Health Guide

පීනස රෝගය ගැන දැනුවත් වෙමු

අද වන වන විට අපේ ජීවන රටාව බෙහෙවින් ම යාන්ත්‍රීකරණය වී ඇත. අප ගන්නා ආහාර වර්ග වගේ ම එදිනෙදා අපේ ජීවන පුරුදු නිසාවෙන් අප රෝගයන් ද කිසිදු පැකිළීමකින් තොරව මිනිස් ශරීර තම ග්‍රහණයට නතු කරගෙන ඇත. වර්තමානයේ බහුතරයක් පිරිස ගොදුරු වන රෝගයක් ලෙස පීනස සැලකිය හැකිය. ඒ නිසාවෙන් අපි පීනස පිළිබඳව ඔබව දැනුවත් කරන්නෙමු.

පීනස රෝගය ඇතිවන හේතූ සාධක

■ උපතේදීම ජාන හා බැඳී හටගන්නා තත්ත්වයන් නිසා
මෙය නිදන්ගත පීනස හෙවත් පරම්රාවෙන් වැලඳෙන රෝග තත්ත්වයකි. සාමාන්‍යයෙන් මව්පියන්ට පීනස ඇත්නම් බොහෝ විට දරුවන්ට පීනස ඇතිවීමේ හැකියාව තිබේ.

■ විවිධ අසාත්මික තත්ත්වයන් නිසා
අසාත්මිකතා නිසා ඇතිවන පීනස රෝගයට පැහැදිලි හේතු තිබේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට එම හේතු වෙනස් විය හැකිය. ඇතැම් ආහාර, මල්වල පරාග, පරිසරයේ ඇති දූවිල්ල, මකුළු දැල් සහිත දූවිල්ල, පැරණි පොත් අතර ඇති දූවිල්ල, සතුන්ගේ ලෝම, පුස් වර්ග, කැරපොත්තන් වැනි සතුන්ගේ මල මුත්‍රා මගින් අසාත්මිකතා ඇතිවී පහසුවෙන් පීනස රෝගය මතුවීමේ හැකියාව තිබේ.

■ ශරීරයේ හෝමෝන වෙනස්කම් නිසා
ගර්භණී සමයේ දී ඇති වන හෝමෝනවල අසමතුලිත තත්ත්වයන් ද මෙයට බලපෑ හැකිය. උපත් පාලන පෙති, තයිරොක්සින් වැනි හෝමෝන අඩංගු පෙති, අධි රුධිර පීඩනයට දෙනු ලබන ඇතැම් ඖෂධ නිසා ද පීනස රෝගය මතුවීමේ අවදානමක් ඇත.

■ කාලගුණික දේශගුණික වෙනස්කම් නිසා ඇතිවන පීනස තත්ත්වයන්

මෙයට හේතුව වන්නේ ඇතැම් පුද්ගලයින්ගේ නාසය පරිසරයේ සිදුවන උෂ්ණත්වයෙහි හෝ ශීතලෙහි වෙනස්වීම්වලට අධි සංවේදී බවක් දැක්වීමයි. එම නිසා නාසය අවහිරවීමක් සිදුවේ. නාසය තුළ පිහිටා ඇති ටර්බිනේට් නම් නෙරීම්වලින් සොටු දියර නිපදවීම සිදුවේ. නාසය අවහිරවීමට හේතු වන්නේ නාසය තුළ පිහිටා තිබෙන මෙම ටර්බිනේට් නෙරීම්වල සිදුවන ඉදිමුමයි. එවැනි තත්ත්වයක් ඇති පුද්ගලයන් පරිසරයට නිරාවරණය වූ විට හුස්මගැනීමේ අපහසුතාවක් ඇතිවන්නේ ඒ නිසා ය.

පීනස හඳුනාගන්නේ කෙසේද?

■ නිතර නිතර අධික ලෙස කිවිසුම් යාම. විශේෂයෙන් ම උදෑසන මෙම තත්ත්වය බහුලව සිදුවේ.
■ නාසයෙන් දියර ගැලීම හා නාසයේ බර ගතිය.
■ නාසයේ අවහිරතා ඇතිවීම.
■ වරින් වර නාසයෙන් රුධිරය ගැලීම.
■ ගඳ සුවඳ නොදැනීයාම.
වැනි රෝග ලක්ෂණ සරල පීනසක දී දක්නට ලැබේ.

පීනස සමනය කරගන්නේ කෙසේද?

විවිධ හේතු නිසා හටගන්නා පීනස පාලනය කිරීමට ඇති හොඳ ම මග නම් හේතුව නැති කිරීමයි. එනම් ඔබ හොඳින් හඳුනාගත් ආහාර වර්ගයක් ඔබේ රෝග ලක්ෂණ වැඩි කරයි නම් එවැනි දෑවලින් වැළකී සිටීම ඉතා වැදගත් ය. එසේ ම ඔබ සිටින පරිසරය දුහුවිලිවලින් තොරව පිරිසිඳුව තබාගැනීම, සතුන් ඇති කරන්නේ නම් ඔවුන් නිවසෙන් පරිබාහිරව රඳවාගැනීම වැනි එදිනෙදා චර්යාවන්ගේ වෙනස්කම් ද වැදගත් වේ.

නමුත් ජානමය බලපෑමකින් ඇති වන ඇතැම් අසාත්මිකතා මගහරවාගැනීමේ දී වෛද්‍ය ප්‍රතිකර්ම අවශ්‍ය වේ.

පීනස රෝගය සම්බන්ධයෙන් බහුලව ඇති ගැටලු

■ රාත්‍රී කාලයේ දී ඇඟ සේදීම හෝ ස්නානය නිසාත් පීනස ඇති වෙනවාද?

මේ පිළිබඳ විවිධ මත ඇත. රාත්‍රී කාලයේ සීතල ජලයෙන් ස්නානය හෝ ඇග සේදීමෙන් පසුව හොඳින් ශරීරය පිස දමන්නේ නැතිව නින්දට යාම පීනස රෝගය මතු කිරීමට සමත් ය.

■ හිස කෙස්වල ජෙල් ගෑම පීනස මතුවීමට බලපානවද?බොහෝවිට තරුණ තරුණියන් පුරුදුවී සිටින්නේ ස්නානය කොට හිසකෙස් සම්පූර්ණයෙන් වියළීමට පෙර හිසකෙස්වලට ජෙල් ආලේප කිරීමට ය. තෙත හිසකෙස් මත ජෙල් තවරා ඔවුන් බොහෝ විට රැකියාව කරන්නේ වායුසමනය කරන ලද කාර්යයාලවල ය. එම නිසා හිසකෙස් බොහෝ වේලාවක් තෙත්ව තිබීම නිසා පීනස ඇතිවීමට මෙන් ම වෙනත් රෝග ගණනාවකට ම හේතුවක් විය හැකිය. ස්නානය කිරීමෙන් අනතරුව හිසකෙස් වියළනයකින් හෝ හිස වියළීමෙන් පසු ජෙල් හෝ හිසකෙස් සකසන ක්‍රීම් වර්ග භාවිත කිරීම සුදුසු ය.

■ වායු සමන යන්ත්‍ර භාවිතය පීනස මතුවීමට හේතුවක්ද?
වායු සමන යන්ත්‍ර භාවිතය නිසාත් පීනස වැඩි වැඩිවිය හැකිය. සීතල වායු ධාරාවක් ආශ්වාස විට සීතලට සංවේදී පුද්ගලයින්ගේ නාසයේ ඇති ටර්බිනේට් විශාලවීමක් සිදුවේ. එම නිසා සොටු දියර ගැලීම හා නාසය අවහිරවීමක් සිදුවේ. සෑම අයකුට ම වායු සමනය යන්ත්‍ර භාවිතය අගුණ වන්නේ ද නැත. එහෙත් සීතලට අසාත්මික පුද්ගලයින්ට වායු සමනය යන්ත්‍ර භාවිතය අගුණ ය.

පීනස හේතුවෙන් ඇතිවන සංකූලතා

දීර්ඝ කාලීන පීනස තත්ත්වයන් පැවතීම නිසාත් නිසි ප්‍රතිකර්ම හා ජීවන පුරුදු මගින් එම තත්ත්වයන් පාලනය නොකිරීම නිසාත් විවිධ සංකූලතා ඇතිවිය හැක. නාසය තුල ඇති වන මස් දළුල නාසයෙන් ලේ ගැලීමල ගඳ සුවඳ නොදැනීයාම, කෝඨරක ප්‍රදාහයන් ඇතිවීම, පිටතින් හඳුනාගත හැකි නාසයේ හැඩය වෙනස්වීම, මුහුණේ සම දුර්වර්ණවීම යන තත්ත්වයන් ඇතිවිය හැකිය.මෙවැනි සංකූලතා ඇතිවී ඇත්දැයි යන්න හඳුනා ගැනීම දීර්ඝකාලීන පීනස ඇති රෝගීන්ට ඉතා වැදගත් ය.

පීනස ලෙස වරදවා වටහාගන්නා අනෙකුත් රෝග

රෝගීන් දැනුවත්විය යුතු තවත් කරුණක් වනුයේ ඉහත කී රෝග ලක්ෂණ දීර්ඝ කාලයක් පවතින විට එය පීනසද නැතහොත් වෙනත් රෝගයක ලක්ෂණයක්දැයි වෛද්‍යවරයකු හමු වී ස්ථිර කරගැනීම වැදගත් බවයි. මන්ද නාසයෙන් ලේ ගැලීම, දුගඳ හැමීම, නාසයෙන් උගුරට ඝණ දියර ගලා ඒම වැනි ලක්ෂණ කෝඨර ප්‍රදාහයේ දී, නාසයේ ගල් ඇතිවීමේ දී, කුඩා දරුවන්ගේ නාසය තුළ විවිධ දේවල් හිරවීමේ දී ඇතිවිය හැකිය. එපමණක් නොව නාසයේ ඇති වන පිළිකා තත්ත්වයන්හි දී ද ඇතිවනුයේ පෙර කී ලක්ෂණයන් බැවින් නාසය නිසි ලෙස කැමරා වැනි උපකරණ මගින් පරීක්ෂා කිරීම වැදගත් ය.

නාසයෙන් දුගඳක් හැමීම

නාසයෙන් දුගඳක් හැමීම පීනස රෝගයේ අතුරු ආබාධයකි. තමන්ගේ නාසයෙන් දුගඳක් හමන බවත් තමන්ට ගඳ සුවඳ නොදැනෙන බවත් මෙවැනි රෝගීන් ඇති වන ප්‍රශ්නයකි. පීනස නිසා නාසයෙන් ගලන දියරය පල්වීම, පීනස නිසා නාසය කබොලු ඇතිවීම වැනි හේතු නිසා නාසයේ ආඝ්‍රහණ ස්නායුව අකර්මණ්වී ගඳ සුවඳ නොදැනී යා හැකිය. එසේ ම නාසයෙන් දුගඳක් හමන්නේ ද එම හේතුව නිසා විය හැකිය.

කුඩා දරුවන්ගේ නාසයෙන් ලේ ගැලීම මෙන් ම නාසයෙන් දුගඳක් හැමීම පිළිබඳව ඉතා ම සැලකිලිමත් විය යුතුය. මන්ද දරුවන්ගේ නාසයෙන් දුගඳක් හමන්නේ නාසය තුළ යමක් සිරවී තිබීම නිසා විය හැකිය. එබැවින් වහා ම වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමු කළ යුතුය.

කෝඨරක ප්‍රදාහය

කෝඨරක ප්‍රදාහය පීනස රෝගයේ අතුරු ඵලයකි. සෑම මිනිසෙකුගේ ම හිස්කබලේ දෙපස කෝඨරක පිහිටා ඇත. පීනස ඇති රෝගීන්ගේ කෝඨර ප්‍රදාහය ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇත. කෝඨරක යනු වායු පිරි කුහරයන් ය. එම කුහර තුළ සෙම ඒකරාශීවී පසුව ඒවා බැක්ටීරියා මගින් ආසාදනයවී පැසවා අනතුරුව එම සෙම නාසයෙන් ගලා එයි. සෙම්ප්‍රතිශ්‍යාව නොවැලඳී පැසවූ සෙම නාසයෙන් ගලා ඒම කෝඨරක ප්‍රදාහයේ ස්වභාවය වේ.

කෝඨරක ප්‍රදාහය මුල් අවස්ථාවේ හඳුනාගත් විට සරල ප්‍රරතිකාර මගින් සුව කරගත හැකිය. එහි දී ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනු ඇත. ඖෂධවලට අමතරව නාසය සහ අවට ප්‍රදේශයට හුමාලය ඇල්ලීම සුදුසු ය. කෝඨරක ප්‍රදාහයට නිසි ප්‍රතිකාර නොලැබණු හොත් එම ආසාදනය ඇසට දක්වා පැතිර යාමේ අවදානමක් ඇත.

පීනස සඳහා ඇති ප්‍රතිකාර

පීනස සම්පූර්ණයෙන් ම සුව කළ නොහැකිය. එහෙත් රෝගය හොඳින් හඳුනාගෙන එය පාලනය කර සුවපහසු සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. යමෙකුට පීනස තත්ත්වය ඇතිවන්නේ කිසියම් අසාත්මිකතාවකින් බව පැහැදිලි වුවවොත් අසාත්මිකතාවට හේතුවන සාධකයෙන් ඉවත්වීම එම පීනස රෝගය පාලනය කිරීමට ඇති හොඳ ම මගයි.

ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර රෝගියාට පීනස ඇතිවීමට හේතුව සෙවීම සඳහා වෛද්‍යවරයා විසින් රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳව කරුණු විමසනු ඇත. එහි දී නිවැරැදි තොරතුරු පැවසීම ඉතා වැදගත් ය. එසේ ම පීනස නිසා ඇතිවන ඇස් කන් නාසය කැසීම යටපත් කිරීමට ඖෂධ ලබාදී නාසයෙන් සොටු දියර ගැලීම නාසය අවහිරවීම වැනි තත්ත්වයන් ද ඉතා ම පහසුවෙන් ඖෂධ මගින් පාලනය කළ හැකිය.

උගුර, කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ

සටහන – දිශාන්ති වෙදගේ