Health Guide

රෝග රැසක් සුව කරන රසකිඳ

ආයුර්වේදයේ දී භාවිත කරන ඉතාමත් වැදගත් ඖෂධයක් ලෙස “රසකිඳ” හැඳින්විය හැකිය. මෙය ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාරය වැනි ඝර්ම කලාපීය රටවල වැලක ආකාරයෙන් වැවෙන ශාකයකි. ඉතාමත් තද කොළ පැහැයෙන් යුක්ත මෙය විශාල පරාසයක් පුරා විහිදී වැවෙයි.

රසකිඳ ශාකයේ පත්‍ර විශේෂ හැඩයක් ගන්නා අතර ඒවා හෘදයාකාර පත්‍ර වේ. එමෙන්ම මෙහි පුරුෂ මල් සහ ස්ත්‍රී මල් වෙන වෙනම හටගනී. තව ද මෙම ශාකයේ බහුල වශයෙන් ඖෂධ සඳහා භාවිත කරනුයේ කඳ කොටස වන අතර, මෙම වැලේ අතරින් පතර සිහින් කෙඳි ලෙස මුල් පහළට එල්ලෙනු දැකිය හැකිය. මෙම මුල් සහ පත්‍ර ද ඖෂධ වශයෙන් භාවිත කරයි.

මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Tinospora Cordifolia වන අතර මෙය Menispermaceae කුලයට අයත් වේ. එමෙන්ම ආයුර්වේදයේ දී රසකිඳවලට විවිධ නම් දක්වා තිබේ. විශේෂයෙන් ම මෙය “අමෘතා” ලෙස හඳුන්වයි. ආයුර්වේදයේ දී “අමෘතා” යන නමින් හඳුන්වන ඖෂධ වර්ග තුනක් දක්වා ඇති අතර “රසකිඳ, අරළු සහ සුදුලූනු” එම සුවිශේෂී ඖෂධ වේ. තව ද “අමෘතවල්ලි” යන නමින් ද රසකිඳ හඳුන්වයි. එහි අර්ථය “අමෘත රස දෙන වැල” යන්නයි. මීට අමතරව “රෝගවලට බාධකයක්” යන අර්ථයෙන් මෙම ඖෂධය “ගුඩූචි” යන නාමයෙන් ද හඳුන්වයි. එමෙන්ම මෙය “චක්‍රලක්ෂණිකා” නමින් ද හඳුන්වන අතර ඒ මෙහි හරස්කඩ කරත්ත රෝදයක හැඩය ගන්නා නිසා ය.

ආයුර්වේදයේ දී මෙය විශේෂ ගුණ කිහිපයක් සහිත ඖෂධයක් ලෙස දක්වයි. එනම් රසකිඳ වයස්ථාපන ද්‍රව්‍යයයක් ලෙස ද හඳුනාගත හැකිය. එහිදී මෙම ඖෂධය හම රැලි වැටීම වැනි වයස්ගත වනවිට ශරීරයේ ඇතිවන ලක්ෂණ ඇතිවීම පමා කරයි. එමෙන්ම ආයුර්වේදයේ දී ඉතාමත් වැදගත් මූලික ග්‍රන්ථයක් වන “චරකසම්හිතාවෙහි” මෙය මනසේ ශක්තිමත්භාවය වැඩි කළ හැකි මනස පෝෂණය කරන ද්‍රව්‍යයක් ලෙස ද දක්වා තිබේ. තව ද මෙය ශරීරයේ විස හරණය කරන ද්‍රව්‍යයක් ලෙස ද හඳුනාගත හැකිය. විශේෂයෙන් ම පැරැන්නන් නෙල්ලි සහ රසකිඳ තම්බා නිතර පානය කර ඇති බව සඳහන් වන අතර එයට හේතුව ලෙස හඳුනාගැනෙන්නේ එම ඖෂධ වර්ග දෙකෙහි ම ඇති සුවිශේෂී රුධිරය පිරිසිදු කිරීමේ සහ විස නැසීමේ ගුණයන් නිසාවෙන් බවයි. එනම් රුධිරයේ පවතින විස නිසා සමේ ඇතිවන තුවාල, කැසීම් වැනි තත්ත්වවල දී මෙය ඉතාමත් ගුණදායක ඖෂධයකි.

එමෙන්ම “රසකිඳ” අක්මාවේ රෝග සඳහා ඉතාමත් හිතකර ඔසුවක් ලෙස සඳහන් වේ. විශේෂයෙන් ම අක්මාවේ තෙල් තැන්පත්වීම වැනි තත්ත්වවල දී මෙය ඖෂධයක් ලෙස භාවිත කරයි. තව ද මෙය හෘදය වස්තුව ආශ්‍රිතව ඇතිවන විවිධාකාර රෝග සඳහා ද නිතර භාවිත කරන ඖෂධයකි. මීට අමතරව ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ඖෂධයක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. එසේම උණ රෝගය වැලඳුණ විට එම උණ සමනය කිරීමේ ගුණයක් සහිත ඖෂධයක් ලෙස ද “රසකිඳ” දැක්විය හැකිය. එමෙන්ම “රසකිඳ” යොදාගෙන සාදන බොහෝ ඖෂධ වර්ග තිබේ. ඒ අතරින් අමෘතාරිෂ්ට යනු උණ රෝගය සඳහා භාවිත කරන අරිෂ්ටයකි.

තව ද “රසකිඳ” වැලේ කඳ තුළ පිෂ්ටය තැන්පත් වේ. එම පිෂ්ටය “රසකිඳ” වැලේ කඳ කුඩා කැබලිවලට කපා, තලා, ජලයේ දියකර කිතුල් පිටි ලබාගන්නා ආකාරයට ඝනවීමට හැර වියළා එය “රසකිඳ පිටි” ආකාරයෙන් ලබාගත හැකිය. මෙය ”ගුඩූචි සත්ව” ලෙස හඳුන්වයි. මෙය ද උණ වැනි අවස්ථාවල රෝගීන්ට ලබාදිය හැකි ඖෂධයකි. එමෙන්ම අන්ත්‍ර ආශ්‍රිත රෝග තත්ත්වවල දී ආහාර ජීර්ණයේ අපහසුතා ඇතිවන බැවින් එවිට ද මෙය සාර්ථක ඖෂධයක් ලෙස භාවිත කළ හැකිය.

මීට අමතරව ඩෙංගු උණ වැනි වෛරස් රෝග වැලඳුණ විට ද රසකිඳ ඔසුවක් ලෙස භාවිත කිරීම ඉතාමත් ගුණදායක වේ. තව ද උෂ්ණ කාලවල දී ඇතිවිය හැකි මුත්‍ර දැවිලි තත්ත්ව සඳහා සහ මුත්‍ර ආසාදනවලට ද මෙය සුව ගෙනදෙන ඖෂධයකි. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම අඩු කරගැනීමටත් රසකිඳ ඉතාමත් ගුණදායක වේ.

මෙම ඖෂධය කසායක් ආකාරයෙන් හෝ කඳෙන් ලබාගන්නා කුඩු (පිටි) ආකාරයෙන් ද රෝගීන්ට ලබාදේ. එහිදී කුඩු තේ හැඳි දෙකක් දවසට දෙවරක් භාවිත කළ හැකිය. එනම් එම රසකිඳ කුඩු ජලය කොප්ප දෙකකට එකතු කර එය කෝප්ප භාගයකට හින්දීම කළ යුතුය. එමෙන්ම මෙහි කඳ වියළා කැබලි කර ජලය කෝප්ප හතරක් එකතු කර එය කෝප්ප භාගයකට හින්දා පානය කිරීම ද සුදුසු ය.
මෙය අක්මා රෝග සඳහාත්, මලබද්ධය වැනි තත්ත්වයන් සඳහාත් ඉතාමත් ගුණදායක ඖෂධයකි. තව ද අර්සස් වැනි රෝග සඳහා ද මෙය භාවිත කළ හැකිය. මීට අමතරව මානසික ආතතිය සහ සිතේ ඇතිවන නොසන්සුන්තාව වැනි තත්ත්ව පලවාහැරීමටත් මෙය උපකාරී වේ. එමෙන්ම අම්ලපිත්ත (ගැස්ට්‍රයිටීස්) රෝගයට ද රසකිඳ ඉතාමත් ප්‍රතිඵලදායක ඖෂධයකි. තව ද සන්ධි රෝග සඳහා බාහිර ආලේපයක් ලෙස ද මෙහි අමු කොළ ආදිය භාවිත කරයි.

දේශගුණික වෙනස්වීම් නිසා ඇතැම් පුද්ගලයන්ට ඇතිවන කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, ඇදුම ආදී සෙම් කෝපවීම් සඳහා ද රසකිඳ වියළා සකස් කරන ලද කුඩු ඉඟුරු, ගම්මිරිස් මිශ්‍රණයකට එකතු කර එයට ඇඟිලි තුඩක් තරම් ප්‍රමාණයකට කහ ස්වල්පයක් දමා එම මිශ්‍රණය මී පැණියෙන් ලබාදිය හැකිය. එමෙන්ම ආයුර්වේදයේ සුවිශේෂී ග්‍රන්ථයක් වන ශුසෘතසම්හිතාවේ සඳහන් වන පරිදි පුරාණ කාලයේ සිදුකළ ශල්‍යකර්ම සඳහා තුවාල මැසීමට රසකිඳ කඳෙන් එල්ලෙන මුල් යොදාගෙන තිබේ.

මේ ආකාරයට රෝගාබාධ රැසකට ඉතාමත් හොඳින් ගුණ ගෙනදෙන “රසකිඳ” ආයුර්වේදයේ දී වටිනාකමින් ඉහළ ඖෂධීය ශාකයක් ලෙසින් හඳුන්වයි.

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක