Food

නිවසක තිබිය යුතු ම ඖෂධයක් වන කොත්තමල්ලි

ඖෂධීය වශයෙන් මෙන්ම කුළුබඩුවක් වශයෙන් ද ඉතාම වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා කොත්තමල්ලි අසියාතික රටවල මුළුතැන්ගෙයි නිරන්තරයෙන් දැකිය හැකිය. බොහෝවිට ආසියාතික රටවල කොත්තමල්ලි ඇට කුළුබඩුවක් ලෙස භාවිත කරන අතර බටහිර රටවල් සහ යුරෝපා රටවල් කොත්තමල්ලි පත්‍ර ආහාර පිසීම සඳහා යොදාගනියි. ඖෂධයක් ලෙස ද ඉහළ වටිනාකමක් සහිත මෙය මිනිසාට බොහෝ ප්‍රයෝජන ගෙනදෙන ශාකයක් වශයෙන් ද හඳුන්වා දිය හැකිය.

මෙම ශාකයේ ස්වභාවය පිළිබඳව සලකා බලන විට මෙය අඩි 1-3ක් පමණ උස පැළෑටියක් වන අතර මෙම ශාකයට ආවේණික ගන්ධයක් ද තිබේ. ඉතා හොඳින් අතු බෙදෙන ශාකයක් මෙන්ම සංයුක්ත පත්‍රයක් සහිත පැළෑටියක් ලෙස ද මෙය හඳුනාගත හැකිය. විශේෂයෙන් ම මෙම සංයුක්ත පත්‍රය රවුම් සහ තරමක් බෙදුණු ස්වාභයක් ගනී. එමෙන්ම කොත්තමල්ලි පත්‍රයේ තරමක් කුඩා දැති ස්වරූපයක් ද දක්නට ලැබේ. තව ද පුෂ්ප හටගන්නේ පුෂ්ප මංජරියක් හෙවත් සනුක්ත පුෂ්පයක් ලෙසයි. මෙය පුෂ්ප මංජරිය පිහිටා ඇත්තේ කුඩයක ආකාරයේ හැඩයක් ගනිමිනි. එහි රතු පැහැති කුඩා රවුම් හැඩැති බීජ ඇත. ගම්මිරිස් ඇටයකට වඩා තරමක් කුඩා ප්‍රමාණයට බීජ හටගනී. එසේම මේවා පැසුණු පසු දුඹුරු පැහැයකින් දක්නට ලැබේ. සම්පූර්ණ පැළෑටිය ම ගත් කල ඉතා තද කොළ පැහැයෙන් යුක්ත ශාකයක් ලෙස හැඳින්විය හැකිය.

කොත්තමල්ලි හඳුන්වන විශේෂිත නම් කිහිපයක් පවතින අතර ආයුර්වේදයේ දී හඳුන්වන්නේ ධාන්‍යක යන නමිනි. එයට හේතුව ධාන්‍ය මෙන් ඇට පිහිටන නිසාවෙනි. එමෙන්ම කුස්තුම්බුරු යන නමින් ද මෙය හඳුන්වයි. එසේ හඳුන්වන්නේ ලෙඩ රෝගවලින් මිදීමට උදව්වන අපූරු ද්‍රව්‍යයක් වන බැවිනි. මීට අමතරව ශ්‍රී ලාංකික දේශීය චිකිත්සාවේ දී කොත්තමල්ලි කොතඹුරු නමින් හඳුන්වයි.

මෙය ඖෂධයක් ලෙස භාවිත කිරීමේ දී උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්‍ෂණ ඇති අවස්ථාවක කොත්තමල්ලි තම්බා පානය කිරීම ශ්‍රී ලාංකික අපට ඉතාම හුරුපුරුදු ය. එනම් විශේෂයෙන් ම කොත්තමල්ලිවල උණ අඩු කිරීමේ ගුණයක් සහ වෛරස්, බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවින් නාශනය කිරීමේ හැකියාවක් ඇත. එමෙන්ම මෙය ඉතාමත් හොඳ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් හෙබි ඖෂධයකි. එමනිසා විවිධාකාර රෝග තත්ත්වවලට ඉතාමත් පහසුවෙන් ගුණ ගෙන දීමට ක්‍රියාකරවීමේ හැකියාවක් කොත්තමල්ලිවලට ඇත. එසේම මෙම ඖෂධය සතුව ඇති තවත් සුවිශේෂි හැකියාවන් කිහිපයකි. එනම් කොත්තමල්ලිවලට රුධිරයේ වැඩි සීනි මට්ටම අඩු කළ හැකි අතර රුධිරයේ ඇති ඉන්සියුලින් එන්සයිමවල ක්‍රියාකාරීත්වය අඩුවෙන් පවතින අවස්ථාවල එම ක්‍රියාකාරීත්වය වැඩි කිරීම වැනි ඖෂධීයමය සුවිශේෂි හැකියාවන් බොහෝමයක් කොත්තමල්ලි සතුව ඇත. තව ද මෙය ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ඉතාම වැදගත් ඖෂධයක් ලෙස හැඳින්විය හැකිය.

එසේම කොත්තමල්ලිවල ක්‍රියාකාරීත්ව විෂයේ විශේෂ ස්ථානයක් ලෙස ආහාර ජීර්ණ පද්ධතිය හඳුනාගත හැකිය. එනම් කොත්තමල්ලි නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණ එන්සයිමවල ශ්‍රාවය හොඳින් සිදුවන අතර එමඟින් ආහාර ජීර්ණය පහසු කරයි. මේ නිසා ආහාර රුචිය ද වැඩි කරයි. විශේෂයෙන් ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන බඩ පිපුම, අතීසාර තත්ත්ව, ඔක්කාරය වමනය වැනි රෝගාබාධ නැති කිරීමට ද මෙය ඉතාමත් ප්‍රතිඵලදායක ඔසුවකි. එමෙන්ම ඇතැම් අවස්ථාවල දී විවිධාකාර බැක්ටීරියා වර්ගවලින් යුක්ත ආහාර ගැනීම නිසා ආහාර විසවීම් වැනි තත්ත්වයක දී එම බැක්ටීරියා නිසා ශරීරයේ ඇතිවන යම් යම් ආසාදන තත්ත්ව නැති කිරීමට ද කොත්තමල්ලිවලට හැකියාව තිබේ. බොහෝ විට අප කුළුබඩුවක් වශයෙන් ද කොත්තමල්ලි භාවිත කරන බැවින් පහසුවෙන්ම මෙම ආහාරවල ඇති විවිධ විෂබීජ නැති කිරීමට හැකිය.

සාමාන්‍යයෙන් කොත්තමල්ලි යනු ශරීරය සිසිල් කරන ඖෂධයක් වශයෙන් සලකයි. එනම් උණුසුම අධික දිනවල තදබල සූර්ය රශ්මියට ලක්වූ විට කොත්තමල්ලි ස්වල්පයක් ගෙන තලා ඇල් ජලයට දමා පානය කිරීම හෝ කොත්තමල්ලි ස්වල්පයක් කුඩු කර තැඹිලි ගෙඩියක ඇස්ස කපා ඒ තුළට දමා රැයක් වසා තැබීමෙන් පසු පානය කිරීම ශරීරයේ ඇති දැවිල්ල නැති කිරීමට උපකාරී වේ. තව ද මෙය ශරීරයේ ඇති හෝමෝනවල යම් යම් සංකූලතාවන් සහ අසමතුලිතතාවන් සුව කරයි. මීට අමතරව කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතියේ හෝමෝනවල අසමතුලිත බව නිසා මාස් ශුද්ධියේ දී රුධිරය පිටවීම වැඩි විය හැකි අතර එම තත්ත්වය නැති කිරීමට කොත්තමල්ලි ඉතාමත් හොඳ ගුණදායක ඖෂධයකි. මේ සඳහා කොත්තමල්ලි තම්බා පානය කිරීම හෝ කුඩු කර ගත් කොත්තමල්ලි ඇල් වතුරට දමා පැය 24ක් පමණ තබා පෙරා පානය කිරීම සාර්ථක ප්‍රතිකර්මයකි.

කොත්තමල්ලි විවිධ පෝෂණ ගුණයන්ගෙන් යුක්ත ඖෂධයක් සහ කුළුබඩුවක් ද වේ. මෙහි විටමින් ණ, විටමින් ක්‍ වැනි පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර මෙය හිසකෙස් සහ සමට ඉතාමත් ගුණදායක ඖෂධයකි. එමෙන්ම කොත්තමල්ලි අඩංගු ද්‍රව්‍ය හිසේ සහ ශරීරයේ ගැල්වීම නිසා සමේ ඇති විය හැකි විවිධ ආසාත්මිකතා දුරු කරයි. තව ද කොත්තමල්ලිවලට ම ආවේණික ගන්ධයක් පවතින අතර එය ඇතිවී තිබෙන්නේ මෙහි අඩංගු වාෂ්පශීලි සෛල ද්‍රව්‍ය නිසාවෙනි. ආහාර ජීර්ණ පද්ධතිය තුළ දී ද ආහාර ජීර්ණය, ආහාර රුචිය වැඩි කිරීම සිදු කරනු ලබන්නේ ද මෙම වාෂ්පශීලි තෛල වර්ග හේතුවෙනි. එසේම උෂ්ණ කාලවල දී මුඛයේ ඇතිවන තුවාල සමනය කර ගැනීමට ද කොත්තමල්ලි තැම්බූ වතුරෙන් කට සේදීම ඉක්මන් සුවය අත් කරයි. මීට අමතරව ශරීරයට උණ ගතියක් ඇතිවන විට ඉඟුරු සහ කොත්තමල්ලි තම්බා පානය කිරීමෙන් එම තත්ත්වය පහව යයි. එමෙන්ම අතීසාරය වැනි තත්ත්වයක දී ඇතිවන ශරීරයේ වියලීම, පිපාසය වැනි ස්වභාවයන් මගහරවා ගැනීමට කොත්තමල්ලි සහ ඉරිවේරිය සම ප්‍රමාණව තම්බා පෙරා පානය කිරීම ගුණදායක වේ.
ඈත අතීතයේ කොත්තමල්ලි කොළ සහ ඇට භාවිත කර මස් කල්තබා ගැනීම සිදුකර තිබේ. තව ද විවිධ සලාද සෑදීමේ දී කොත්තමල්ලි කොළ භාවිතයට ගන්නා අතර එහි විශේෂ රසයක් හා සුගන්ධයක් ඇත. විශේෂයෙන් ම ඉන්දියානු වැසියන් තමන් එදිනෙදා ජීවිතයේ දී සකස් කරන සෑම ව්‍යංජනයක් ම, සලාදයක් ම සඳහා කුළුබඩුවක් ලෙස කොත්තමල්ලි සහ ආහාර රසකාරකයක් ලෙස කොත්තමල්ලි කොළ භාවිත කරයි.

රුධිරයේ විස ඉවත් කිරීමේ සුවිශේෂි හැකියාවෙන් ද පූර්ණ කොත්තමල්ලි ඉතා හොඳින් මුත්‍රා පිටකිරීමට ද උපකාරී වේ. එනම් මුත්‍රවාහිනී පද්ධතියේ යම් කිසි ආසාදනයවීමක්, මුත්‍රා දැවිල්ලක්, මුත්‍රා අඩුවෙන් පිටවීමක් වැනි තත්ත්වයක දී එය සුව කිරීමේ හැකියාවක් කොත්තමල්ලි සතුව පවතී. එමනිසා අපට එදිනෙදා ජීවිතයේ දී භාවිත කළ හැකි කදිම අත් බෙහෙතක් මෙන්ම ආයුර්වේදයේ සහ දේශීය චිකිත්සාවේ වැදගත් ප්‍රධාන ඖෂධයක් වශයෙන් කොත්තමල්ලි හැඳින්විය හැකිය.

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක