Health Guide

පුරුෂයන්ගේ ශාකය වන අශ්වගන්ධ

පුරුෂයන්ගේ ශාකය ලෙස හඳුන්වන අශ්වගන්ධ යනු ආයුර්වේදය යුනානි වෛද්‍ය ක්‍රමය වැනි සියලුම වෛද්‍ය ක්‍රමවල බොහෝ සෙයින් යොදාගන්නා ඉහළ ඖෂධීය වටිනාකම්වලින් යුක්ත ශාකයකි. එමෙන්ම වසර 3000කට පමණ පෙර ඉතිහාසයේ සිට බොහෝ රෝගාබාධ සඳහා ඖෂධයක් ලෙස මෙම ශාකය යොදාගෙන ඇති බව හඳුනාගෙන තිබේ.

අශ්වගන්ධ පැළෑටිය ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව සහ උතුරු අප්‍රිකාව වැනි රටවල හොඳින් වැවෙන ශාකයකි. මෙම ශාකයේ මුල් පොඩි කළ විට දැනෙන ගන්ධය අශ්වයෙකුගේ ගන්ධයට සමානකම් දක්වන බැවින් මෙය “අශ්වගන්ධ” යන නමින් හඳුන්වන මෙම පැළෑටිය පුංචි පඳුරක් ලෙස දැකිය හැකිය. මිරිස් ශාකයේ පත්‍රවලට සමාන හැඩයෙන් යුත් පත්‍ර සහිත ශාකයක් වන මෙහි තිබ්බට ගෙඩියක් පමණ කුඩා ඵලයක් හටගනී. එය මුලින් කොළ පැහැයෙන් යුක්ත වන අතර ක්‍රමයෙන් රතු, තැඹිලි පැහැයට හැරේ. මෙම ඵලය තුළ කුඩා බීජ ද දැකිය හැකිය.

ආයුර්වේදයේ දී රසායන ගුණයෙන් යුක්ත ඖෂධයක් ලෙස අශ්වගන්ධ හඳුන්වයි. විශේෂයෙන් ම මෙහි මුල් ඖෂධ සඳහා යොදාගන්නා අතර කලාතුරකින් ඇතැම් ඖෂධ සඳහා ඵලය භාවිත කරයි.

අශ්වගන්ධ ශාකයේ ඇති රසායන ගුණය පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍ය සහ ශාරීරික සෞඛ්‍යය යන දෙකෙහිම සුවය සඳහා උපකාරී වන අතර වයසට යාමේ දී ශරීරයේ පෙන්නුම් කරන ලක්ෂණ පවා යටපත් කිරීමට දායක වේ. එමෙන්ම දීර්ඝායුෂ ලැබීමට ද මෙම ඖෂධ්‍ය හේතු වන බව හඳුනාගෙන ඇත. මෙම ඖෂධය ස්නායු පද්ධතිය ආශ්‍රිතව වැඩි වශ්යෙන් ක්‍රියාත්මක වන අතර මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා ඉතාමත් වැදගත් වේ. එනම් මොළයේ ක්‍රියා ශක්තිය ඉතා හොඳින් වැඩි කරයි. එමෙන්ම මෙමගින් වයසට යාමත් සමග ස්නායුවල දුර්වලතාවන් නිසා ඇති වන අමතකවීම් ආදිය සිදුවන විට මොළය යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා සහ මොළයේ ශක්තිවන්තතාවය සඳහා මෙය ඉතා යෝග්‍ය ඖෂධයකි.

ඊට අමතරව ස්නායු දුර්වලතා නිසා ඇතිවන වෙව්ලීම වැනි තත්ත්වයන් සහ පක්‍ෂාගාතය හෙවත් අංශභාග රෝගය වැනි රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමේ දී ස්නායුවලට ශක්තිය සහ පෝෂණය ලබාගැනීම සඳහා අශ්වගන්ධ ඖෂධයක් ලෙස භාවිත කරයි. එමෙන්ම විවිධ පුද්ගලයන්ට ඇතිවන විවිධාකාර වූ මානසික ගැටලු එනම් මානසික අවපීඩනතාව මානසික නොසන්සුතාවයන්, අමතකවීම් වැනි තත්ත්වයන් දුරු කර ගැනීමට ද මෙය ඉතා හොඳ ඖෂධයකි.

අශ්වගන්ධ ශාකයේ මුල්වල තිබෙන චූර්ණය තේ හැන්දක පමණ ප්‍රමාණයක් ගෙන කිරි, පැණි හෝ එළඟිතෙල් වැන් දෙයක් සමග මෙම ඖෂධය රෝගින්ට ලබාදී සිදු කරයි. එමෙන්ම අශ්වගන්ධ තෛලය පක්‍ෂාගාතය සහ ස්නායු ආබාධ සඳහා ප්‍රතිකාර වශයෙන් ආලේප කරයි. තව ද පුරුෂයන්ගේ ශාකය ලෙස හඳුන්වන මෙය පුරුෂ වන්ධ්‍යාභාවය සඳහා හේතු වන ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීම, ශුක්‍රාණුවල චලනය අඩුවීම වැනි ශුක්‍රාණු ගත දෝෂ සඳහා ද ඖෂධ ලෙස මෙම ශාකය බොහෝ දුරට භාවිත කරයි. ඊට අමතරව පුරුෂයන්ගේ විවිධ ලිංගික ගැටලු සඳහා ද ප්‍රතිකාර කිරීමට අශ්වගන්ධ යොදාගනී.

මෙය ඉතා හොඳ ප්‍රදාහ නාශක ද්‍රව්‍යයකි. එනම් ශරීරයේ ඇතිවන විවිධ ඉදිමීම්, තැලීම් වැනි වේදනාකාරී අවස්ථාවන්වල දී බාහිරින් ආලේප කිරීම සඳහා ද යොදාගත හැකිය. එමෙන්ම අශ්වන්ධවල ඇති “නිකාසලීන්” නම් රසායනික් ද්‍රව්‍ය විශේෂයෙන්ම පිළිකා නාශක ගුණයෙන් යුක්ත ය. එම නිසා පිළිකාවන් වැලඳුණු පුද්ගලයන්ට සහ පිළිකාවක් වැලඳීමෙන් ආරක්ෂාවීමට මෙය ඉතාමත් ගුණදායක ඖෂධයකි. එනම් මෙය ප්‍රධාන වශයෙන් පියයුරු පිළිකා, අන්ත්‍ර පිළිකා, ගර්භාෂ පිළිකා, සහ පෙනහලු පිළිකා වැනි පිළිකාවන් සඳහා ඖෂධයක් ලෙස භාවිත කරයි. මීට අමතරව දේශීය ප්‍රතිකාර ක්‍රමයේ දී සර්ප දෂ්ට කිරීස් සහ කෘමීන් දෂ්ට කිරීම්වලට ආලේපයක් ලෙස ද මෙම ඖෂධය යොදාගනියි.

අශ්වගන්ධ ස්නායු පෝෂක ඖෂධයකි. එමෙන්ම අධික රුධි පීඩනය සහ විවිධ හෘදය ආශ්‍රිත ආබාධ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේ දී ද මෙම ඖෂධය භාවිත කරයි. එසේම මෙය දියවැඩියා රෝගීන් සඳහා ද ඉතාමත් හොඳ ඖෂධයකි. එනම් අශ්වගන්ධවලට ශරීරයේ ඉන්සියුලින් ශ්‍රාවයවීම උත්තේජනය කිරීමට සුවිශේෂී හැකියාවක් තිබේ.

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක