Health Guide

ගිලීමේ අපහසුතාවලින් පීඩාවට පත් වෙලාද?

ඉමාෂාත්, චාමිනීත් දිවා ආහාරය ලබාගැනීමට අසුන් ගත්තාය.

ඉක් ! ! ඉක් ! ! ඉමාෂාට පළමු බත් කට ම හිර විය.

ආ මෙන්න වතුර, මොකද අනේ හැමදාම කන්න පටන් ගන්න කොටම ඔයාට හිර වෙනවා.

ඔව් දැන් මාසයක දෙක තුනක ඉඳලා කන්න කලින් වතුර නොබිව්වොත් හිර වෙනවා.

මාස දෙක තුනක් ! ! ! ඒක නම් හොඳ දෙයක් නෙමේ, ඉක්මනින් ම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න.

ඔව් මමත් හිතුවා. හෙටවත් යනවා.

ගිලීමේ අපහසුතාව පිළිබඳ අප බොහෝදෙනෙක් අවධානය යොමු කරන්නේ තත්ත්වය වඩාත් සංකීර්ණ වූ පසුව ය. දිව, මුඛය, තල්ල, අපිජිහ්විකාව හා ගලනාලය ගිලීමට අත්‍යවශ්‍ය වන ව්‍යුහයන් ලෙස හැඳින්විය හැකිය. මෙම ව්‍යුහයන්ගේ ව්‍යුහමය ගැටලු හා ඒවායේ ක්‍රියාකාරීත්වයේ දී ඇති වන යම් යම් ගැටලු හේතුවෙන් ගිලීමේ අපහසුතා ඇති විය හැකිය. ඇතැම් පුද්ගලයන්ට ගිලීමේ අපහසුතා ඇති විට ආහාර ගැනීමේ දී උගුර ආශ්‍රිතව පමණක් වේදනාව ඇතිවිය හැකි අතර තවත් සමහරෙක්ට ගිලින ආහාර හිරවීම නිසා සිදු විය හැකිය.

■ ආහාර ගැනීමේ දී ගිලින කෑම හිරවීම.
■ ආහාර ගැනීමේ දී ගිලින කෑම හිරවී ආපසු මුඛය වෙත ඒම.
■ වරකට ඉතා සුළු ප්‍රමාණවලින් පමණක් ගිලීමට හැකිවීම.
■ ද්‍රව ස්වභාවයෙන් පමණක් ගිලීමට හැකිවීම.
■ ඝන ආහාර ගිලිය හැකි මුත් පානීය දේ ගිලීමට නොහැකිවීම.
■ කෑම ගිලීමේ දී දැඩි වේදනාවක් දැනීම.

ගිලීමේ අපහසුතාවයන් ඉහත දැක්වූ කවර ආකාරයකින් වුව ද සිදුවිය හැකිය.

ගිලීමේ අපහසුතා ඇතිවීමට හේතු මොනවාද?

1 – උගුරේ සෙම් ගෙඩිවල හෝ ගලනාල ආශ්‍රිත ආසාදන තත්ත්වයන් නිසා
ගිලීමට ඇති බාධව ගිලීමේ දී ඇතිවන වේදනා නම් එය බොහෝ විට උගුරේ සෙම් ගෙඩිවල හෝ ගලනාල ආශ්‍රිත ආසාදන තත්ත්වයක් වේ. බොහෝවිට මෙම තත්ත්වය බැක්ටීරියා හෝ පුස් නිසා ඇති වන ආසාදන විය හැකිය. මෙවැනි අවස්ථාවක දී අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍යවරයා නිර්දේශ කරන අතර ඒ අනුව ආදාළ ප්‍රතිජීවක ඖෂධ ගැනීම තුළින් රෝගියාට සුවයක් ලබාගත හැකිය.

2 – ව්‍යුහමය සාධක නිසා
ව්‍යුහමය සාධක නිසා ගිලීමේදී හිරවීමක් ඇතිවේ නම් එය මදක් සංකීර්ණ තත්ත්වයකි. අපිජිහ්විකාව හා ගලනාලය තුළ ඇති ඉදිමීම්ක් ඇතිවීම නිසා බොහෝ විට මෙවැනි තත්ත්වයක් ඇතිවේ. එයට දීර්ඝ කාලීන පවතින අධික ආම්ලිකතාව හෙවත් Gastrities තත්ත්වයක් බලපායි. එම ආම්ලික යුෂ නිතර ආමාෂයේ සිට ගලනාලය තුළින් ඉහළට ගමන් කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවන අතර එයින් පටකවලට සිදුවන හානිය නිසා ගලනාලය සිහින් කරයි.

3 – යම් කිසි දෙයක් ආහාර මාර්ගයේ සිරවීම
යම් කිසි දෙයක් ආහාර මාර්ගයේ සිරවීම හේතු කොටගෙන ගිලීමේ අපහසුතා ඇති විය හැකිය. උදාහරණ ලෙස උගුරේ මාළු කටු මස් කටු හිරවීම ආදිය දැක්විය හැකිය. එවැනි අවස්ථාවක වහාම එම ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. නැතහොත් දිගින් දිගටම ආහාර මාර්ගයේ ඇනීම ලක් වන නිසා තුවාල වී ආසාදනයට ලක්ව තත්ත්වය බරපතළ විය හැකිය.

4 – ගලනාලය ආශ්‍රිතව ඇති පිළිකාමය තත්ත්වයන්
ගලනාලය ආශ්‍රිතව ඇති පිළිකාමය තත්ත්වයන් හේතුවෙන්ද ගිලීමේ අපහසුතා ඇති විය හැකිය.

■ ආහාර හා දියර වර්ග පානය කරන විට සිරවීමේ ස්වභාවයක් දැනීම.
■ ආහාර අරුචිය.
■ ශරීරයේ බර අඩුවීම.

වැනි රෝග ලක්ෂණයන් මෙහිදී දැකිය හැකිය.

5 – වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන්
ගලනාලය ශරීරයේ පිහිටා ඇත්තේ ඉහළ උරස් කුහරයේ වන අතර මෙම පිහිටීම හේතුවෙන් ද ගිලීමේ අපහසුතාවයන්ට තුඩු දෙන වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් ද ගිලීමේ අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවේ. එනම් මේ වන විටත් පහත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙනවා නම් ඔබට ගිලීමේ අපහසුතාවයක් ඇතිවිය හැකිය.

■ ඉහළ උරස් කුහරයේ ඇතිවන ගෙඩි පිළිකා තත්ත්වයන්.
■ ගලනාලය පිටතින් තෙරපීම නිසා එය පටුවීම.
■ අධිකව විශාල වූ තයිරොයිඩ් ග්‍රන්ථිය නිසා.
■ ස්නායුගත රෝග නිසා ඇති වන මාංෂ පේෂීවල දුර්වලතාව නිසා.
■ අංශභාගය වැනි රෝග තත්ත්වයන් නිසා.

ඔබ සිතුවාට වඩා ගිලීමේ අපහසුතාවය ඉතා සංකීර්ණ තත්ත්වයක් බව වැටහෙනවා නේද? ප්‍රතිකාර කිරීමේ දී ගිලීමේ අපහුතාව සඳහා බලපෑ හැකි හේතු සාධක බොහෝමයක් ඇති නිසා එකවර ප්‍රතිකාර වෙත යොමු කිරීමට අපහුසුය. ගිලීමේ අපහසුතාවයෙන් පෙළෙන පුද්ගලයාගේ ඉතා දීර්ඝ සායනික පරික්ෂාවක් හෝ මනා පරික්ෂා කිරීමක් රෝගය නිර්ණනය කිරීමට අත්‍යවශ්‍ය වේ. උගුර ඉතාමත් සුපරික්ෂාකාරී ලෙස පරික්ෂා කිරීමෙන් අනතුරුව කැමරා ආධාරයෙන් ගලනාලය පරික්ෂා කිරීම ද ඉතා වැදගත්වේ. මේ සඳහා වේදනා නාශක ඖෂධයක් ලබාදීමෙන් පසුව ගලනාලයට ඇතුළු කරන (Endoscopy) කැමරාවක් මේ සඳහා යොදා ගනියි. එසේම සරල බේරියම් පරික්ෂාව හා ක්‍රියාකාරීත්වය සොයන Fluoroscopy පරීක්ෂණය ද ඉතා වැදගත්වේ.

මුලින්ම ගිලීමේ අපහසුතාවයක් විට

ආහාර ගිලීමේඅපහසුතාවය මුලින් ඇතිවූ විට පහත සුළු උපක්‍රම කිහිපය අනුගමනය කරන්න.

■ ආහාර ගැනීමේ රටාවේ යම් වෙනස් කිරීමක් කරන්න. ඔබ ඉතා ඉක්මනින් ආහාර ගැනමට පුරුදු වී සිටියා නම් එම පුරුද්දෙකන් මිදී ආහාර සෙමෙන් ගන්නට හුරු වන්න.
■ ආහාර හොඳින් හැපීමෙන් පසු ගිලින්න.
■ ආහාර ගන්නා විට පිට කොන්ද සෘජුව තබාගෙන ආහාර ගන්න.
■ ඝන ආහාර හා දියර වර්ග එකවරගැනීමෙන් වළකින්න.

නමුත් මෙම ක්‍රමයන් අනුගමනය කළ ද,

■ ගිලීමේ අපහසුතාවය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නේ නම්,
■ කැස්ස සමග උණ ඇති වේ නම්,
■ කෙටි කාලයක් තුලදී ශරීර බර සැලකිය යුතු ලෙස අඩුවන්නේ නම්,

ඔබ වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත යුතුය. නියපොත්තෙන් කඩන්නට හැකියාව තිබියදී පොරවෙන් කපන්නට පෙර උගුර, කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වී ඔබේ රෝගය පිළිබඳ සියලු ම තොරතුරු පවසා ප්‍රතිකාර වෙත යොමු වන්න.

උගුර, කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ

සටහන – දිශාන්ති වෙදගේ