Health Guide

දරුවාගේ හතියට හේතුව ඇදුමද?

කුඩා දරුවාට හතිය සෑදී හදිසියේ ම රෝහල්ගත කරන්නට සිදුවුවොත් මව්වරුන් කලබලයට පත්වන අයුරු විටෙක සිතාගැනීමටවත් නොහැකියි.

තමන්ගේ හයහතර නොතේරෙන සිඟිති දරුවා හුස්මගැනීමට අපහසුවෙන් සිටිනු දැකීම කාගේ වුවත් සිත ක්ෂණයකින් සසල කරවන්නක්.

එසේ වන්නට හේතුව කුමක්ද? විමසා බලමු.

හතිය (Wheezing) යනු කුමක්ද?

Wheezing යනු හුස්ම ගන්නා විට ඇසෙන පපුවේ රූං රූං ශබ්දයයි.

දරුවන්ගේ හුස්ම ගැනීමේ දී හා පිටකිරීමේ දී වාතය ගමන් කරන ස්වාසනාල හා කුඩා ස්වාස නාලිකා ඉතා කුඩා ය. මේ නිසා වෛරස ආසාදන හෝ නියුමෝනියාව වැනි රෝග තත්ත්ව වැලඳුණු විට, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ස්වාස නාල හා කුඩා ස්වාස නාලිකා අවහිරවීම හා සිහින්වීම හේතුවෙන් Wheezing ඇතිවීමට ඉඩ ඇත.

Wheezing වැලඳුණ සෑම දරුවෙකුට ම ඇදුම රෝගය වැලඳී ඇතැයි බියවීමට අවශ්‍ය නැත.

හතිය (Wheezing) සෑදීමට බලාපන වෙනත් සාධක

■ ඇදුම රෝගී තත්ත්වය
■ ශ්වසන පද්ධතියට වැලඳෙන වෛරස ආසාදන (විශේෂයෙන් ම මාස 01ත් 12ත් අතර දරුවන්ට වැලඳෙන Bronchiolitis ආසාදන තත්ත්ව නිසා. මෙහිදී ආසාදාන සුව වූ පසුත්, සමහර දරුවන්ට දිගටම හෝ වරින්වර හතිය සෑදීමට ඉඩ ඇත.
■ නියුමෝනියාව නිසා.
■ ශ්වසන මාර්ගයේ යමක් හිරවූ විට. (කඩල ඇට, ආහාර වැනි දෑ පිට උගුරේ ගිය විට)
■ ශ්වසන පද්ධතියේ උපතින් ම ඇතිවන ආබාධ නිසා.
■ ජානමය හේතූන් නිසා.
■ යම් ආසාත්මිකතාවන් නිසා. (උදා: දූවිලි, මකුළු දැල්, වාහන දුම ආදිය)

හතිය සෑදුණු විට ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ

■ වේගයෙන් හුස්ම ගැනීම, හුස්ම ගැනීමේ අපහසුව.
■ හුස්ම ගන්නා විට පපුව දෙපස සහ බෙල්ල මුල වළ ගැසීම.
■ පපුව හිරවෙන බවක් පෙනෙන්නට තිබීම.
■ කැස්ස ඇතිවීම.
■ දරුවාට එකදිගට කතා කිරීමට, කිරි උරාබීමට අපහසුවීම.
■ නාඩි වැටෙන වේගය වැඩිවීම.

හතිය සෑදෙන්නේ කුමන වයසේ දරුවන්ටද?

ඕනෑම වයසක දරුවෙකුට හතිය සෑදිය හැකිය. නමුත් ඒ සඳහා බලපාන හේතූන් වයස අනුව වෙනස් වේ.

අවුරුද්දට අඩු දරුවන්ට හතිය සෑදෙන්නට වැඩිපුර ම හේතු වන්නේ ශ්වසන පද්ධතියේ ඇතිවන Bronchiolitis වැනි වෛරල් ආසාදන හා නියුමෝනියාව වැනි ආසාදන ය.

පෙරපාසල් දරුවන් හා අලුතින් පාසලට ඇතුළත් කළ දරුවන් අතර ද නිතර නිතර වෛරස ආසාදන නිසා හතිය වැලඳීම බහුල වේ. (Virus included wheezing)

වැඩිහිටි දරුවන්ට ඇතිවන හතියට බොහෝ විට ඇදුම රෝගය හේතු වේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම

මෙහිදී දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති නිසා හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම පමා වුවහොත් දරුවාගේ තත්ත්වය අසාධ්‍යවීමට පවා ඉඩ තිබේ.

හතිය (Wheezing) පිළිබඳව සුළුකොට තැකීම මේ අනුව නොකළ යුත්තක් බව පැහැදිලි වේ.

හතිය රෝගය සඳහා කෙරෙන ප්‍රතිකාර ක්‍රම සහ සාර්ථකව වළක්වාගැනීම පිළිබඳව ඉදිරියේ දී
බලාපොරොත්තුවන්න.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය පුණ්‍යානි බන්දුතිලක
(දකුණු කොළඹ ශික්ෂණ රෝහල – කළුබෝවිල)

සටහන – ශෂිකා තල්පෙහේවා