Health Guide

දතකට අනතුරක් සිදු වුවහොත් කළ යුත්තේ කුමක්ද?

පුංචි දරුවන් දුව පැන සෙල්ලම් කරද්දී වැටී තුවාල විය හැකියි. එවැනි මොහොතක දී දත්වලට යම් හානියක් සිදුවුවහොත් ඔබ කළ යුත්තේ කුමක්ද යන්න පිළිබදව ඔබ ඇත්තෙන් ම දැනුවත් ද? හදිසි මාර්ග අනතුරක දී ඔබේ දත්වලට යම් හානියක් වුවහොත් ඔබට ජීවිත කාලයට ම ඔබේ සුන්දර සිනහව අහිමි වේවි ද? වර්තමානයේ සුලබව සිදුවන මාර්ග අනතුරු සහ අපේ පොඩිත්තන් මුහුණදෙන විවිධ අනතුරු නිසා ම මෙය අද වෙද්දී සමාජය තුළ බහුලව අවධානය යොමු වන ගැටලුවන් බවට පත් වී තිබේ. එබැවින් මෙවර දන්ත සෞඛ්‍ය පිළිබඳ ලිපිය හරහා අප සාකච්ඡුා කරන්නේ ”දතක් කැඩුණ විට හෝ ගැලවුණු විටක දී අප අනුගමනය කළ යුතු පියවර සහ ඒ සඳහා සිදු කළ හැකි ප‍්‍රතිකාර” පිළිබඳවයි.

අනතුරක දී දතක් තදින් වැදී කැඩී ගිය විට හෝ රුධිරය වහනයවීමක් සිදු වුවහොත් පමණක් වෛද්‍යවරුන් වෙත යොමුවීමටත් නැතහොත් එය නොසලකා හැර වේදනා නාශක ලබාගනිමින් එම මොහොත තුළ ඇතිවන වේදනාව සමනය කරගැනීමටත් බොහෝදෙනා පුරුදු වී සිටියි. එහෙත් අනතුරක දී දතක් තදින් වැදී මතුපිටින් පෙනෙන්නට කිසිදු ප‍්‍රශ්නයක් නොවූවත් එහි අහිතකර බලපෑම පසු කාලෙක දී හෝ උද්ගත විය හැකියි. එමනිසා ඒ පිළිබඳ නොතකා හැරීම යෝග්‍ය නොවේ. බොහෝවිට එවැනි අනතුරක දී භාහිරව පෙනෙන්නට හානියක් නැතත් ඇතුළතින් රුධිරවාහිනී පද්ධතියට හෝ ස්නායු පද්ධතියට යම් හානියක් සිදු වී තිබිය හැකියි. එසේ වුවහොත් මාස කිහිපයකට පසු දත මැරෙන්නට පවා හැකි අතර එහි දී දත දුර්වර්න (කහ පැහැය) විය හැකියි. එය ද හඳුනාගැනීමට නොහැකි වුවහොත් අවසානයේ දී දතේ මුල දක්වා එම තත්ත්වය ව්‍යාප්ත විය හැකිය. එමනිසා කිරි දතක් හෝ ස්ථිර දතක් තදින් වැදුණහොත් ඒ පිළිබඳව නොසලකා නොහැර දන්ත ශල්‍ය වෛදවරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත් ය.

දතක් කැඩුණහොත් එම දත් කැබැල්ල ද දන්ත ශල්‍ය වෛද්‍යවරයා වෙත රැගෙන යා හැකියි. එහෙත් මෙහි දී කුඩා කැබලි කිහිපයකට කැඩුණු දත් කැබලි යළි බද්ධ කළ නොහැකි අතර තරමක් ලොකු දත් කැබැල්ලක් නම් එය වෛද්‍යවරයා වෙත ගෙන ගොස් බද්ධ කරගත හැකිය. ඇතැම් විට අනතුරක දී දත තිබුණු තැන ම ඇතත්, එහි පිහිටීමෙහි යම් වෙනසක් සිදු වී තිබිය හැකිය. එනම් දතෙහි සාමාන්‍ය පිහිටීම වෙනස් වී දත ඉදිරියට හෝ පසුපසට වී තිබිය හැකිය. එවිට රෝගියාට දත තිබුණු තැනට යළි දමා වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුය. මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ නම් මෙවැනි අවස්ථාවක දී දතක් තිබුණු තත්ත්වයට හෝ හා ඊට ආසන්න තත්තවයකට හෝ ගැනීමට නම් වහාම ක‍්‍රියාත්මක වන පරිදි වෛද්‍යවරයෙකු වෙත යොමුවී ප‍්‍රතිකාර ආරම්භ කළ යුතු බවයි. දතක් සෙලවෙන විට හෝ දත ඇද වී ඇත්නම් වෛද්‍යවරයා විසින් කම්බියක් ආධාරයෙන් අනෙක් දත් සමග එම දත එකට සම්බන්ධ කිරීම සිදු කරයි. ඉන්පසු දවස් දහයක් නැතහොත් සති දෙකක පමණ කාලයක් තබා ඒ තැන සවි වූ පසුව දිගින් දිගට ම නිරීක්ෂණය කර එයට අවශ්‍ය ප‍්‍රතිකාර සපයයි.

දතක් සම්පූර්ණයෙන් ම ගැලවුණු විට එය කිරි දතක් නම් එම දත කිසි විටක නැවත බද්ධ කිරීමක් සිදු නොකරයි (Replant). එහෙත් ස්ථිර දතක් එසේ ගැලවුණහොත් එය නැවත යථා තත්ත්වයට පත් කර ගත හැකිය. එහි දී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු කිහිපයකි.

x දතක් ගැලවුණු පසු එය නැවත සවි කිරීම පැයක් හෝ අවම වශයෙන් පැය දෙකක් ඇතුළත සිදු කිරීමෙන් වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකි වේ.

x දත ගැලවුණු පසු එය යළිත් දත තිබුණු ස්ථානයට ම තබාගෙන හෝ එම මොහොත තුළ මනා සිහිකල්පනාවක් ඇත්නම්, දත ගිලෙන්නෙ නැති ආකාරයට කේටය තුළ ම රඳවාගෙන හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු විය හැකිය.

x කිසිවිට දතේ මුලෙන් ස්පර්ශ නොකළ යුතු අතර දතක එළියට පෙනෙන ප‍්‍රදේශයෙන් (Crown) පමණක් ස්පර්ශ කළ යුතුය. හදිසියේ හෝ දතෙහි මුල යම්කිසිවක් තැවරුණහොත් තත්ත්පර 10ක් පමණ ගලා යන ජලයෙන් සෝදා, සේලයින් හෝ ශීතකරණයේ තිබෙන නැවුම් කිරිවල බහාලා, (Transport Mediaවල දමාගෙන) වහාම වෛද්‍යවරයා වෙත රැගෙන යා යුතුයි. පැයක් පමණ ඇතුළත ගැලවුණු දත මේ ආකාරයෙන් රැගෙන පැමිණියහොත්, ඉතා පහසුවෙන් දත බද්ධ කළ හැකි වේ. ගැලවුණු දතක් අතින් පිරිමැදීම, වැඩිදුරටත් ජලයේ සේදීම හෝ අයිස් කැටවල දමා, රෙදිකඩක තබාගෙන වෛද්‍යවරයා වෙත රැගෙන යාම හෝ කිසිවිටක සිදු නොකළ යුතුයි. දතක් නැවත පිහිටා තිබූ ස්ථානයට දැමූ විට දත මුලෙහි පිහිටා ඇති ෙසෙලවලින් නැවත දත සවිවීම සිදු වේ. නමුත් ගැලවුණු දතක් පැයකට වැඩි කාලයක් මුඛයෙන් පිට තිබුණු විට දතේ සෛල මැරී (Extra oral die time) දත නැවත බද්ධ කිරීම අපහසු වේ. එමනිසා දතේ සෛල ආරක්ෂා කරගෙන පැමිණීම ඉතා වැදගත් වේ.

x ගැලවුණු දතක් මෙලෙස පැයක් පමන ඇතුළත ගෙන ආ විට වෛද්‍යවරයා විසින් එන්නතක් ලබා දී දත තිබූ ස්ථානය සහ එම ප‍්‍රදේශය පිරිසිදු කර, කුඩා කම්බි කැබැල්ලකින් (Splint) සම්බන්ධ කර සති දෙකක් පමණ තබනු ලබයි. සති දෙකකින් පමණ එම දත සම්බන්ධ කළ කම්බිය ඉවත් කිරීමට පෙර සමහර දත් දවස් දහයකින් පමණ ස්නායු පිරවුමකට භාජනය කරන අතර දතෙහි මුල සම්පූර්ණයෙන් ම සැදී නැති අවස්ථාවක දී ස්නායු පිරවුම සිදු නොකරයි. තවදුරටත් මෙයට දිගු කාලීනව අවධානය යොමු කරමින් ප‍්‍රතිකාර කිරීම සිදු කළ යුතු වේ. ඇතැම් අවස්ථාවල දී දත් මුල දියවීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි අතර එහි දී x ray මගින් දත පරීක්ෂාව කර අවශ්‍ය ක‍්‍රියාමාර්ගවලට යොමු විය යුතුයි.

x පැයක් ඇතුළත දත මේ ආකාරයෙන් රැගෙන යාමට නොහැකි වුව ද කෙටි කාලයක් ඇතුළත දත රැගෙන ගියහොත් වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කොට අවශ්‍ය ප‍්‍රතිකර්ම සිදු කර ඒ හරහා දත නැවත බද්ධ කිරීමට කටයුතු කරනු ඇත. දතක් ගැලවුණු පසුව හැකි ඉක්මනින් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත් වේ.

x ඇතැම් අවස්ථාවක දී එක් දතක් පමණක් නොව, දත් කිහිපයක් සමග අස්ථිවල කොටසක් ද කැඞී යා හැකියි. එවන් අවස්ථාවක දී වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු අතර එහි දී වෛද්‍යවරයා විසින් මුඛ හනුක ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත රෝගියා යොමු කරනු ලබයි. ඕනෑ ම මූලික රෝහලක මුඛ හනුක ශල්‍ය ඒකකයක් ස්ථාපිත කර ඇති අතර ඒ හරහා අවශ්‍ය ප‍්‍රතිකර්මයන්ට යොමු කරනු ඇත.

විශේෂඥ මුඛ හනුක ශල්‍ය වෛද්‍ය පද්මා ද සිල්වා
(කොළඹ ජාතික දන්ත රෝහල (ශික්ෂණ))

සටහන – පියුමිලා අරවින්දි