Food

රෝගාබාධ රැසකට ඖෂධයක් වන බෙලි

බෙලි යනු රසවත් පලතුරක් ලබාදෙන ශාකයකි. එමෙන්ම ආයුර්වේදයේ දී එය ඉතාමත් වැදගත් ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයක් ලෙස ද හැඳින්විය හැකිය. ඈත අතීතයේ සිට ම ඖෂධයක් ලෙස යොදාගෙන ඇති බෙලි ශාකය පිළිබඳව පුරාණ වේද ග්‍රන්ථවල පවා සඳහන් වේ. එනම් මෙම ශාකයේ කොළ, මල්, ගෙඩි, කටු, පොතු, මුල් ආදී සියලු ම කොටස් ඖෂධ උදෙසා භාවිත කරයි.
මෙහි සංස්කෘතික වටිනාකම පිළිබඳව අධ්‍යනය කළහොත් හින්දු ආගමේ ඉතාමත් සුවිශේෂී ශාකයක් ලෙස බෙලි හඳුන්වයි. එනම් ශිව දෙවියන් සඳහා වෙන්වුණ ශාකයක් වශයෙන් දැක්වෙන මෙම ශාකය ඔවුන් හඳුන්වන්නේ “ශිවදෘම” යන නාමයෙනි. එමෙන්ම ලක්ෂ්මි දිව්‍යාංගනාවගේ වාසස්ථානය ද බෙලි ශාකය ලෙසින් හඳුන්වයි.

තව ද මෙම ශාකය ශ්‍රී ඵල, සදා ඵල, ලක්ෂ්මි ඵල යන නාමයන්ගෙන් ද හඳුන්වයි. එමෙන්ම මෙය Rutaceae නම් ශාක කුලයට අයිතිවන අතර (ජම්භීර ශාක කුලය) මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Aegle marmelos වේ. විශේෂයෙන් ම ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව වැනි රටවල හොඳින් වැඩෙන මෙම ශාකය උසින් අඩි 30-40 පමණ උස විය හැකි මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. අප්‍රේල් මාසය පමණ වනවිට බෙලි ශාකයේ ගෙඩි හටගන්නා අතර ඒවා රවුම් හැඩයෙන් යුක්ත වේ. එමෙන්ම මෙය කටු සහිත ශාකයක් ද වේ. මෙහි පත්‍ර පත්‍රිකා තුනක් එක්ව සෑදී ඇති නිසා එම පත්‍ර ද්විපත්‍ර ලෙස ද හඳුන්වයි. තව ද මෙය ජම්භීර කුලයේ ශාකයක් නිසා මෙහි ගෙඩිවලින් සහ පත්‍රවලින් පවා සුවිශේෂී සුවඳක් හමයි. අමු බෙලි ගෙඩි කොළ පැහැයෙන් යුක්ත වන අතර ඉදුණු ගෙඩි කහ පැහැයට හැරේ.

ආයුර්වේදයේ දී ඉතාමත් වැදගත් පානයක් වශයෙන් දසමුල් හඳුනාගත හැකිය. ඒ අතරින් එක් මුල් වර්ගයක් ලෙස බෙලි මුල් හඳුනාගැනේ. මෙම මුල්වල ඉතා හොඳ වේදනා නාශක ගුණයක් ඇති අතර එහි හොඳ ප්‍රදාහ නාශන ගුණයක් ද තිබේ. එමෙන්ම බෙලි ගෙඩිය ඇතුළත කහ පැහැයෙන් යුක්ත වේ. එහි ඇලෙනසුලු ද්‍රාවණයක ගිලී පවතින බෙලි ඇට දක්නට ලැබේ. තව ද අමු බෙලි ගෙඩි විශේෂයෙන් ම අතීසාර වැනි රෝග සඳහා භාවිත කරයි. මීට අමතරව ඉදුණු බෙලිවල මදය ඉතාම රසවත් පලතුරක් ලෙස ආහාරයට ගත හැකිය. එසේම මෙයට සීනි සහ ජලය එකතු කර සාදාගත් පානයක් ලෙස ද සාදාගත හැකිය. එය ඉතාමත් පෝෂණීය පලතුරු පානයක් වන අතර මෙහි ප්‍රෝටීන, විටමින් A, විටමින් B, විටමින් C, කැල්සියම්, පොටෑසියම් සහ තන්තු යන පෝෂණ ගුණයන් ද අන්තර්ගත ය. එමෙන්ම මෙම පලතුර ඉතාමත් හොඳින් ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය සහිත පලතුරක් ලෙස ද හැඳින්විය හැකිය. තව ද බෙලි පතුරු පානය ශරීරය ඉක්මනින් සිසිල් කළ හැකි පලතුරු පානයකි. එනම් ශක්තිය වැඩි වශයෙන් වැයවන සහ උෂ්ණත්වය අධික දිනවල පානය කිරීමට ඉතාමත් සුදුසු ය.

මීට අමතරව මෙම පලතුර අම්ලපිත්ත රෝගයට (ගැස්ට්‍රයිටීස්) ද ගුණදායක වේ. තව ද ආමාශයේ හටගෙන තිබෙන තුවාල සුවපත් කිරීම ද බෙලි ආහාරයට ගැනීම ප්‍රතිඵලදායක ය. එමෙන්ම අන්ත්‍ර ආශ්‍රිත බොහෝ රෝගයන්ට ඖෂධීය ආහාරයක් ලෙස භාවිත කළ හැකි බෙලි ගෙඩිය මලබද්ධය, අර්ශස් වැනි රෝග දුරු කර සහනය ලබාදෙයි. ආහාර ජීර්ණය ද පහසු කරන අතර ආහාර රුචිය ද වැඩි කරයි. තව ද අන්ත්‍රය ආශ්‍රිත පිළිකා වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීමට ද මෙය සහාය වේ.

බෙලි ශාකයේ පත්‍රය ද විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිත කරන අතර බෙලි කොළ නටන උණු ජලයේ තම්බා, පෙරා උදෑසන පානය කිරීම විශේෂයෙන් ම දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට සුදුසු ඖෂධයකි. තව ද කොලෙස්ටරෝල් වැනි තත්ත්වයක දී මේදය දහනය කිරීමට ද මෙය උපකාරී වේ. එමෙන්ම විවිධ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා වියපත් පුද්ගලයන්ට සහ කුඩා දරුවන්ට ඇතිවන අතීසාර තත්ත්වයන්ට ද බෙලි කොළ තැම්බූ ජලය පානය ලබාදීම සහ බෙලි කොළ වියලා කුඩු කරගෙන එම කුඩු තේ හැන්දක් පමණ ප්‍රමාණයක් මී පැණි සමග දිනකට තුන් වරක් පමණ ලබාදීම සුව ගෙන දේ. තව ද විශේෂයෙන් ම බෙලි කොළ වියලා එයට ඒ හා සමාන ප්‍රමාණයක් කොත්තමල්ලි, පෙරුම්කායන්, සූදුරු, වියළි ඉඟුරු එකතු කර සාදාගත් කුඩ තේ හැන්දක් පමණ දවසට තුන්වරක් පමණ පානය කිරීමෙන් අතීසාර තත්ත්ව, අජීර්ණ, බඩ පුරවා දැමීම වැනි රෝගාබාධ දුරුකරගත හැකිය. එසේම බෙලි කොළ තම්බා කටු සේදීමෙන් මුඛයේ ඇතිවන උෂ්ණ බිබිලි ආදිය ද සුවපත් වේ.

මීට අමතරව ආයුර්වේදයේ දී “පංච බල්ලව” යන නමින් හඳුන්වන පත්‍ර වර්ග පහට ද බෙලි කොළ අන්තර්ගත වේ. එසේම ඉතා ප්‍රබල විසබීජ නාශන ගුණයක් සහිත මෙම පත්‍ර පිළිස්සූ දුම නිවසේ විසබීජහරණය කරගැනීමට යොදාගත හැකිය. එනම් කුඩා දරුවන් වැනි විසබීජවලින් ආරක්ෂා කරගත යුතු පුද්ගලයන්ගේ කාමරවලට මෙම දුම් ඇල්ලීම සිදුකළ හැකි අතර පුරාණයේ වැදුම්ගෙවල් තුළ පවා බෙලි කොළ දුම් අල්ලා තිබේ.

විශේෂයෙන් ම හෘදරෝග සහ සන්ධි රෝග සඳහා භාවිත කරන වට්ටෝරුවලට බෙලි ශාකයේ පොත්ත යොදාගනී. එමෙන්ම බෙලි මල් ඉතා හොඳ ඖෂධයක් ලෙස හැඳින්විය හැකිය. වියළි බෙලි මල් තම්බා ඖෂධීය පානයක් ලෙස භාවිත කරන අතර ශරීරයේ අප්‍රාණිකබව, වෙහෙසකර බව ආදිය නැති කරයි. තව ද ආහාර ජීර්ණයේ ගැටලු, බඩ පුරවා දැමීම, ආහාර රුචිය අඩුවීම වැනි ගැටලුවලට මෙම බෙලිමල් පානය සාර්ථක විසඳුමකි.

අමු හෝ ඉදුණු බෙලි ගෙඩිවල මද ගෙන ඉතාම හොඳින් වියලා කුඩු කරගෙන චූර්ණයක් සකසාගැනීමෙන් කුඩා දරුවන්ගේ පණු අමාරුව වැනි තත්ත්වයන්ට ඖෂධයක් ලෙස භාවිත කළ හැකිය. එනම් එයින් තේ හැන්දක පමණ ප්‍රාණයක් දිනකට තුන්වරක් දින තුනක් පමණ ලබාදීමෙන් සහනයක් ලබාගත හැකිය. මෙය ඒ සඳහා ඉතාමත් සාර්ථක ඖෂධයක් වන අතර මෙය ලබාදීමෙන් දරුවන්ට විශේෂයෙන් පණු බෙහෙත් ලබාදීමට අවශ්‍ය නැත. එමෙන්ම බෙලි මුල්වලින් තෙල් සකසාගත හැකි අතර එම තෙල සෙම්ප්‍රතිෂ්‍යාව වැනි තත්ත්වවල දී සහ නාසය බරවීම වැනි අවස්ථාවල දී පපුවේ ආලේප කිරීමෙන් සහනයක් සැලසේ.

මේ ආකාරයට රෝගාබාධ රැසකට ඖෂධ ලබාදෙන බෙලි ශාකයෙන් සකස් කරගන්නා ලද විවිධාකාර ඖෂධ වෙළෙඳපොළේ තිබේ. එනම් කසාය වර්ග සහ පිල්වාදී කුටිකා නමින් හඳුන්වන දෙබරු, බඹරු වැනි දතුන් දෂ්ට කිරීමෙන් ඇතිවන විස සමනය කිරීමටත්, උණ වැනි රෝග තත්ත්වයන්ට ඖෂධයක් ලෙසත් යොදාගන්නා ගුලියක් උදාහරණ ලෙස දැක්විය හැකිය. තව ද අතීසාර වැනි තත්ත්වයන්ට ඔසුවක් ලෙස භාවිත කරන “කුඩදාවලේහ” වැනි ඖෂධ ද බෙලි යොදාගෙන සකසාගනී. එමෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන සුවිශේෂී ඖෂධයක් ද වන බෙලි, විවිධ රෝග රාශියකට ඖෂධ සපයන පලතුරු ශාකවලින් මුල් තැනක් ගන්නා ශාකයකි.

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක