Health Guide

නිරෝධායනයෙන් පසු ඇතිවන රෝග තත්ත්ව

Covid 19 වසංගතය නිසා නිරෝදායනය තත්ත්වයකට පත් වූ රටක ජනතාවට බලපෑ හැකි අනෙකුත් රෝග තත්ත්ව ගැන විමසා බැලීම වටී. ආමාශ හා ආන්ත්‍රික රෝග මින් විශේෂ තැනක් ගනියි. ජනතාව නිවෙස්වලට සීමාවීම නිසා සමහර අයගේ ආහාර රටා වෙනස්කම්වලට භාජනය විය.

1. අමුද්‍රව්‍ය සපයාගැනීමේ අපහසුතාවය නිසා පිට ආයතනවලින් ආහාර ගෙන්වාගැනීමට සිදුවීම.

2. තමන්ට නුපුරුදු කෑම වර්ග අකමැත්තෙන් වුව ද පරිභෝජනය කිරීමට සිදුවීම.

3. ශරීරයට අවශ්‍ය ආහාර අඩුවීම නිසා ඇති විය හැකි ප්‍රශ්න.
උදා:- මන්දපෝෂණය

4. නිවෙස්වලට සීමාවීම නිසා ප්‍රමාණයට වඩා ආහාර ගැනීමෙන් ඇතිවන ප්‍රශ්න.
උදා:- ස්ථුලභාවය.

5. මානසික ආතතිය නිසා ඇතිවිය හැකි ආමාශ ආන්ත්‍රික රෝග තත්ත්වය.

6. එදිනෙදා රාජකාරියවලින් මිදී නිකරුණේ කාලය ගත කිරීම වැනි අවස්ථාවක පුද්ගලයන්ගේ දුම්බීමේ හා මත්පැන් පානය කිරීමේ වැඩි ප්‍රවණතාවයක් තිබූ බව සමීක්ෂණවලින් හෙළිවී ඇත. මේවා ද ආමාශ හා ආන්ත්‍රික රෝග ඇතිවීමට හෝ තිබූ රෝගයක් වර්ධනයවීමට ඉවහල් වේ.

මීට අමතරව රෝගවලට ප්‍රතිකාර ගැනීමට රෝහල් කරා යා නොහැකිවීම නිසා තිබූ රෝග වර්ධනයවීමට අලුතින් ඇතිවූ රෝගවලට ප්‍රතිකාර කිරීමට ප්‍රමාදවීම වැනි සංකූලතා ඇති වූවා විය හැකිය.

ආහාර රටාවේ හා පරිභෝජනයේ වෙනස්කම් නිසා අජීර්ණය අසාත්මිකතාවන් වැනි ප්‍රශ්න ද ලබාගත් ආහාරවල සෞඛ්‍ය තත්ත්වය සියයට සියයක් සෞඛ්‍ය ආරක්ෂක යයි සාක්ෂාත් කරගත නොහැකිවීම නිසා යම් යම් ආසාදිත තත්ත්වයන් විශේෂයෙන් ම helicobactor jdis loosi වැනි රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි විය හැකිය.

ආර්ථික ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න, කාන්තා හා ළමා හිංසනය, නිවෙස් ආරවුල් වැනි හදිසියේ මතුවන ප්‍රශ්න පාදක කරගෙන ඇති විය හැකි මානසික ආතතිය ගැස්ට්‍රයිටිස් මහාන්ත්‍ර උත්තේජනය වැනි තත්ත්වවලට හේතු විය හැකිය. ආදායම් මාර්ග ඇහිරී යාම, ප්‍රිය යන්ගෙන් වෙන්වීම, තමන්ගේ විනෝදාංශවලින් ඈත්වීමට සිදුවීම, වැනි දේ ද මානසික ආතතිය ඇතිවීමට හේතු වේ. තව ද තමන්ට සෑදෙන සුළු සුළු රෝග වෛද්‍යවරයෙකු හමුවී නිවාරණය කර ගත නොහැකිවීම නිසා ඇතිවන අනියත බිය, මානසික අසහනය නිසා එකී රෝගය වර්ධනයවීම හා මානසික ආතතිය ඇතිවීම ද සිදුවිය හැකිය. මෙවැනි වසංගත තත්ත්වයන් ආපදා තත්ත්වයන් ඉදිරියේ දී ද ඇතිවිය හැකි බැවින් මෙවැනි අර්බුද අවම කර ගන්නේ හෝ මගහරවා ගැනීමේ විකල්ප ක්‍රම ගැන කතිකාවක් සමාජය තුළ ඇති විය යුතුය. සමාජ වෙබ් අඩවි, මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා උපයෝගී කර ගත හැකිය.

ආමාශ ආන්ත්‍රික විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන