෙම රෝගය පුරුෂයන්ට ද වැලදීමේ 1% ප්‍රතිශතයක් ඇති බැවින් කාන්තා, පුරුෂ දෙපාර්ශ්වය ම මේ පිළිබඳ දැනුවත්වී සිටීම නිසැකව ම වැදගත් වනු ඇත.

කාන්තාවන් වැඩිවියට පත්වී ඔසප්වීම ක්‍රමානුකූලව සිදුවෙමින් පතින කාලයේ, නැතහොත් වයස අවුරුදු 18 – 20 වැනි අවධියේ සිට ම තමා විසින් ම තම පියයුරු ස්වයං පරීක්‍ෂාවකට ලක් කිරීම වැදගත් වන අතර ඒ පිළිබඳ නිවැරුදි මාර්ගෝපදේශයක් අද වන විට නව තාක්‍ෂණය හරහා වුව ද ඔබට පහසුවෙන් ලබාගත හැකිය. මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ වයස අවුරුදු 18-20 දී පමණ සිට දීර්ඝ කාලීනව ජීවිතය පුරාවට ම මෙම පියයුරු පරීක්‍ෂාවන් අඛණ්ඩව සිදුකිරීම අත්‍යවශ්‍ය බවයි. අවම වශයෙන් මසකට වරක් හෝ තම පියයුරු පරීක්‍ෂා කිරීම සිදුකළ යුතු අතර එය ඔබට අතපසුවීමකින් තොරව සිදුකර ගැනීම සඳහා සෑම මසක ම ඔසප්වීමෙන් පසුව ඔබ ස්නානය කරනු ලබන දිනය ඒ වෙනුවෙන් වෙන්කර ගත හැකිය. එමෙන්ම මාසික ඔසප්වීම අවසන්වූ විට එනම් ආර්ථවහරණයෙන් පසුව ඔබට පියයුරු පරීක්‍ෂාව අතපසු විය හැකි අතර එවැනි අවස්ථාවක දී සෑම මසක ම පළමු දින ඔබට ඒ සඳහා වෙන්කර ගත හැකියි.

ස්වයං පියයරු පරීක්‍ෂාවක දී කණ්ණාඩියක් ඉදිරියට ගොස්, පරීක්‍ෂාව සිදුකළ හැකි අතර මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ, ඇඟිලි තුඩුවලින් තම උරස් කුහරයට තද කරමින් වක්‍රාකාරව (ඔරලෝසුවක මුහුණතක් ආකාරයෙන්) තද කරමින් තම ඇඟිලි අගින් ගැටිත්තක් ඇත්දැකි පරීක්‍ෂා කළ යුතුය. එසේ නොමැතිව සුළැගිල්ල හා දඹර ඇඟිල්ල පමණක් යොදාගනිමින්, පියයුරුව තද කරමින් පරීක්‍ෂා කිරීම වැරැදිය. සාමාන්‍යයෙන් අතේ මැද ඇඟිලි තුන ගෙන එහි ඇඟිලි කෙළවර පුරුක් මඟින් උරස් කුහරය තද කරමින් ස්පර්ශ කිරීම නිවැරැදි ක්‍රමය වන අතර ඒ හරහා ගැටිත්තක් ඇත්දැයි හඳුනාගත හැකියි. ඊට අමතරව තන පුඩුවෙන් රුධිරය ස්‍රාවය වන්නේ දැයි පරීක්‍ෂා කිරීමේ දී වැදගත් වන අතර එලෙස රුධිරය ස්‍රාවයවීම ඇතැම් විට පිළිකාවක මුල් අවස්ථාවේ දී දැකිය හැකි රෝග ලක්‍ෂණයක් විය හැකියි.

සාමාන්‍යයෙන් ලංකාව් පියයුරු පිළිකා බහුලව දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 45-55 වයස් කාණ්ඩයේ ය. එම වයස් කාණ්ඩයේ දී මෙම පිළිකා රෝගය හඳුනාගැනීමට ලැබුණ ද පිළිකාව වර්ධනය ඇරඹෙන්නේ වයස අවු. 45 දී නොව ඊට අවුරුදු 5 – 6කට ප්‍රථම විය හැකියි. එබැවින් ඔබ අවුරුදු 35 – 40 වන විට හෝ පියයුරු පූර්ව වශයෙන් හඳුනාගැනීම පිළිබඳ වූ පරීක්‍ෂණ වෙත යොමුවීම අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් පියයුරු පිළිකාව වැලඳීමට තුඩුදෙන සාධක ඔබට නොමැති බැවින්, ඔබට පියයුරු පිළිකාවක් නොවැලදෙනු ඇතැයි පූර්ව උපකල්පනයන්ට එළැඹී එම පරීක්‍ෂණයන්ගෙන් වැළකී සිටීම කිසිසේත් ම සුදුසු නොවන අතර ඕනෑම අයකුට ඕනෑම වයස් කාණ්ඩයක දී හා අවස්ථාවක දී පියයුරු පිළිකාවන් වැලඳීමේ හැකියාවක් ඇති බැවින් සෑම කාන්තාවක් ම මේ පිළිබඳ විශේෂ අවධානයක් දැක්වීම අත්‍යවශ්‍ය වේ. ඇතැම් දියුණු රටවල මෙය අනිවාර්යයෙන් ම පරීක්‍ෂණයන්ට යොමු කරවීම සඳහා වූ ක්‍රියාවලියක් දක්නට ලැබේ. ආර්ථික හේතුන් මත අප රට තුළ දැනට එවැනි වැඩසටහනක් සමාජ ගත කර නොමැති වුවත් තමා ඉදිරිපත් වී තම ස්ව කැමැත්තෙන් ම තම පියයුරු පරීක්‍ෂා කර ගැනීම ඉතා අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් දිවයින පුරා පිහිටි සෑම රජයේ ප්‍රධාන රෝහලක ම පාහේ පිළිකා ආයතනයක් පිහිටවා ඇති අතර ඒ වෙත ගොස් ඔබට මේ පරීක්‍ෂාවන් සිදුකර ගත හැකිය.

සාමාන්‍යයෙන් අවුරුදු 35-40 අතර පියයුරුවේ Ultra Sound Scan පරීක්‍ෂණයක් සිදු කිරීම අවශ්‍ය බව පෙන්වා දිය හැකි අතර ඊට අමතරව Mammogram පරීක්‍ෂණය එනම් පියයුරුවල එක්ස්-රේ පරීක්‍ෂාවක් සිදුකර ගැනීම ද අවශ්‍ය වේ. මෙය බොහෝ විට ආරම්භ කරනුයේ අවුරුදු 40 දී වුවත් ඇතැම් විට අවුරුදු 35න් පසු වුව ද මෙය සිදුකළ හැකිය. සාමාන්‍යයෙන් Mammogram පරීක්‍ෂණයක් සිදුකිරීම ආරම්භ කළ පුද්ගලයකු එය වසර 1 1/2 – 2ක් වරක් සිදුකළ යුතු අතර වයස අවුරුදු 60 – 70 වන තුරු පමණක් නොව දිගු කාලීනව අඛණ්ඩව සිදුකර ගැනීම යහපත් ය. ඇතැම් විට පිළිකාවන් පරීක්‍ෂණයට හසු නොවන බැවින්, එම පරීක්‍ෂණයට අමතරව Ultra Sound Scan පරීක්‍ෂණයක් ද සිදුකිරීම වැදගත් ය.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 35ට අඩු අයකුට Mammogram පරීක්‍ෂණයක් සිදුකිරීම හරහා පැහැදිලි රූපයක් ලබාගැනීම අසීරු ය. එබැවින් වයස අවුරුදු 35ට අඩු පිරිස වෙනුවෙන් පියයුරු පිළිකා පරීක්‍ෂා කිරීම සඳහා Ultra Sound Scan පරීක්‍ෂාව සිදු කරනු ලබයි.

සාරාංශයක් ලෙස නැවතත් ඔබට සිහිපත් කරන්නේ නම්, වයස අවුරුදු 20 පසු සෑම මාසයක දී ම තම පියයුරු ස්වයං පරීක්‍ෂාවකට ලක් කිරීම, ඉන් පසු Ultra Sound Scan පරීක්‍ෂණය සිදු කරමින් වයස අවුරුදු 35න් පසු Mammogram සහ Ultra Sound පරීක්‍ෂණ ද්විත්වය ම සිදුකිරීමත් අනිවාර්යෙන් ම අවශ්‍ය වන අතර ඒ මඟින් පියයුරු පිළිකාවක් පිළිබඳ පූර්ව වශයෙන් හඳුනාගනිමින් නිසි ප්‍රතිකාරයන්ට යොමුවී එම රෝගී තත්ත්වය සුවපත් කර ගැනීමට ඔබට අවස්ථාව සලසා ගත හැකිය.

පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ නෙඕමාල් පෙරේරා

සටහන – පියුමිලා අරවින්දි