Health Guide

දරුවන්ගේ කනේ ආසාදන පිළිබඳ දැනුවත් වෙමු

සමිතා උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෙද්‍යවරිය හමුවීමට ඇය පැමිණියේ පෙර දින රාත්‍රියේ වසරක් වියැති පුතු කන අල්ලමින් නොනවත්වා හැඬූ නිසාවෙන් ය. විඩාවට පත්ව සිටි මෙත්සර පුතු සමිතාගේ උරතලයේ ම නිදන්නට වූවාය.

“අංක අට ඇතුළට එන්න.”

සමිතා ඉක්මනින් වෛද්‍යවරිය සිටින කාමරයට ඇතළුවී අසුන් ගත්තා ය.

“මොකද්ද අම්මා බබාට තියෙන ප්‍රශ්නෙ?”

“අනේ ඩොක්ටර් ඊයේ රෑ ඉඳල ම කන අල්ලගෙන අඬනවා. මේ දැන් තමයි නින්ද ගියේ.”

වෛද්‍යවරිය “Auroscope” නම් උපකරණය ගත්තාය. එහි පුනීලයක් වැනි කොටස දරුවාගේ කන තුළට මඳක් ඇතුළු කර විදුලි එළියක ආධාරයෙන් මෙත්සරගෙ කන පරික්ෂා කළාය. පරීක්ෂා කිරීමෙන් අනතුරුව කනේ රූපයක් සහිතව වෛද්‍යවරිය හඬ අවදි කළාය.

“මෙන්න මේ රූපයේ පෙන්වන විදිහට හඳුනාගැනීමේ පහසුවට මිනිසාගේ කන කොටස් තුනකට බෙදා දක්වනවා. එක කන් පෙත්ත, දෙක පිටත කන ඒ කියන්නෙ පිටත ශ්‍රවණ නාළයේ සිට කන් බෙරය දක්වා, තුන මැද කන. ඒ කියන්නෙ කන් බෙරයේ සිට කර්ණ සංඛය දක්වා කොටස. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගෙ මැද කනේ හා පිටත කනේ ආසාදන නිතර ඇත වෙනවා. මම පාවිච්චි කළ උපකරණයෙන් කන් බෙරය කහ පැහැවීමක්, රතුවීමක්, ඉදිමීමක් හා කන් බෙරය සිදුරුවීමක් දකින තියෙනවාද කියලා බලාගන්න පුළුවන්. පොඩ්ඩාට තියෙන්නේ ඒ වගේ පිටත කනේ සිදුවුණු ආසාදනයක්.”

“ඇයි ඩොක්ටර් පොඩි දරුවන්ට කනේ ආසාදනය ඇති වෙන්නෙ?”

“මැද කන, යුස්ටේකීය නාළය නම් නාළයකින් උගුරට සම්බන්ධයි. මේ නාළය නිසා මැද කන තුළ වායු පීඩනය වායුගෝල පීඩනයට සමානව පවත්වාගෙන යනවා. වැඩිහිටියන්ගෙ පිහිටීමට වඩා දරුවාගේ මේ නාළය වඩා තිරස්ව පිහිටනවා. එනිසා උගුරේ ආසාදන හා වමනය සමග එන ආහාර කොටස් මේ නාළය දිගේ පහසුවෙන් මැද කනට ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේ ම උගුරේ ඇති වන සුළු ආසාදනයන් පවා යුස්ටේකීය නාළයටත් පැතිරෙන්න පුළුවන්. Cystic fibrosis වැනි රෝගවල දී යුස්ටේකීය නාළය ශ්ලේෂ්මල(සෙම)වලින් වැසී අවහිර වෙනවා. සිගරට් දුමෙන් ද යුස්ටේකීය නාළයට හානි සිදු වෙනවා. මේ විදිහට යුස්ටේකීය නාළය අවහිර වූ පසු මැද කනේ තරලයක් එකතු වෙනවා. මේ තරලය බැක්ටීරියා හා වෛරස් වර්ධනයට ඉතා යෝග්‍යයි. අලුත උපන් දරුවාගේ ප්‍රතිශක්තිය දුර්වලයි. මේ නිසා බැක්ටීරියා හා වෛරස් ආසාදන වැළැක්වීමට තරමක් අපහසුයි. තදබදය වැඩි තැන්වල හානිදායක බැක්ටීරියා අධිකයි. දරුවාගේ කනට ඇතුළු වූ පසු දුර්වල ප්‍රතිශක්තිය නිසා මේ බැක්ටීරියා හා වෛරස නිරුත්සාහයෙන් ම වර්ධනයවීමක් සිදු වෙනවා.

Streptococcus pneumoniae” Heamophilus influenzae සහ Morraxella catarrhalis යන බැක්ටීරියා දරුවන්ගෙ කනේ ආසාදනවලින් 95%කට ම පමණ වගකිව යුතුයි. වයස මාස 6ට අඩු දරුවන්ට සෑදෙන කනේ ආසාදනවලින් 20%කට ම හේතු වන්නේ නෑ. Coli සහ Klebsiella යන බැක්ටීරියායි. ඊට අමතරව Respiratory Syncytial Virus (RSV), influenza, parainfluenza, adenovirus සහ rhinovirus යන වෛරස් නිසාත් දරුවාන්ගෙ කනේ ආසාදන ඇති වෙනවා.”

වෛද්‍යවරියගේ පැහැදිලි කිරීම සමිතා ආසා සිටියේ බොහෝම අවධානයෙන් ය. වයසටත් වඩා බර මෙත්සර පුතු පැටියා දකින කාගෙත් අවදානයට යොමු වුණේ මහත බවත් සමග ආරෝපණය වූ සුරතල් බව නිසා ම ය.

“තරබාරු හා මන්ද පෝෂණය දරුවන්ට කනේ ආසාදන සෑදීමේ අවදානම වැඩියි. ප්‍රතිශක්තිය අඩුවීමෙන් ආසාදන වැලඳෙනවා. කෘත්‍රිම සූප්පු නිසාත් දරුවන්ට කනේ ආසාදන වැඩිවෙනවා. පිහිනීමේ දී කනට වතුර සමග විෂබීජ ගියොත් පිටත කනේ ආසාදන ඇති වෙන්ත් පුළුවන්.”

“අනේ ඩොක්ටර් ආයෙමත් ආසාදන තත්ත්වයක් ඇති වුණොත්?”

“කනේ ආසාදනයක් ඇති වුණා ම දරුවාට කනේ වේදනාව, කනෙන් ලේ ගැලීම, කනෙන් කහ පැහැ සැරව පිටවීම, හිසරදය, උණ, සමබරතාවය අඩුවීම, කන තුළින් නොනවතින කුරු කුරු හඬක් ඇසීම, නොසන්සුන්කම, ඔක්කාරය හා වමනය ඇති වෙන්න පුළුවන්.ඒ නිසා අවධානයෙන් ඉන්න ඕනෙ. දිගුකාලයක් පවතින ආසාදන නිසා දරුවන්ගෙ කන් බෙරය සිදුරු වෙන්න පුළුවන්.”

“ඩොක්ටර් මම කොට්න් බඩ් එකක් දාලා සතියකට සැරයක් බබාගෙ කන පිරිසිදු කරනවා.”

“එහෙනම් ඒ වැඩේ නවත්වන්න. කනේ කලාඳුරු ඉවත්කරන්න කොට්න් බඩ් යොදාගැනීම, අනතුරුදායක දෙයක්. සාමාන්‍යයෙන්, කන තුළ කන් කලාඳුරු සෑදෙන්නේ, කනට අවශ්‍ය ප්‍රමාණයට ය. නමුත්, ඇතැම් අයගේ වැඩිපුර කන් කලාඳුරු සෑදෙන අවස්ථා තියෙන්න පුළුවන්. කුඩා දරුවන්ගෙ ඉතා කලාතුරකින් කන් කලාඳුරු වැඩියෙන් සෑදෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා දරුවාගේ ඇසීමට බාධාවක් හෝ දරුවාට කනේ වේදනාවක් වගේ අපහසුතාවයක් ඇති වෙනව නම්, වෛද්‍යවරයෙකු ලවා ඉවත්කර එක තමයි සුදුසු ම ක්‍රමය. කන් කලාඳුරු ඉවත්කිරීමට උත්සාහ කරන විට දරුවාගේ බාහිර ශ්‍රවණ නාළයට, කන් බෙරයට, සහ ඇසීමට හානිවෙන්න පු`ඵවන්.”

“අනේ ඇත්තද ඩොක්ටර් මම ඒ ගැන දැන ගෙන හිටියෙ නැහැ. කන් කලාඳුරු හැදෙන්නේ ඇයි?”

“කන් කලාඳුරු හැදෙන්නේ බාහිර ශ්‍රවණ නාළය තුළයි. කනේ ආරක්ෂාවට ලොකු වැඩ කොටසක් කලාඳුරුවලින් සිද්ධ වෙනවා. කන තුළට වතුර යාම වළක්වන, ඒ කියන්නනෙ ජල ප්‍රතිරෝධී (Waterproof) ආස්තරණයක් ලෙසි ක්‍රියා කරන නිසා බාහිර ශ්‍රවණ නාළය සහ කන් බෙරය වියළිව පවත්වාගැනීම නිසා, කන විෂබීජ ආසාදනයවලින් ආරක්ෂා කරනවා. කනට ඇතුළු වන දූවිලි, කුඩා සතුන් කන අභ්‍යන්තරයට යාම වළක්වා කන් බෙරයට හානිවීම වළකවාලනවා.”

“අපි කන පිරිසිඳු කරන්නෙ නැත්නම් කොහොමද අනවශ්‍ය කලාඳුරු ඉවත් වෙන්නේ ඩොක්ටර්?”

“සාමාන්‍යයෙන්, කන තුළ නිපදවෙන කන් කලාඳුරු සෙමෙන් බාහිර ශ්‍රවණ නාළය ඔස්සේ පිටතට එනවා. ස්වභාවිකව ම කනෙන් එළියට ඒම හෝ නාන විට දී කන් කලාඳුරු ඉබේ ම ඉවත්වීමක් සිදුවෙනවා. කන තුළ නිරන්තරයෙන් කන් කලාඳුරු සෑදෙන නිසා හැමවිට ම ප්‍රමාණවත් කන් කලාඳුරු ප්‍රමාණයක් බාහිර ශ්‍රවණ නාළය තුළ තිබෙනවා. බොහෝවිට, දරුවන්ගේ කන් කලාඳුරු ඉවත්කිරීමට අවශ්‍ය නැහැ. ”

“කනේ අසාදන නිසා වෙන රෝගත් වැලඳෙනවද?”

“කනේ ආසාදන නිසා දරුවාගේ ශ්‍රවණ හැකියාව අඩුවීම, මැද කනේ කොටස් ඉදිමීම නිසා විවිධ අපහසුතා ඇතිවීම, මොළය වටා ඇති මෙනින්ජි පටල ඉදිමීම, මොළය තුළ සැරව ගෙඩි හටගැනීම, මොළයේ විශාල රුධිරවාහිනී තළ ලේ කැටි ඇතිවීම කනේ ආසාදන නිසා සිදු වන දරුණු සංකූලතා ඇති වෙනවා. දරුණු හිසරදය, දීප්තිමත් ආලෝකය දෙස බැලිය නොහැකිවීම, ස්නායු දුර්වලතා, අප්සමාරය හා සිහි මඳ ගතිය මේ දරුණු සංකූලතාවල රෝග ලක්ෂණයි.”

නොසිතන පුංචි රෝගයක් දරුණු වූ විට ඇති වන තත්ත්වය පිළිබඳ සිතද්දී සමිතාට ඇති වූයේ බියකි. අවදානමට පෙර සූදානම හොඳයි යැයි ඇය සිතුවා ය.

“ඩොක්ටර් කනේ ආසාදන හැදෙන්න කලින් වළක්වාගන්න එක කරන්න පුළුවන් නේද?”

“ඔව්, දරුවට කෘත්‍රිම සූප්පුව නිතර දෙන්න එපා. දරුවන්ව සිගරට් දුමට නිරාවරණය කරන්න එපා. පළමු මාස 6 තුළ දරුවාට මව් කිරි පමණක් දී ඉන් පසු දරුවාට වසරක් සම්පූර්ණ වන තෙක් ආහාර පරිපූරකයක් වශයෙන් මව් කිරි දෙන්න. තදබදය වැඩි තැන්වල දරුවා සමග රැඳී ඉන්න එපා. දරුවාට සුලභ විෂබීජවලට එරෙහි ව ප්‍රතිශක්ති එන්නත් ලබාදෙන්න.”

“මොනවද ඩොක්ටර් කනේ ආසාදනවලට තිබෙන ප්‍රතිකාර.”

“ප්‍රතිජීවක, ස්ටෙරොයිඞ්, NSAID, ශ්ලේස්මල ඉවත් කරන ඖෂධ ක්‍රම පාවිච්චි කරනවා. පුතාට නම් ප්‍රතිජීවක විතරක් ඇති. සමහර දරුවන්ට සැත්කම් කරන අවස්ථාත් තිබෙනවා. උගුරේ සෙම් ගෙඩි ඉවත් කිරීමෙන් කනේ ආසාදන ඇතිවීම අඩු වෙනවා. විදලිත තල්ලක් ඇති දරුවන්ගේ එම ආබාධය සැත්කමක් මගින් නිවැරදි කිරීමෙන් ම කනේ ආසාදන අඩු කර ගන්න පුළුවන්. තවත් දරුවන්ට නිතරම මැද කනේ ආසාදන ඇති වෙනවා නම් Myringotomy නම් සැත්කමින් කනේ ශ්‍රාවයන් ඉවත් කිරීම කළ හැකියි.”

“මේ බෙහෙත් ටික බබාට දීලා බලමු.”

“බොහොම ස්තුතියි ඩොක්ටර් බබාගෙ අසනීපෙට බෙහෙත් වගේ ම හොඳ දැනුමකුත් ලැබුණා.” සමිතා පැවසුවේ හදවතින් ම නැගෙන ස්තුතිය ප්‍රකාශ කරමින් ය.

උගුර, කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය
සීතා අරඹේපොළ

සටහන – දිශාන්ති වෙදගේ