Food

ඉහළ ඖෂධීය වටිනාකමක් සහිත ඉඟුරු

ඖෂධයක් සහ කු`ඵබඩුවක් ලෙස ඉතාමත් වටිනා ශාකයක් වන ඉඟුරු කුළුබඩුවක් ලෙස කොපමණ කාලයක් භාවිත කර ඇත්ද යන්න නිශ්චිතව ම කිව නොහැකි වුවත් දළ වශයෙන් වසර 4000ක වත් ඉතිහාසයකට උරුමකම් කියයි. මෙහි ඖෂධීය වටිනාකම පිළිබඳව අධ්‍යයනය කරන විට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, යුනානි වෛද්‍ය ක්‍රමය සහ දේශීය වෛද්‍ය ක්‍රමය යන වෛද්‍ය ක්‍රමයන් 3හි ම ඉඟුරු ඖෂධයක් ලෙස භාවිත කරන අයුරු දක්වා ඇත. එමෙන්ම ආයුර්වේදයේ ප්‍රධාන ග්‍රන්ථ වන සම්හිතා ග්‍රන්ථ සියල්ලෙහි ම පාහේ ඉඟුරු පිළිබඳව සඳහන් වේ.

තව ද ආයුර්වේදයේ මෙම ඖෂධය “විශ්ව බේසජ” යන නමින් හඳුන්වයි. එහි අදහස මෙය ලෝකයේ ම භාවිත කරන ඖෂධයක් බවයි. ශ්‍රී ලාංකිකයන්ට මෙය ඉතාමත් හුරුපුරුදු ශාකයක් වන අතර ආසියාතික කලාපයේ රටවල ගෙවත්තේ වවන පැළෑටියක් ලෙස ද හඳුනාගත හැකිය. එසේම මෙය අඩි 2ක් අඩි 5ක් පමණ උසට වැඩෙන සාමාන්‍යයෙන් සිහින් පත්‍ර සහිත වාර්ෂික ශාකයකි. මෙහි ඖෂධ සඳහා භාවිත කරන්නේ රයිසෝමයයි. එනම් වියළි සහ අමු යන දෙආකාරයෙන් ම ඉඟුරු ශාකයේ රයිසෝමය ඖෂධ සඳහා භාවිත කරයි. මෙහි අමු රයිසෝමය “ආද්‍රක” යන නමින් හඳුන්වන අතර වියලි රයිසෝමය “ශුන්ටි, ශුංගවේර, මහෞෂධ, විශ්ව” වැනි නම්වලින් හඳුන්වයි. මෙහිදී අමු ඉඟුරු සඳහා “ආද්‍රක” යන නාමය භාවිත කරන්නේ ඉඟුරු මඟින් ඛේටය ශ්‍රාවයවීම වැඩි කිරීම හේතුවෙන් වේ. එමෙන්ම වියළි ඉඟුරු “ශූන්ටි” යන නමින් හැඳින්වීමට හේතුව කඵ සහ වාත (සෙම් රෝග සහ වාත රෝග) රෝග සඳහා ඉතාමත් ම ගුණදායක ඖෂධයක් වීමයි.

ඉඟුරු සාමාන්‍යයෙන් විවිධාකාර රෝග බොහෝමයක් සඳහා ඖෂධයක් ලෙස භාවිත කරයි. එහිදී බොහෝ අත්බෙහෙත්වල ඉඟුරු අඩංගු වන බව හඳුනාගත හැකිය. ඒවා අතර බාහිර ප්‍රතිකාර මෙන්ම අභ්‍යන්තරික ප්‍රතිකාර ද වේ. විශේෂයෙන් ම අපේ වැඩිහිටියන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, බඬේ අජීර්ණ වැනි තත්ත්වවල දී ඉඟුරු තම්බා පානය කිරීම හෝ තේ සමඟ පානය කිරීම නිර්දේශ කරන්නේ එම පාරම්පරික ඥානයෙනි. එමෙන්ම මෙය ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ රෝගවලට හා සෙම් රෝගවලට ද ඉතාමත් ගුණදායක ඖෂධයක් ලෙස හැඳින්විය හැකිය. එනම් කැස්ස, බඩ පිපුම, කෑම අරුචිය, වමනය වැනි රෝග තත්ත්වවලට මෙය භාවිත කරයි. තව ද පෙනහලු ආශ්‍රිත රෝග සඳහා ද ඉඟුරු ඖෂධයක් වශයෙන් යොදාගනී. වර්තමානයේ ද උණ වැනි රෝග තත්ත්වයන් ඇති වූ විට අප ඉඟුරු සහ කොත්තමල්ලි පානය කිරීමට පුරුදුව සිටිති. එයට හේතුව ඉඟුරු සහ කොත්තමල්ලි යන දෙවර්ගය ම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතාමත් ඉහළ ය. තව ද විශේෂයෙන් ම විවිධාකාර හේතු නිසා වමනය ඇති වන අතර පිළිකා සඳහා කරන ප්‍රතිකර්ම, ගර්භණීභාවය, විශාල ශල්‍යකර්ම ආදිය නිසා ඇති වන වමනය පාලනය කිරීමට ඉඟුරු යොදාගත හැකිය. එනම් ඉඟුරු තැම්බූ ජලය පානය කිරීමෙන් එම ගුණය ලැබේ.

එමෙන්ම ඉඟුරුවල ඉතා හොඳ වේදනානාශක ගුණයක් තිබේ. එය විශේෂයෙන් ම කාන්තාවන්ගේ ආර්ථවයේ දී ඇති වන වේදනාව සමනය කර ගැනීමට ද භාවිත කළ හැකිය. එනම් හොඳින් ඉඟුරු රස දැනෙන තරමට ඉඟුරු දමා තේ පානය කිරීම සහනදායී වේ. තව ද ශරීරයට අහිතකර කොලොස්ටරෝල් දහනය කිරීමේ හැකියාව ද මෙම ඖෂධය සතු ය. එමෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස අවස්ථාවක දී ඉඟුරු, කොත්තමල්ලි තම්බා පානය කිරීමට අමතරව ඉඟුරු සහ කුරුඳු සමාන ප්‍රමාණයක් හා පැඟිරි කොළයක් ගෙන ජලය කෝප්ප 2ක් පමණ එකතු කර තම්බා කෝප්ප 1කට පමණ හින්දා පානය කිරීම සුදුසු වේ.

මීට අමතරව ආහාර වේලකට පෙර (විශේෂයෙන් ම දිවා ආහාරය සහ රාත්‍රී ආහාරයට පෙර) අමු ඉඟුරු කැබැල්ලක් සපා ගිලීම ආහාර ජීර්ණය පහසු කිරීමටත්, ආහාර රුචිය වැඩිකිරීමටත් හේතුවේ. තව ද අම්ල පිත්ත වැනි රෝග තත්ත්ව නිසා ආහාර මාර්ගයේ සහ ආමාශයේ යම් යම් සංකූලතා සහ රෝග තත්ත්ව ඇතිවිය හැකි අතර ඒවාට ද ඉඟුරු ඉතාමත් ගුණදායක ඔසුවකි. පුරාණ කාලයේ සිට ආහාර සඳහා ඉඟුරු එකතු කර ඇත්තේ මෙම ඖෂධීය ගුණයන්ගේ වාසිය ලබාගැනීමට බව ද හඳුනාගත හැකිය.

එමෙන්ම ඉඟුරු අලේපයක් ලෙස සකස්කර නළලේ ආලේප කිරීමෙන් හිසරදය සමනය කර ගත හැකි වේ. තව ද මළ පිටවීමේ යම් යම් විකෘතිතා සඳහා ඉඟුරු කුඩු උණුවතුරට දමා මඳ වේලාවක් පැසීමට තබා පානය කිරීම ප්‍රතිඵලදායක ය. මීට අමතරව ඉඟුරු අඩංගු ජලයෙන් නිතර කට සේදීමෙන් මුඛය ආශ්‍රිත සංකූලතා ද මඟහරවාගත හැකිය.

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක