Health Guide

ඇස් කහවීම පිළිකාවක ලක්ෂණයක්ද?

ළමා කාලයේ හා තරුණ කාලයේ කෙනෙකුගේ ඇස් කහ ගැන්වී මුත‍්‍රා කහ පැහැයට පිටවීම එය කහ උණ හෝ සෙංගමාලය ලෙස හදුන්වයි. බොහෝවිට ඊට හේතුවන්නේ වෛරසයක් නිසා අක්මාවේ ඇතිවන ආසාදනයකි. (Infection Hepatitis) එසේත් නැතිනම් රුධිර සෛල අධික ලෙස විනාශ වන රෝග තත්ත්වවල දී පිත වර්ණක (Bilirubin) රුධිරයට එකතුවීම නිසා සෙංගමාල තත්ත්වයක් (Hemolytic Jaundice) ඇතිවිය හැකිය.

මැදිවියේ හෝ වයස්ගත පුද්ගලයෙකුගේ සෙංගමාල තත්ත්වයක් ඇතිවන විට (Jaundice) ඒ පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුත්තේ එය අක්මාවේ, පිත්තාශයේ, පිත්ත ප‍්‍රණාලයේ හෝ අග්න්‍යාශයේ ඇති පිළිකාවක් නිසා ඇතිවිය හැකි නිසාය. උදරයේ වේදනාවක් සමග සෙංගමාල තත්ත්වයක් ඇතිවන්නේ නම් බොහෝවිට එය පිත්තාශයේ තිබූ ගලක් පිත්ත ප‍්‍රණාලයට වැටී අවහිරවීම නිසා හෝ පිත්තාශයේ අධික ආසාධිත තත්ත්වයක් නිසා ද සිදුවිය හැකිය.

උදරයේ කිසි ම වේදනාවක් නොමැති යම් කාලයක් තිස්සේ ක‍්‍රමයෙන් වර්ධනය වන සෙංගමාල තත්ත්වය පිළිකාවක් නිසා දැයි සැක හැර දැනගැනීම අත්‍යවශ්‍ය වේ.

සෙංගමාලයට (Jaundice) හේතුවන පිළිකාවලින් ප‍්‍රධාන තැනක් ගන්නේ අග්න්‍යාශයේ හිස කොටසේ ඇතිවන පිළිකායි (Head of the Pancreas) ප‍්‍රධාන පිත්ත ප‍්‍රණාලයන් (Common Bile Duct) අග්න්‍යාශයික ප‍්‍රණාලයන් (Pancreatic Duct) දෙක ම ග‍්‍රහණියේ දෙවන කොටසට විවෘත වන්නේ අග්න්‍යාශයේ හිස කොටසට පිටුපසිනි. එම නිසා අග්න්‍යාශයේ හිස කොටසේ ඇතිවන පිළිකාවකින් මේ නාල දෙක ම අවහිර විය හැකිය. පිත්ත ප‍්‍රණාලය අවහිර වූ විට ක‍්‍රමයෙන් වර්ධනය වන සෙංගමාල තත්ත්වයක් ඇති වේ. (Progressive Obstructive Jaundice).

තවත් අවස්ථාවක පිත්ත ප‍්‍රනාලය කෙළවර ග‍්‍රහනියට විවර වන තැන ග‍්‍රහනියේ පිළිකා නිසා ද සෙංගමාල තත්ත්වයක් ඇති විය හැකිය. මෙම පිළිකා Periampullary Carcinoma ලෙස හැදින්වේ. මෙහි දී විශේෂත්වය වන්නේ සෙංගමාන තත්ත්වය කඩින් කඩ ඇතිවිය හැකිවීමයි. (Intermittent Jaundice).

කලාතුරකින් පිත්ත ප‍්‍රණාලයේ ම ඇතිවන පිළිකා (Cholangiocarcinoma) නිසා සෙංගමාල තත්ත්වයක් (Obstructive Jaundice) ඇතිවිය හැකිය.

අක්මාවේ ඇතිවන පිළිකා ද (Hepatocellular Carcinoma) අක්මා සෛල විනාශ කිරීම හේතුවෙන් සෙංගමාල තත්ත්වයක් ඇති කළ හැකිය.

රෝගය හදුනාගැනීම

1. අල්ට‍්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය (Ultra Sound Scan)
2. සී. ටී. ස්කෑන් පරීක්ෂණය (C.T. Scan)
3. එම්. ආර්. අයි. ස්කෑන් (Magnetic Resonance Imaging)
4. ඊ. ආර්. සී. පී. පරීක්ෂණය (ERCP)

මින් ERCP පරීක්ෂණය වඩා වැදගත් වන්නේ මුඛය තුළින් ඇතුළු කරන නම්‍යශීලී බටය තුළින් පිත්ත ප‍්‍රනාලයේ අවහිරතාවය තාවකාලිකව හෝ දීර්ඝකාලීනව මග හැරීමට කෘත‍්‍රිම නළයක් (Biliary Stent) භාවිත කළ හැකිවීමයි. ශල්‍යකර්මයක් කළ නොහැකි වන සේ පිළිකාව පැතිරී තිබුණහොත් දීර්ඝකාලීන නළයක් භාවිත කෙරේ. (Permanent Stent).

ප‍්‍රතිකාර ක‍්‍රම

අග්න්‍යාශයික හිසේ හෝ ග‍්‍රහණියේ ඇති පිළිකාවක් සංකීර්ණ ශල්‍ය කර්මයකින් අගන්‍යාශයේ හිස කොටස ද, පිත්ත ප‍්‍රනාලයේ කොටසක් ද ආමාශයේ කොටසක් ද ඉවත් කර කුඩා අන්ත‍්‍රයේ කොටස් භාවිත කරමින් ආහාර මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම සිදුකරනු ලැබේ. පිත්ත ප‍්‍රණාලයේ පිළිකා එම කොටස් ඉවත් කිරීම හා ඉතිරි වන නාළ කොටස කුඩා අන්ත‍්‍රයේ කොටසකට බද්ධ කිරීමෙන් යථා තත්ත්වයට පත් කළ හැකිය.

ශල්‍ය කර්මයකින් ඉවත් කළ නොහැකි තත්ත්වයේ ඇති හෝ සංකීර්ණ ශල්‍ය කර්මයකට රෝගියා ඔරොත්තු නොදෙන අවස්ථාවල දී පිත් ප‍්‍රණාලයට කෘත‍්‍රිම නළයක් (Bile Duct Stent) ඇතුළු කිරීම, විකිරණ හා පිළිකා නාශක ඖෂධ භාවිත කිරීම සිදුවේ.

ආමාශ ආන්ත‍්‍රික විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන