Health Guide

සුළු ආඝාත තත්ත්වය ගැන ඔබ දැනුවත්ද?

මිනි ස්ට්‍රොක් එහෙමත් නැත්නම් සුළු ආඝාත තත්ත්වය පිළිබඳ බොහෝදෙනෙකු තුළ එතරම් පැහැදිලි අවබෝධයක් ඇති බව දකින්නට නැහැ. බොහෝදෙනා තවමත් ආඝාතය යන රෝගය හඳුන්වන්නේ අංශභාගය ලෙසයි. නමුත් මේ කියන අංශභාගය ඇතිවන්නේ ආඝාතයේ අතුරු ඵලයක් ලෙසයි. ආඝාතයට ලක්වූවෙකුට ඒ ආඝාතයේ ස්වභාවය අනුව අංශයක් පණ නැතිවීම, අක්‍රියවීම යන තත්ත්වයන්ට මුහුණදෙන්නට සිදුවිය හැකියි. ප්‍රතිකාරවලින් ඒ පණ නැති වූ අවයව නැවත පණ ගන්වන්නට හෝ යම් ආබාධයක් සහිතව වුවත් තරමක් සුවය වෙත ළඟා කර ගන්නට පුළුවන්කම ලැබුණත් සමහරු ආඝාතයට ගොදුරුවීමෙන් මිය යන නිසා එම අවස්ථාව ගිලිහෙන්නට පුළුවන්. ඒ මහා ආඝාත තත්ත්වයේ අවාසනාවන්ත ප්‍රතිඵලයක්. මේ කියන ආඝාතය නිසා ඇතිවන අංශභාගය අපි කිසිවෙකුත් වැලඳේ යැයි සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවන රෝගයක්. එහෙම නම් එයින් බේරි ඉන්න පෙර සූදානමක් දැනුවත් බවක් අපට තිබීම ඉතා ම වැදගත්.

මෙකල ආඝාතය තරුණ පිරිස අතර ද දක්නට ලැබෙන තත්ත්වයක්. තරුණයෙකුට තරුණියෙකුට අංශභාග තත්ත්වයක් නිසා එකතැන්වී දුක් විඳින්නට සිදු වුවහොත් එය කෙතරම් කනගාටුදායක තත්ත්වයක්ද?

වැස්සකට පෙර ඇතිවන ලකුණු ගැන අපි හැමදෙනා ම දැනුවත්. එළිපෙහෙළියේ ඇති දෑ වැස්ස වහින්නට පෙර ගෙට රැගෙන වැස්සෙන් ආරක්‍ෂා වෙන්න පියවර ගන්නවා. අපිට ආඝාතයේ පෙර සංඥා ගැන දැනුවත්ව සිටියහොත් අංශභාගයට අත නොවනා එයින් ආරක්‍ෂා වෙන්න පුළුවන්.

ආඝාතයක් ඇති වෙන්නට පෙර එවැන්නක් ඇතිවීමට ඉඩ තිබෙන බව අඟවන ලක්‍ෂණයට තමයි අපි සුළු ආඝාතය කියන්නේ. සුළු ආඝාතයක දී එය නොසලකා නොහැර ඉක්මනින් ඒ ගැන ක්‍රියාත්මක වෙන්නට හැකි නම් කවදාවත් ඔබට අංශභාග රෝගියෙකු ලෙස දුක් විඳින්නට සිදුවන්නේ නැහැ. සුළු ආඝාතයක් කියන්නේ ළඟ ළඟ ම එන මහා ආඝාත තත්ත්වයක පෙර සලකුණක්. ඉතින් සුළු ආඝාතය නැතිනම් බොහෝදෙනා අසා ඇති mini stroke කියන්නේ stroke එකක් නැතිනම් ආඝාතයක් ඇතිවීමේ පූර්ව දැනුම් දීමක් බව දැන් ඔබට වැටහෙනවා ඇති.

Stroke එකක් නැතිනම් ආඝාතයක් මතුවෙන්න හේතුව මොකද්ද කියලා අපි දන්නේ නැතිනම් එයිනි ප්‍රවේසම් වෙන්න අපි දරන උත්සාහය ඵලක් නැතිවෙන්න පුළුවන්. මේ නිසා අපි මුලින් ම මේ කියන ආඝාත තත්ත්වයට බලපෑ හැකි අවදානම් සාධක සම්බන්ධයෙන් සහ ආඝාතයක් ඇතිවීමේ දී මතුවන ශාරීරික තත්ත්වය ගැන විමසා බලමු. ඔබ අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් අධිකතාව යන තත්ත්වයන්ගෙන් පීඩා විඳින්නෙක්ද? මේ රෝග තත්ත්වයන්වල දී සෑම විට ම රුධිර නාලවල යම් යම් අවහිරතා මතුකරන බව ඔබ දන්නවා ඇති. කිසියම් රුධිර නාලයක යම් අවහිරතාවක් ඇතිවිය හැකියි.

ආඝාතය යනු මොළයේ ඇතිවන හදිසි තත්ත්වයකැයි කිවහොත් එහි වරදක් නැත. ඔබ හෘදයාබාධයක් යනු හෘදයේ හදිසියෙන් ඇතිවන රෝගයක් බව ඔබ දනී. හෘදයට ඇතිවන ඇටෑක් එකක් වන්නා සේ ම මොළයට ඇතිවන ඇටෑක් එකක් ආඝාතයක් ලෙස අරුත් දැක්වීම වරදක් නොවේ. මෙසේ මොළයට යම් අටෑක් එකක් එල්ලවීමට හේතුව කුමක්ද යන්න ඔබට මතුවන ඊළඟ ප්‍රශ්නයයි.

මොළයට රුධිරය ගෙන යන රුධිර නාලයක යම් රුධිර කැටියක් සිරවීම වැනි හේතුවක් නිසා අවහිර වුවහොත් ඒ රුධිර සැපයීමේ අඩාලවීම ආඝාත තත්ත්වයට හේතු සපයයි. නමුත් ආඝාත තත්ත්වයක් මොළයට බලපෑම් කරන ආකාර දෙකකි. මොළය දක්වා රුධිරය ගෙන යන නාලයක් අවහිරවීමෙන් ඇතිවන ආඝාත තත්ත්වය අප හඳුන්වන්නේ ඉස්කිමීයාව ලෙසයි. නමුත් රුධිර නාල අවහිරවී ඒ හේතුවෙන් එය පුපුරා ගොස් මොළය තුළට රුධිරය වහනයවීමෙන් ඇතිවන රක්තපාතය හෙමරේජ් ලෙස හඳුන්වනු ලබයි. මේ ආකාරයට මොළයේ ඕනෑ ම කොටසක ආඝාත රෝගී තත්ත්වයක් ඇති විය හැකිය. ආඝාතයට භාජනයවූ ප්‍රදේශය අනුව රෝග ලක්‍ෂණ ද වෙනස් වෙයි. දැන් ආඝාතය යනු කෙබඳු රෝගයක් ද යන්න ඔබ හොඳින් දනී. දැන් අපි අපේ ප්‍රධාන මාතෘකාවවූ සුළු ආඝාතය නැතිනම් සියුම් ආඝාත තත්ත්වය ගැන විස්තර දැනගනිමු.

සියුම් ආඝාත තත්ත්වය එසේත් නැතිනම් සුළු ආඝාත තත්ත්වයක් යනු රුධිර නාලයක සිදුවන අර්ධ අවහිරවීමක දී ඇතිවන රෝග තත්ත්වයයි. නමුත් මේ අවහිරවීම ඉතා කෙටි කාලයක දී අවසන්ව නැවත සුළු වේලාවකින් යළි යථා තත්ත්වයට පත්වෙයි. මේ අනුව සියුම් ආඝාත තත්ත්වයේ රෝග ලක්‍ෂණ පවතින්නේ ද සුළු වේලාවකට බව ඔබට වැටහෙනු ඇති. උදාහරණයක් ලෙස ඔබ ලෙමන් වීදුරුවක් ගෙන බටයකින් පානය කරන අවස්ථාවක් සිහියට නඟන්න. බීම පානය කරමින් සිටින විට ලෙමන් රේණු බටයේ මැද හෝ යම් තැනක සිරවී බීම බටයෙන් ඉහළට දියරය ගමන් නොකරන අවස්ථාවක් විය හැකියි. නමුත් ඒ ක්‍ෂණයකින් ම එය ඉවත්වී නැවත පෙර පරිදි ම ලෙමන් ගලා එන්නේ නම් එයින් ගැටලුවක් ඇති නොවේ. රුධිර නාලයක් තුළ තාවකාලික අවහිරවීම් ද එසේය. අවහිරය ඉවත්වී නැවත රුධිරය ගමන් කරන්නට පටන්ගත් විට එයින් ඇතිවූ අපහසුතාව ද ක්‍ෂණයකින් ඉවත්වී යයි. ආඝාතයක් ඇතිවීමේ දී දක්වන රෝග ලක්‍ෂණවලට සමාන ලක්‍ෂණ දක්වන මේ තත්ත්වය මිනිත්තු කීපයකින් හෝ පැය කීපයකින් සම්පූර්ණයෙන් ම නැතිවී එයට මුහුණ දුන් තැනැත්තා සාමාන්‍ය තත්ත්වය වෙත ළඟා වනු ඇත.

එසේ සියුම් ආඝාත තත්ත්වයක දී මතුවන රෝග ලක්‍ෂණ මොනවාද යන්න ඔබ දැන සිටිය යුතුම කාරණාවයි. කෙටි වෙලාවකට දෑත් දෙපාවල ඇතිකරන අඩපණ බව මූලික ම ලක්‍ෂණයයි. දෑත් දෙක අතරින් එක් අංශයකින් හිරිවැටීමක් ඇතිවී ටික වේලාවකින් එය ඉබේම හෝ බාම් වර්ගයක්, කිසියම් දෙයක් ආලේපනය කර පිරිමැදීමෙන් සුවවීමක් ඔබ අත්විඳිනු ඇත.

නමුත් ඔබ සැලකිලිමත් විය යුතුම තැන එයයි. එම සලකුණ ඔබ මතු දිනක දරුණු ආඝාත තත්ත්වයකට ඔබව ගොදුරුවීම පිළිබඳ පෙර සංඥාවක් සේ සැලකීම සහ ක්‍රියාත්මකවීම වැදගත් ය. 10%ක් පමණ සියුම් ආඝාත තත්ත්වයකට ගොදුරු වූවන් ඊළඟ මාස 3 ඇතුළත දරුණු ආඝාත තත්ත්වයට ගොදුරු වෙයි.

ආඝාත රෝග ලක්‍ෂණ ඇතිවන්නේ හදිසියෙන් ම ය. මේවා අතුරින් බහුල ම රෝග ලක්‍ෂණ වනුයේ,

මුහුණේ එක් පසෙක හෝ ශරීරයේ එක් පසෙක අත් පා ආදියේ ඇතිවන බෙලහීනතාව හෝ හිරිවැටීමයි. වික්ෂිප්ත බවක් හෝ කතා කරන්නට හෝ කතාව තේරුම්ගැනීමේ අපහසුතාව.

ඇසක පෙනීම නැතිවී යාම හෝ ආඝාතයෙන් පසු සමහර රෝගීන්ට යමක් දෙස බලන විට එහි කොටසක් නොපෙනීම හෝ ද්විත්ව දර්ශන ඇතිවීම.

ඇවිදීමේ අපහසුතා, කරකැවිල්ල, සමබරතාවක් නොමැතිවීම හා ගිලීමේ අපහසුතාවයි. ඉතා තදබල හිසරදයක් ඇතිවීම වේ.
මේ නිසා මෙවන් වෙනස්කමක් දුටු වහාම සුදුසුකම් පවතින රෝහලක් වෙත යොමුවී ප්‍රතිකාර පැතීමට වගබලාගන්න. ආඝාතයට ගොදුරු නොවන්නට සිතට ගන්න.

ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා ගුණරත්න
(ජාතික ආඝාත සංගමයේ හිටපු සභාපතිනි)

සටහන – යසස්වීනි ජයතිලක